සිංහල, Colombo, Democracy, IDPs and refugees, Peace and reconciliation

ජනාධිපතිවරණ අභියෝග (03) – දෙමළ ජන ඉල්ලීම්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන තම ගැටළුවක් වන දෙමළ අභියෝගයේ ද දෙපැත්තක් තිබේ. ප්‍රථමයෙන් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලබන ඉල්ලීම් මොනවා ද කෙසේද යනු ය. දෙවැන්න නම් ජනාධිපති අපේක්ෂකයින් එම අභියෝගයට දෙන පිළිතුර කුමක්ද යන්න යි. නැතහොත් මෙම ජනාධිපතිවරණය අභිමුව ඇති දෙමළ ජනයාගේ ඉල්ලීම් හෝ දෙමළ ජනයාට අදාළව විසඳිය යුතුව ඇති ගැටළු මොනවාද? එම ගැටළු විසඳීම පිනිස ජනාධිපති අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කළ යුතු වැඩ පිළිවෙළ කුමක් ද? යනුය.

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන තම අභියෝගයක් වන්නේ ජනවාර්ගික ප්‍රශ්නයට කල් පවත්නා විසඳුමක් සෙවීම බවට එකඟ නොවන අයකු සිටිය නොහැක. දෙමළ ජනයාගේ ප්‍රධාන ඉල්ලීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොවේ. 1948 සිට මෙරට ක්‍රියාත්මක වූ සෑම ව්‍යවස්ථාවක් යටතේ ම ඔවුන්ගේ අයිතීන් උදුරා ගැනුණි. වෙනම රාජ්‍යක් සඳහා වූ දෙමළ රණකාමී ව්‍යාපාරය ආරම්භ වූයේ 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමට පෙර ය. එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළබඳ සටන් පාඨය මේ මොහොතෙහි දෙමළ ජනයාට අදාළ නැත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනවර්ගය තමන් දෙමළ නිසාම වූ සුවිශේෂී ගැටළුවලට මුහුණ දෙති. ඒ බව නිදහසින් පසු මෙරට පාලනය කළ සෑම දේශපාලන නායකයකුම ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ කවර හෝ අවස්ථාවක දී පිළිගෙන තිබේ. දෙමළ ජනයාට ද ඇත්තේ සිංහළ ජනයාට ඇති ප්‍රශ්න පමණක් යැයි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගත් එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ය. නමුත් පළාත් සභාවන්ට 13 වන සංසෝධනය ඉක්ම වූ බලයක් බෙදා දීමට වන කැමැත්ත ඉන්දීය නායකයිනට ප්‍රකාශ කිරීම මගින් ඔහු වක්‍ර ලෙස පිළිගත්තේ දෙමළ ජනයාටම සුවිශේෂ වූ ප්‍රශ්න ඇති බව යි. දේශපාලන විසඳූමක පදනම මෙම පිළිගැනීම යි.

එනමුත් අද ජනාධිපතිවරණය අභිමුව මෙරට දෙමළ ජනයා මුහුණ දෙන හදිසි ප්‍රශ්නය දේශපාලන විසඳුම නොවේ. මා හිතන විදියට ඉක්මනින් විසඳිය යුතු දෙමළ ජනයාට අදාළ ප්‍රශ්න මෙසේ ය:

1. උතුරු නැගෙනහිර අවතැන්ව සිටින දෙමළ ජනයාට අන්තර් ජාතික වශයෙන් පිළිගැනෙන මානුෂිය ප්‍රමිතීන්ට අවශ්‍යතා සහ නිදහස සළසමින් ක්‍රමවත්ව යළි පදංචි කිරීම,
2. අත් අඩංගුවේ සිටින තරුණ පිරිස් සම්බන්ධයෙන් පාරදෘශ්‍ය සහ ඉක්මන් පුනරුත්ථාපන වැඩ සටහනක්
3. උතුරු නැගෙනහිර ජනයාගේ ගම් බිම් අල්ලා ගනිමින් ඉදි කර ඇති අධි ආරක්ෂ කලාප ක්‍රමාණුකූලව සහ නිශ්චිතව ඉවත් කිරීමේ සැළැස්මක්
4. උතුරු නැගෙනහිර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම

මෙම කරුණු සම්බන්ධයෙන් කාල වකවානු සහිත ස්ථිර වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කරන සේ අප සියළු ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිය යුතු ය. නොවැම්බර් 25- 26 දෙදින ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරයේ දී සහ දෙසැම්බර් මැද දී ඔස්ට්‍රියාවේ වියනාහි රැස් වන ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන දේශපාලන පක්ෂ සකස්කළ මෙවැනි ඉල්ලීම් මාලාවක් වෙත්නම් එය පිළිගැනීම හෝ නොගැනීම ජනාධිපති අපේක්ෂකයින්හට අභියෝගයක් වීමට තිබුණි. දෙමළ දේශපාලන පක්ෂ එවැනි එකඟතාවයක් මත පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නම් ස්වකීය ඉල්ලීම් පිළිගන්නා අපේක්ෂකයාට දෙවන මනාපය ලබා දෙන බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීමට තිබුණි. දෙමළ ජන අයිතීන් පැත්තෙන් හොඳම පිළිවෙත විය හැකිව තිබුණේ එය යි.

තවම අප දෙමළ ජාතික සංධානයේ ජනාධිපතිවරණ පිළිවෙත කුමක් වනු ඇත්දැයි දන්නේ නැත. එනමුත් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ සන්නද්ධ කොටස්කරුවකුව සිටි නමුත් සිය දෙමළ දේශපාලන අනන්‍යතාවය රැකගැනීමට උනන්දුවක් ද දැක් වූ ඩග්ලස් දේවානන්දා නායකත්වය දරන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැන් සිය ඉල්ලීම් ලිඛිතවම ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබේ. එහි එන වැදගත් සහ නිශ්චිත ඉල්ලීම් මෙසේ ය:

1. දෙමළ කතා කරන ජනයාගේ දේශපාලන අයිතීන් ලබා දීම පිණිස ව්‍යවස්ථවේ 13වන සංසෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පටන් ගෙන මධ්‍යයේ එක්සත් ආණ්ඩුවක් ද පලාත් හි ප්‍රාදේශිය ස්වායත්තතාවය ද ඇති කිරීම

2. ශ්‍රී ලංකිකයින් වන අතරම ස්වකීය දෙමළකම රැක ගැනීමට මෙරට දෙමළ ජනයා අතර ඇති අභිප්‍රාය සහතික කිරීම

4. වන්නියේ දෙමළ ජනතාව සහ අධි ආරක්ෂ කලාප නිසා අවතැන් වූ ජනයා වහාම ඔවුන්ගේ ගම්බිම්හි යළි පදංචි කිරීම. ජීවිකා වෘත්තියකට ඇති ඔවුන්ගේ අයිතිය තහවුරු කැරෙන පරිදි ක්‍රියාකාරී සැළැස්මක් වහාම ක්‍රියාවට නැගීම.

5. පසුගිය තිස් වසර පුරා බලපැවැත් වූ තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි බලරහිත කිරීම සහ ප්‍රචන්ඩත්වයෙන් තොර සමාජයක තිබිය යුතු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම

6. දේශපාලන හේතූන් මත අත් අඩංගුවට ගෙන රඳවා සිටින සහ යටත් වූ සියළු දෙනාට පොදු සමාවක් දී පුනරුත්ථාපනය කිරීම

7. යුද්දයෙන් විපතට පත් ආර්ථික සංවර්ධනයේ පහළ අඩියක තිබෙන දෙමළ කළාපය සඳහා මූලිකත්වය ලැබෙන ආර්ථික සැළැස්මක් ක්‍රියාත්මක කිරීම

8. ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්හි මෙන්ම දෙමළ ප්‍රදේශයන්හි ද නිදහස් ගමනාගමනයට ඇති අයිතිය ක්‍රියාකත්මක කිරීම
10. දෙමළ ජනයාගේ සම්ප්‍රදායික වාසභූමි ඔවුන්ටම අයත් බව සහ එක්සත් ලංකාවක් යටතේ ඔවුන් ජීවත්වන බව සහතික කිරීම සඳහා පියවර ගැනීම”

මෙම ඉල්ලීම් මාලාව ජනාධිපති රාජපක්ෂට ඉදිරිපත් කිරීම නිශ්චිතවම ඉදිරි පියවරකි. කවර හෝ දෙමළ දේශපාලන පක්ෂයකින් මේ තාක් ජනාධිපති අපේක්ෂකයකුට ඉදිරිපත්ව ඇති එකම ඉල්ලීම් මාලාව වන මෙය යෝජනා තුළ මෙම දේශපාලන අවස්ථාව තුළ මෙරට දෙමළ ජනයාගේ ඉල්ලීම් බොහෝ දුරට සටහන් වී තිබේ. අනෙත් අතට ඩග්ලස් දේවානන්දා ප්‍රසිද්දයේ ම එවැනි ස්ථාවරයක් ගැනීම විසින් අපට පෙන්වන්නේ පශ්චාත් යුද්ධ සමයේ දෙමළ දේශපාලනය ගනු ඇති දිශානතිය යි. දෙමළ ජනයාගේ නිශ්චිත සහ හදිසි ඉල්ලීම් යුද්ධයේ නාමයෙන් තවදුරටත් පසුපසට දැමීමට දැන් කවර දේශපාලන පක්ෂයකටවත් ඉඩක් නැත. ශ්‍රී ලංකික රාජ්‍යට දැන් දෙමළ ජනයාගේ ඉල්ලීම් සමඟ ගනු දෙනුවකට යෑම දැන් අත්‍යවශ්‍ය වනු ඇත.

මෙම ඉල්ලීම් මාලාවට ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ තවම පිළිතුරක් දී නැත. 2005 ජනාධිපතිවරනය දිනා ගැනීම සඳහා රාජපක්ෂ හෙළ උරුමය සහ ජවිපෙ සමඟ එළඹි ගිවිසුම් ප්‍රසිද්ධ කරන ලද අතර ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක අවි බවට පත් විය. දැන් දෙමළ ජනයා අසනු ඇති ප්‍රශ්නය මෙය යි. රාජපක්ෂ මෙම දෙමළ ඉල්ලීම් පිළිගන්නේ ද? රාජපක්ෂ සංධානයේ න්‍යයාචාරීන් වන හෙළ උරුමය මෙන්ම එම සංධානයේ හොරණෑකරුවන විමල් වීරවංශ මෙම ඉල්ලීම් ලබා දීමට එකඟ ද? එම ඉල්ලීම් මත පිහිටා දෙමළ ජනයා අතර ජනාධිපතිවරණ ප්‍රචාරය ගෙන යෑමට රාජපක්ෂ සහෝදරවරු සූදානම් ද?

තිත්ත යථාර්තය නම් මෙම ඉල්ලීම් පිළිගත්ත ද නැත ද ඩග්ලස් දේවානන්දා හට රාජපක්ෂට සහයෝගය දීමට සිදුවනු ඇති බව යි. ඒ ඔහු දීර්ඝ කාලයක් මර්ධනකාරී ශ්‍රී ලංකා රාජ්‍යයේ කොටස්කරුවකුව සිටින නිසා ය. දෙමළ ජාතික සංධානය එල්ටීටීඊ හිංසාකාරී දේශපාලනයේ කොටස්කරුවකුව සිටි බැවින් මෑතක්වනු තුරුම එයට ද දේශපාලන ස්වාධීනත්වයක් තිබුණේ නැත. නමුත් දැන් එල්ටීටීඊ සන්නද්ධ බලය නැති බැවින් දෙමළ ජාතික සංධානය යම් ස්වාධීනත්වයක් පෙන්විමට පටන් ගෙන තිබේ.

දෙමළ ජනයාගේ කැමැත්ත දිනා ගැනීමට නම් රාජපක්ෂ වේවා පොන්සේකා වේවා දෙමළ ජන ඉල්ලීම් අරභයා ස්ථිර පිළිවෙතක් ප්‍රකාශයට පත් කළ යුතු ය. පෙර කී පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඒ සඳහා ප්‍රමාණවත් නැත. පශ්චාත් යුද්ධ සමයේ ශ්‍රී ලාංකික දේශපාලනයේ ප්‍රථම සන්ධිස්ථානය වන්නේ මෙම ජනාධිපතිවරණය යි. එම දේශපාලන වේදිකාව තුළ දෙමළ ජනයාගේ ඉල්ලීම් ආමන්ත්‍රණය කිරීම, විසඳුම් සහ කාල රාමු ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලනය අද මුහුණ දෙන තීණාත්මකම අභියෝගය නොවේ නම් ඉහළින්ම ඇති එකකි. එනමුත් තවම නම් එවැනි සාධනීය සාකචාජාවක ළකුණු පෙනෙන්නේ නැත.

සුනන්ද දේශප්‍රිය