Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘බලතල අහෝසි කර මැතිවරණය පැවැත් වුවහොත් හොඳක් නොවේ.‘

Rev. Rayappu Joseph
Rev. Rayappu Joseph

උතුරේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත යැයි පවසන පළාත් සභා මැතිවරණය හා බැදි තත්ත්වයන් පිළිබදව මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමා සමඟ සුඩර් ඔලි පුවත්පත කළ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය කළ සටහනක් පහත පළවේ.

උතුරු පළාත් සභා මැතිවරණය සිදුවෙයි ද? සිදු වුණොත් දෙමළ ජාතික දේශපාලන පාර්ශව තරඟ කළ යුතුයි කියා ඔබ අපේක්‍ෂා කරනවාද?

මැතිවරණ සිදුවෙයි කියලා කියනවා. ඉන්දියාවත් අත අරින්නේ නැහැ. අපි අපේ ඉඩම් ආරක්‍ෂා කළ යුතුයි. පළාත් සභා මැතිවරණයේදී තරඟ නොකර දෙමළ දේශපාලන පාර්ශව අයිනට වී සිටියොත් ඉඩම් බලතල සැහැල්ලූවෙන් රජය වෙත හෝ රජය පාර්ශව වෙතට යයි. මෙයින් උතුරේ සිංහලකරණය කිසිඳු හිරිහැරයකින් තොරව සිදුවෙයි. ඒ සමඟ දෙමළ ජනතාවට එරෙහිව කි‍්‍රයා කළ හමුදා නිළධාරියෙක් ආණ්ඩුකාර වරයෙක් ලෙස පත්කර තිබෙනවා. මෙයින් අරමුණ වන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් විනාශ කිරීමයි. මෙවැනි තත්ත්වයකින් අපේ ජනතාවට හොඳක් සිදුවෙන්න නම් අපිව අපිම පාලනය කිරීමට බලතල ලබාගත යුතුයි. මේ නිසා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. රජය පළාත් සභා වලට තිබෙන පොලිස්, ඉඩම් බලතල අහෝසි කර මැතිවරණ පැවැත් වුවහොත් එම මැතිවරණයට දෙමළ පාර්ශ්වය ඉදිරිපත් වීම හොඳක් නොවේ. අපිට දුන් 13 වැනි සංශෝධනය සියලූ පළාත් සභාවල කි‍්‍රයාත්මක කර ඒ මඟින් ප‍්‍රයෝජනය ලබාගෙන දැන් අපිට දෙන්න පසු බහිනවා.

1987 දී 13 වැනි සංශෝධනය හඳුන්වා දුන් කාලයේදී විරුද්ධ වූ දෙමළ නායකයන් දැන් 13 පිළිගැනීම හරිද?

පළාත් සභා මැතිවරණයේදී තරඟ කිරීමෙන් හෝ ජයග‍්‍රහණය කිරීමෙන් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට විසඳුමක් ලැබැයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ඔස්සේ දෙමළ ජනතාවගේ අවශ්‍යතා අයිතිවාසිකම් ඉල්ලීම් ඉටු වෙන්නෙත් නැහැ. නමුත් තියෙන එක ආරක්‍ෂා කරමු.

එහෙම නම් දෙමළ ජනතාවට ලබාදෙන විසඳුම කුමක් ද?

අපේ ස්ථාවරයේ දිගටම ඉන්නවා. රට දෙකට කැඞීමෙන් වළක්වා ගන්න ඕනෑ නම්, රට තුළ කිසිඳු කලබලයක් ඇති නොවිය යුතුනම්, දෙමළ ජනතාවගෙන් අභ්‍යන්තර දේශපාලන ඉල්ලීම් ශ‍්‍රී ලංකා රජය පිළිගත යුතුයි. දෙමළ ජනතාව එක් ජාතියක්, තමන්ගේ අයිති ප‍්‍රදේශවල පාරම්පරිකව ජීවත් වන ජනතාවට ඒ අයවම පාලනය කිරීමට අයිතියක් තිබෙනවා. ඒ අනුව බලය බෙදිය යුතුයි.

මෙම විසඳුම ලබා ගැනීම සඳහා මොන වගේ කි‍්‍රයාමාර්ග ගත යුතු ද?

දැනට තිබෙන බලතල නැති කිරීමට උත්සහ දරන රජය අපේ අවශ්‍යතා, අයිතිවාසිකම්, ඉල්ලීම් පිළිගැන විසඳුමක් ලබා දෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ජනතාව දැනුවත් කළ යුතුයි. සිංහල ජනතාව අතර උගත් බුද්ධිමතුන් ආගම හදාරණ කොටසන් ඉන්නවා. ඒ අයට අපේ ඇත්ත තත්ත්වය පැහැදිලි කළ යුතුයි. ඒ ඔස්සේ සිංහල ජනතාව අපිව තේරුම් ගනී. සිංහල ජනතාව අතර චින්තන විප්ලවයක් ඇති කළ යුතුයි.

රජයේ නිළධාරියෙක් වන ගෝඪාභය රාජපක්‍ෂ දේශපාලනයේ නිරත වෙනවා. ඒ සමඟ බොදුබල සේනා වැනි අන්තවාදී සිංහල සංවිධාන සමඟත් කි‍්‍රයා කරනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී ඔබගේ චින්තන විප්ලවය සිංහල ජනතාව වෙතට යයි ද?

ආරක්‍ෂක ලේකම් ගෝඪාභය රාජපක්‍ෂ හෝ බොදුබල සේනා කරන අන්තවාදී ජාතිවාදී ක‍්‍රියා පිළිබඳව දුක් නොවිය යුතුයි. මේ අය සුළු කණ්ඩායමක් පමණයි. චින්තන විප්ලවය ඔස්සේ සිංහල ජනතාව දැනුවත් කර අපේ අයිතිවාසිකම් ලබා ගන්න පුළුවන්. ගෝඪාභය රාජපක්‍ෂ තමාගේ රාජකාරිය අමතක කර කතා කරනවා. අන්තවාදී, ජාතිවාදී සංවිධාන සමඟ එක්වී කරන ප‍්‍රකාශ අපේ චින්තන විප්ලවය ඔස්සේ විනාශ කරන්න පුළුවන්.

යුද්ධයෙන් පසු උතුරේ සිදුවන කි‍්‍රයාමාර්ගය පිලිබඳව ඔබේ අදහස කුමක්ද?

උතුර සහ දකුණේ ඉඩම් අත්පත් කරගෙන හමුදාව පදිංචි කරවීමේ උත්සහයක් දරමින් සිටිනවා. මෙයින් පසු සිංහල පාසල් ඉදි කර, දෙමළ භාෂාව විනාශ කිරීමට ද උත්සහ දරණවා. භාෂාවක් ලෙස සිංහල ප‍්‍රධාන කර දෙමළ ජනතාව සිංහල උගන්වා දෙමළ භාෂාව විනාශ කිරීම සඳහා හමුදා පදිංචි වීම් දෙමළ ජනතාවගේ ප‍්‍රදේශවල කරගෙන යනවා. ජාතික ආරක්‍ෂාව හේතු කොට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගන්නේ හමුදාව පදිංචි කිරීම සඳහා කියලා කියනවා. ඒ සමඟ දෙමළ ජනතාවගේ ඡන්ද සංඛ්‍යාව අඩුකිරීමත් තවත් අරමුණක් වෙනවා. මෙම සියලූ කි‍්‍රයාමාර්ග පිටුපස රජය ඝෘජුව හෝ වක‍්‍රව සිටිනවා. අපි කියන්නේ සිංහල ජනතාව අපේ ප‍්‍රදේශයේ ඉඩම් මිළදී ගන්නවා නම් අපේ කිසිදු අමනාපයක් නැහැ.

අවසාන යුද්ධයේදී ලක්‍ෂයකට වැඩි පිරිසක් මියගිය බව ඔබ දිගින් දිගටම කියනවා. කොහොමද ඔබ මෙය තහවුරු කරන්නේ?

රජයේ තොරතුරු අනුව තමයි මම කියන්නේ. අවසාන යුද කාලයේදී 2008 ඔක්තෝම්බර් සිට 2009 මැයි දක්වා 1,46,679 දෙනෙක් අතුරුදහන් වූ බව රජයේ තොරතුරු කියනවා.

මේ අය දැන් කොහේද ඉන්නේ?

මුලතිව් දිසාපති, වව්නියා දිසාපති සහ කිලිනොච්චි දිසාපති යන අයගේ අත්සන් සමග ලැබුණු ලියැකියැවිලි වල තිබුණු දත්ත සහ එක්සත් ජාතීන්ගේ දත්ත අනුව 1,46,679 දෙනෙක් අතුරුදහන් වෙලා සිටිනවා. මෙම තොරතුරු පැවසූ විට මා වෙත බුද්ධි අංශ එවා කට උත්තර ලබා ගත්තා. පැය 4ක් ප‍්‍රශ්න කළා. මම පැහැදිලිව මා සතුව තිබූ ලියැකියැවිලි භාර දුන්නා. මාව වරද කරුවෙක් කරන්න හදනවා. නමුත් මම අහන ප‍්‍රශ්නයට ඒ අයගෙන් උත්තරයක් ලැබුණේ නැහැ. රජයේ දත්ත අනුව අතුරුදහන් වූ පිරිස කෝ? මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සහ වෙනත් දෙමළ දේශපාලන පාර්ශව ජනතාව දෙනුවත් කළේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ පිලිබඳව කි‍්‍රයා කරනවා. අවසාන යුද්ධයේ දී 40,000ක් පමණ ජනතාව මියගිය බව පළමුව පැවසූ එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුව 70,000ක් මිය ගිය බවත් කියනවා. 1,46,679 ක් තුළ දෙමළ විමුක්ති කොටි සාමාජිකයන් ඉන්න පුළුවන්. නමුත් මිය ගිය අය තුළින් වැඩි පිරිස ඉන්නේ සිවිල් ජනතාවයි.