සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණ අභියෝග (2)- මාධ්‍ය නිදහස නැතිකිරීම සහ ඇති කිරීම

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නගර ශාලා රැස්වීමට පැමිණි විපාක්ෂික දේශපාලන නායක නායිකාවන් දෑත් ඔසවා ජනමාධ්‍ය නිදහස ඇති කරන බවට ශපථ කළ දා පටන් මෙරට ජනමාධ්‍ය නිදහස ඇති කරන බවට පොරොන්දු නොවූ විපාක්ෂික දේශපාලන නායකයකු නැත.

බලයට පත් වූ පසු ලේක්හවුසියේ අයිතිය පුළුල් කරන බවටත් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය කරන බවටත් 1993 දී සිරිමාවෝ බණ්ඩාරනායක නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ලිඛිත පොරොන්දුවක් දුන්නේ ය. ඇයගේ පක්ෂයෙන් ජනාධිපතිනිය බවට පත් චන්ද්‍රිකා කුමාරතුංග මාධ්‍ය නිදහස ඇති කරනු පිණිස අමාත්‍ය මංඩළ අනු කමිටු හතරක් පත් කොට වාර්තා ද ලබා ගත්තා ය. එනමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට හෙනහුරු දසාව ලබන්නට පටන් ගත්තේ එකී පාලනය යටතේ ය. එකළ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය පොදු පෙරමුණේ හොරණැ බවට නිල වශයෙන්ම පත් කරන ලද්දේ ජනමාධ්‍ය ඇමැතිවරයා වූ මංගල සමරවීර ය.
අගමැති රනිල් වික්‍රමසිංහ 2002 දී බලයට පත්වීමට පෙර එම වාර්තා අනුව කටයුතු කිරීමට පොරෙන්දු විය. එනමුත් ඔහු අගමැති ධුරය දැරූ දෙවසර තුළ කරන ලද එකම ජනමාධ්‍ය නීති ප්‍රතිසංස්කරණය වූයේ සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම පමණය. තොරතුරු දැන ගැනීමේ නිදහස සඳහා සකස් කරන ලද පනත ඔහු මාස ගණනාවක් මේස ලාච්චුවේ දමාගෙන සිට අනුමැතිය පිණිස අමාත්‍ය මංඩළයට ඉදිරිපත් කළේ කුමාරතුංග සහ ජවිපෙ එක්ව 2004 දී සිය ආණ්ඩුවේ ගෙල සිර කරන ලද අවස්ථාවේ දී පමණ ය. ඔහු රාජ්‍ය පාලිත මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීම පිණිස උනන්දුවක් දැක්වූයේ නැත. ඒ කෙසේ වෙතත් මෙරට ජනමාධ්‍ය වැඩි නිදහසක් භුක්ති විඳි යුගය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පැවැති 2002 – 2004 ය.

2002 දී 17 වන සංශෝධනය ගෙ එන ලද අවස්ථාවේ දී රාජ්‍ය පාලිත ජනමාධ්‍ය සඳහා ද ස්වාධීන කොමිසමක් පිහිටුවීමට දරන ලද තැත පරාජය වූයේ ජවිපෙ ඊට දැක් වූ විරෝධය නිසා ය. පරිවාස ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස සහතික කිරීම පිණිස ජවිපෙ උනන්දු නොවූවා පමණක් නොව සිය වාසිය පිණිස රාජ්‍ය පාලිත ජනමාධ්‍ය පවත්වා ගෙන යෑමේ පිළිවෙතක් ද අනුගමනය කළේ ය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ජනාධිපති ආරක්ෂ සේවයේ මැරවරයින් විසින් 1999 ජූලි මාසයේ දී සාමකාමි විරෝධතාවයකට පහර දී ජායාරූප මාධ්‍යවේදීන් 11 දෙනෙකුගේ කැමරා පැහැරගත් අවස්ථාවේ දී එම කැමරා සඳහා අරමුදලක් ගොඩ නැගීමේ ආරම්භයක් ලෙස රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. එදා කැමරා පමණක් අහිමි වූ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පවා අහිමිවන වාතාවරණයක් ඇති වුයේ රාජපක්ෂ ජනාධිපති පාලනය තුළදී ය. රාජ්‍ය ජනමාධ්‍ය ආදර්ශමත් ජනමාධ්‍ය බවට පත් කරන බවට මහින්ද චින්තනයේ ලියා ඔහු ශපථ කළේ ය. එනමුත් ඔහු යටතේ තරම් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ජරා ජීර්ණ සහ පක්ෂග්‍රාහී යුගයක් මෑත කාලයේ නොතිබූ තරම් ය. කළකට පෙර ජනමාධ්‍ය මිතුරකු වූ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන මර්ධනය පෙර කිසි කළක නොවූ එකකි.

ජනාධිපති අපේක්ෂක සරත් පොන්සේකාට ද ජනමාධ්‍ය නිදහස ගරු කිරීමේ වාර්තාවක් නැත. රාජ්‍ය ජනමාධ්‍ය හමුයේ නිදහස් ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට ඔහු විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් දෙවැනි වූයේ සජීවී වෙඩි උණ්ඩයන්ට පමණි.

දැන් අපට යළිත් වතාවක් ජනමාධ්‍ය නිදහස ලබා දෙන බවට කැරෙන පොරොන්දු අසන්නට ලැබෙන්නට පටන් ගෙන තිබේ. ස්වකීය අතීත භාවිතයන් දැන් වෙනස් වී ඇති බවත් ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රීය පාලනයක් ඇති කිරීමට තමන් කැප වී සිටින බවත් විපාක්ෂික දේශපාලනඥයින්ගෙන් අසන්නට ලැබේ. ඔව්න්ට වෙනස් වීමේ අයිතිය හෝ විභයක් නැතැයි අප කිසිවකුට කීමට නොහැක. සිවිල් සමාජය පිරිසිදු වන අතර දේශපාලන සමාජය අපිරිසිඳුය යන්න ව්‍යාජයකි. අප සියළු දෙනා මේ සමාජයේ කොටස්කරුවෝ ය. එබැවින් අතීතය ගැන චෝදනා එල්ල කරමින් සිටිනවාට වඩා අප උනන්දු විය යුත්තේ අනාගතය දෙස සාධනීය ලෙස බැලීමට ය.

සිවිල් සමාජීය ප්‍රජාව වශයෙන් අප මෙම පොරෙන්දු එළෙසම පිළිගන්නේ නැත. එනමුත් මෙම පොරොන්දු මත ක්‍රියාකරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඇති කිරීමට 2010 ජනාධිපතිවරණයෙන් කවර හෝ දේශපාලනඥයකුට අවශ්‍ය නම් ඒ සදහා වන පැහැදිළි සහ නිශ්චිත වැඩ සටහනක් රට හමූයේ තබන ලෙසත් එය ඉටු කිරීමට කාල වකවානූ නියම කරන ලෙසත් අපට ඉල්ලා සිටිය හැකි ය.

ශ්‍රී ලංකාවේ නිවරදි, සමබර සහ සාධාරණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමේ යතුර පවතින්නේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීම ( මහජන සේවා ජනමාධ්‍ය බවට පත් කිරීම) සහ පළාත්බඳව ප්‍රජාව සතු ජනමාධ්‍ය විශේෂයෙන්ම ප්‍රජා ගුවන් විදුලි සේවා ඇති කිරීම තුළ ය. මන්ද යත් වෙළදපොළ සහ දේශපාලන ගතිකත්වයන්ගෙන් උපරිම ස්වාධීනත්වයක් ඇතිව පවත්වා ගත හැකි ජනමාධ්‍ය වන්නේ මහජන සේවා ජනමාධ්‍ය නිසා ය. 2004 ආරම්භයේ දී ජනාධිපති කුමාරතුංග සහ අගමැති රනිල් වික්‍රමසිංහ මෙම වෙනස ඇති කිරීමේ එකඟතාවයට ඉතා ආසන්නයටම පැමිණියේ ය. එනමුත් ජවිපෙ සමඟ එක්ව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් ඒ අනර්ඝ අවස්ථාව පැහැර හැරුණි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සඳහා අවශ්‍ය නීතිමය රාමුව 1995 දී පොදු පෙරමුණ ආණ්ඩුව විසින් පත් කළ ජනාධිපති නීතිඥ ආර්.කේ.ඩබ්. ගුණසේකර කමිටු වාර්තාවෙහි ද කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ පුවත්පත් හිමිකරු සංසදය මූලිකත්වය ගත් 1998 සහ 2008 කොළඹ ප්‍රකාශනයේ ද මාධ්‍ය සංවිධාන පහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී සම්මේලනය සමඟ එක්ව සකස් කළ 2005 මාධ්‍ය ප්‍රඥාප්තියෙහි ද සදහන්ව තිබේ.

දේශපාලන මත වෙනස්කම් නොසළකා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රජාවට සතු පුළුල්ම එකඟතාවය ඇත්තේ 1998 කොළඹ ප්‍රකාශනයට විසි වසරක් පිරීම නිමිත්තෙන් 2008 වසරෙහි දී එළි දැක්වුණු එහි දෙවන සංස්කරණයෙහි ය. එයට ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරු සමාජය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අත්සන් තැබූහ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිහිටුවීම පිණිස එමගින් යෝජනා කරන මූලික රාමුව මෙසේ ය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ව්‍යවස්ථානුකූලව තහවුරු කිරීම පිණිස අවශ්‍ය වෙනස්කම් පිළිගත් අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකුල වන සේ සංසෝධනය කිරීම
නිල රහස් යන යන්න අනුමාන වශයෙන් හා පුළුල්ව විස්තර කරන නිල රහස් පනත ඉවත් කිරීම.
විවෘත භාවය හා විවෘත රජයක මූලධර්ම පිළිබිඹු වන තොරතුරු ලබා ගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ඇති කිරීම. ඒ සඳහා 2004 දී ඇමැති මණ්ඩලය අනුමත කළ “තොරතුරු නිදහස පිළිබඳ පනත” සම්මත කිරීම.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම මගින් දැනට ස්වයං නියාමන ප්‍රතිපත්තියක් බල පවත්නා හෙයින් 1973 පුවත්පත් මණ්ඩල නීතිය ඉවත් කිරීම.
ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති සමාගමේ (ලේක් හවුසිය) අයිතිය පුළුල් කිරිම ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම(විශේෂ විධිවිධාන) නීතියෙන් ප්‍රකාශිත ආයතනයේ අයිතිය පුළුල් කිරීමේ ප්‍රතිපත්තිය අඩංගු ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම් නීතිය වහාම ක්‍රියාත්මක කිරීම.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන 120 වැනි වගන්තිය පමණට වැඩි පරාසයකින් යුක්ත හෙයින් එය එක්කෝ ඉවත් කළ යුතුය.
අධිකරණ අපහාස චෝදනා තහවුරු කිරීම සඳහා සාධාරණ කාර්ය පටිපාටි මේ නීතියෙන් නියම කිරීම. අපහාසයක් සිදු වී ඇතැයි තහවුරු වූ විට පැවැරිය යුතු උපරිම දඬුවම මේ නීතියෙන් නියම කිරීම.
ව්‍යවස්ථානුකූලව ලද හැකි අවසරයත් ප්‍රකාශනයේ හා තොරතුරු ලබා ගැනීමේ නිදහසට අනුකූලවත් හැර ඉන් බැහැරව සිදුවන අතපෙවීම් වළක්වනු පිණිස ප්‍රකාශන තහනමත් ප්‍රකාශන ආනයනය මත පැනැවෙන රේගු තහනමත් පිළිබඳ නීතියේ වර්තමාන තත්ත්වය පැහැදිලි කිරීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයේ විධිවිධාන කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස සමඟ ගැටෙන්නේද යන කාරණය මත එම විධිවිධාන ප්‍රතිශෝධනයට භාජනය කිරීම.
හදිසි නීතිය යටතේ වාරණ හා වෙනත් තහංචි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් ප්‍රකාශිත නියමාවළිය අනුව හැර ඉන් බැහැරව ප්‍රකාශන පූර්ව තහනමකට ලක් නොකිරීම
ප්‍රකාශන තහනම් කරන හදිසි නීති රෙගුලාසි, (1979) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සේ සැලැකෙන කවරම සිද්ධියක් හෝ සම්බන්ධ ඕනෑම ප්‍රකාශනයක් නිසි බලධාරියකුගේ අවසරය නැතිවම තහනම් කරන්නා වූද එකී පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුවත්පත් මුද්‍රණාල මුද්‍රා තැබීමට බලය දෙන්නා වූද එකී පනතේ විධිවිධාන සමඟම එක්කෝ ඉවත් කිරීම
රාජ්‍ය අරමුදලෙන් හා රාජ්‍ය කළමනාකරණයෙන් ශ්‍රී ලංකාවෙහි පැවැත්වෙන සියලුම විකාශන සේවා පොදු ජන සන්තක මණ්ඩල බවට පරිවර්තනය කිරීම. ඒවා කිසිදු ආකාරයක රාජ්‍ය පාලනයට නොකිරීම
විකාශන ප්‍රතිපත්තියේ ක්‍රියාකාරිත්වය අධීක්‍ෂණයෙහි යෙදෙනු පිණිස, කිසිදු ආකාරයක රාජ්‍ය හෝ රාජ්‍ය නොවන බලපෑමකින් තොර අව්‍යාජවම ස්වාධීන විකාශන අධිකාරියක් ඇති කිරීම
ප්‍රජා ගුවන්විදුලි හා රූපවාහිනි සේවයක් ක්‍රියාත්මත කිරීමේ ප්‍රතිපත්ති මාලාවක් නීතියෙන් සම්පාදනය කිරීම.
නිදහස් භාෂණය සඳහා අන්තර්ජාලය තුළද ඉඩකඩ පුළුල් කරන අන්දමේ ප්‍රතිපත්ති ඇති කිරීම. සාධාරණ පදනම් නොමැතිව වෙබ් අඩවි තහනම් කිරිමේත් ඊට බාධා පැමිණවීමේ හා එය වාරණයට ලක්කිරීමේ සියලු ප්‍රතිපත්තිවලින් වැළකීම
මාධ්‍ය මූලාශ්‍රවල රහස්‍යතාව සුරකිනු පිණිස නීති පැනවීම.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස ඇති කිරීම සදහා වන මෙම ප්‍රතිපත්ති රාමුව බලයට පත් වී දින 100ක් තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා ලෙසත් ඒ බවට ලිඛිත ශපථ කිරීමක් පොදු ජනයා හමූයේ කරන ලෙසත් ජනමාධ්‍ය ප්‍රජාව වන අපි ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝග කළ යුත්තෙමු. අන් සියළු නිදහස් රැක ගැනීමට නම් ජනමාධ්‍ය නිදහස අත්‍යවශය ය. එබැවින් ජනාධිපති අපේක්ෂකයින් හමූයේ මෙවැනි අභියෝගයක් තැබීම සිවිල් සමාජයේ ද වගකීම වේ.

සුනන්ද දේශප්‍රිය