Colombo, Constitutional Reform, Democracy, Features, Governance

ව්‍යවස්ථා විගඩම ඉවරයක් කර දැමීම

z_p-34-In-02

තමන් බලයට පත්වුවහොත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ අදහස් කිහිපයක් එක්සත් ජාතික පක්ෂය විසින් පළකර තිබීමෙන් පෙනී යන්නේ, 1978 ව්‍යවස්ථාව ගැන මේ දක්වා ගොඩනැගී ඇති බරසාර විවේචනය තවදුරටත් නොසළකා හැරිය නොහැකි බවයි. වැදගත් කරුණු අරභයා ප‍්‍රමාණවත් නොවන මට්ටමින් හෝ සංවාදයක් ඇති වීම කිසිම සංවාදයක් නොකර සිටිනවාට වඩා ප‍්‍රයෝජනවත් නිසා, එක්සත් ජාතික පක්ෂයේ යෝජනා නොසළකා හැරිය යුතු නැත. ඒ වෙනුවට කළ යුත්තේ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සී.වී. විග්නේස්වරන් වරක් හැඳින්වූ මේ ව්‍යවස්ථා විගඩම අවසානයක් කර දැමීමට අදාළ මූලික වැදගත් කමකින් යුත් ප‍්‍රශ්න, මේ යෝජනා හරහා යළි සාකච්ඡාවට සහ සංවාදයට ගැනීමයි.

ඒ අනුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට අදාළ මූලධාර්මික අංග නිරවුල්වත්, නිශ්චිතවත් ස්ථාපිත කළ යුතුව තිබේ. මූලික ව්‍යුහය යනුවෙන් අදහස් කෙරෙන්නේ, ව්‍යවස්ථාවක් තුළ තිබිය යුතු සදාතන පදාර්ථයන් සමූහයකි. ඒ සදාතන පදාර්ථයන් සහිත මූලික ව්‍යුහය වෙනස් කිරීමට ඕනෑම ආණ්ඩුවක් ගන්නා ප‍්‍රයත්නයන් ව්‍යර්ථ කළ යුතුව තිබේ. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විගඩමක් වුණේ, එක පැත්තකින්, මේ කියන මූලික ව්‍යුහය පිළිබඳ එකඟත්වයක් මුල සිටම නොතිබීම නිසා ය. තවත් පැත්තකින්, එවැනි මූලික ව්‍යුහයක් ආරක්ෂා කොට ප‍්‍රවර්ධනය කිරීම තමන්ගේ මූලික වගකීමක් වශයෙන් අධිකරණය විසින් නොසළකන ලද නිසා ය.

මේ කියන ව්‍යවස්ථාමය මූලික ව්‍යුහය තුළ, අන්සතු කළ නොහැකි ජනතා ස්වෛරීත්වය, පහත සඳහන් මූලධර්ම පිළිගැනීම හරහා සහතික කළ යුතුව තිබේ:

1. ශ‍්‍රී ලංකාව, සියලූ පුද්ගලයන් සමාන වන, ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් වීම.
2. ව්‍යවස්ථාවෙන් අපේක්ෂිත ආණ්ඩුවේ මූලික ව්‍යුහය නීතියේ ආධිපත්‍යය මත සංවිධානය වීම.
3. බලතල බෙදා වෙන් කිරීමේ මූලධර්මය පිළිගැනීම.
4. අධිකරණයේ ස්වාධීනත්වයත්, නීතිය අර්ථකථනය කිරීමේ අවසාන තීරකයා අධිකරණය බවත් පිළිගැනීම සහ අධිකරණ සමාලෝචන බලය (1972 ව්‍යවස්ථාවට කලින් සේ) තිබීම.
5. නීතියේ ආධිපත්‍යමය රාමුව යටතේ රාජ්‍ය ආයතන ස්වාධීන වීම.
6. හිමිකම් උල්ලංඝණයවීම්වලට අදාළ නීතිමය පිළියමකට සෑම කෙනෙකුටම අයිතියක් ඇතැ යි යන පිළිගැනීම ඇතුළත්, ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ’ සඳහන් ආකාරයේ ප‍්‍රතිපත්තියක් පිළිගනු ලැබීම.
7. නිශ්චිත කාල වකවානුවල පැවැත්වෙන නිදහස් සහ සාධාරණ මැතිවරණ හරහා සහභාගීත්වයට ජනතාව සතු අයිතිය සහතික කිරීම.
8. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලබන රාජ්‍ය ආයතන ඉදිරියේ කෙරෙන මහජන විමර්ශන තුළින් සියලූ රාජ්‍ය සේවකයන්ගේ ප‍්‍රසිද්ධ වගවීම සහතික කිරීම.
9. රාජ්‍යයේ පවතින සුභසාධන ස්වරූපය ආරක්ෂා කිරීම.

මූලික ව්‍යුහය සඳහා එකඟවීමේ ඇති ප‍්‍රධාන වැදගත්කම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ පවතින ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් සපයා ගැනීම යනු, හුදෙක් අළුතෙන් ලියවිල්ලක් ලිවීම පිළිබඳ කාරණයක් නොවේ. එය ඓතිහාසික ක‍්‍රියාවකි. වර්තමාන අවුල් ජාලයට හේතු වී ඇති මූලික දෝෂ හැකි තාක් පැහැදිළිව හඳුනාගෙන ඒවාට ආමන්ත‍්‍රණය කිරීමේ ඓතිහාසික ක‍්‍රියාවකි. ඒ අරුතින් ගත් විට, නව ව්‍යවස්ථාවක් යනු, එක් ඓතිහාසික යුගයක නිශ්චිත නික්ම යාමක් වන තරමටම, නව යුගයක නිශ්චිත ආරම්භයක් ද වන්නේය.

ඒ නිසා, රටේ මූලික නීතිරීති තුළින් ප‍්‍රකාශයට පත්වෙන පැහැදිළි එකඟතාවක් ඇති කරගත හැකි වන පරිද්දෙන් ඒ සඳහා දීර්ඝ වූත්, සමහරවිට ඉතා වේදනාකාරී වූත් සමාජ සංවාදයක් දියත් කිරීම අවශ්‍ය කෙරේ. ව්‍යවස්ථාවක් මගින් සියළු ප‍්‍රශ්න සදහට විසඳිය හැකි බවක් මෙයින් අදහස් නොවේ. ව්‍යවස්ථාව වනාහී ගතික ලියවිල්ලකි. රටක් මුහුණදෙන ප‍්‍රශ්න ද ගතික ය. ඒවා නිරාකරණය කර ගැනීම නිරන්තර අභ්‍යාසයකි. කෙසේ වෙතත්, කරුණු කාරණා වැරදියට සිද්ධ වී ඇති ප‍්‍රධාන සහ අතිමූලික ක්ෂේත‍්‍ර හඳුනා ගැනීමත්, නැවත එවැනි දෝෂ ඇති වීමට ඇති ඉඩකඩ අහුරාලීමත් අවශ්‍ය කෙරේ. එනිසා, ඉතිහාසය දෙස ගැඹුරින් ආපසු හැරී බැලීම, අනාගතය සඳහා රටකට අවශ්‍ය කරන මූලික නීති වැඩි දියුණු කිරීමේ ඕනෑම ප‍්‍රයත්නයක අත්‍යාවශ්‍ය අංශයක් වන්නේය.

ජාතික සංවාදයේ මේ විෂය පථයට එක්සත් ජාතික පක්ෂය අවතීර්ණ වී තිබීම යහපත් ය. එහෙත්, ඔවුන්ගේ කෙටුම්පතේ පූර්විකාවේම, 1978 ව්‍යවස්ථාව ගැන ලිහිල් ආකල්පයකින් කතා කිරීම නිසා, ඔවුන් ගන්නා මේ ප‍්‍රයත්නය ගැන මහජන විශ්වාසය පළුදු වීමට ඉඩ තිබේ. ඔවුන් කෙරෙහි වන විශ්වසනීයත්වය පදනම් වන්නේ, 1978 ව්‍යවස්ථාවෙන් ඇති කෙරුණු මහා විනාශය අදවත් පැහැදිළිවම හෙලාදැකීමට එම පක්ෂයට ඇති හැකියාව මතයි. එවැනි ව්‍යවස්ථාවක් හඳුන්වා දීම මගින් සිදු කෙරුණු දරුණු ප‍්‍රතිවිපාකවල වගකීම භාර ගැනීම, නව ව්‍යවස්ථා සංශෝධන කාර්යාවලියකට මුල පිරීම සඳහා අවශ්‍ය විශ්වසනීයත්වය ඇති කර ගැනීමේ ප‍්‍රථම පියවර වනු ඇත.

basil fenandoබැසිල් ප‍්‍රනාන්දු | Basil Fernando

__________________________________________________________________________________________
සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
_________________________________________________________________________________________

Image Credit: sundayobserver.lk