සිංහල, Colombo, Democracy, Governance

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – ජනාධිපතිවරණ අභියෝග (5)

සමාජ සාධාරණත්වය සහ ජවිපෙ

“මම ඊයේ පාරේ ඉදළ පරණ පත්තර ටික විකුණන්න මිනිහෙක් එක්ක ආව. දන්නවද ඒ මිනිහ කියපු දේ. ආණ්ඩුව එන කොට තිබ්ච්ච බඩු මිලයි අද බඩු මිලයි බැලුවහම ඡන්දෙ දෙන්න ඕන කාටද කියළ තේරනව කිව්ව. දැන් ඉතිං යුද්දෙත් ඉවරයිනෙ කියළත් කිව්ව” ඔහු කියූ බවට මගේ මිතුරිය කී අනෙක් වචන මා නොලියන්නේ එමගින් ජනාධිපතිවරණයට නොකැමැත්තෙන් හෝ මා ද ඈදීමට ඇති ඉඩ නිසා ය.

2005 ජනාධිපතිවරණය හැර ශ්‍රී ලංකාවේ මෑත කාලීන සෑම මැතිවරණයකදී ම තිරණාත්මක සාධකය නැත්නම් ඉන් අංක එක වුයේ යහපත් ජීවන තත්ත්වයක් සහ සමාජ සාධාරණත්වයක් උදෙසා අපේ ජනයා තුළ ඇති ගැඹූරු අපේක්ෂාව යි. හඳෙන් හෝ සහල් ගෙනැවිත් දීමේ සිරිමා පොරොන්දුව, ඇට රාත්තල් අටක් ලබා දීමේ ජේ.ආර්. පොරොන්දුව, පාන් රාත්තල සත 60ට දීමේ චන්ද්‍රිකා පොරොන්දුව යනාදී අප මතකයේ රැදී තිබෙන්නාවූත් නොතිබෙන්නාවූත් බොහෝ සංසිද්ධින් විසින් ඒ බව සනාථ කරයි. එමෙන්ම 53 හර්තාලයේ දෝංකාරය, 81 මහා වැඩවර්ජනය, අයිතීන් ඉල්ලා කැරෙන අනවරත ශිෂ්‍ය උද්ඝෝෂන සහ මෑත කාලීන වැඩවර්ජන විසින් ද පෙන්නුම් කරන්නේ සමාජ සාධාරණත්වය සඳහා අපේ පොදු ජනයා තුළ ඇති නොනිමෙන උවමනාව යි.

අනෙත් අතට අප දන්නා තවත් කාරණයක් තිබේ. එනම් ශ්‍රී ලංකාව සමාජ සුභ සාධනය අතින් එහි ඒක පුද්ගල වාර්ෂික ආදායම ඇති අනෙක් රටවලට වඩා බොහෝ ඉහලින් සිටින බව යි. 2009 එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාවට අනුව මානව සංවර්ධන දර්ශකය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ රටවල් 180 කින් 102වන ස්ථානයේ ය. ශ්‍රී ලංකාවේ දර්ශකය 0.759 වන අතර ඉහළම දර්ශකය වන 0.971 අයත් වන්නේ නොර්වේ රටට ය. මෙම දර්ශකය මගින් පෙන්වන්නේ අපේ රටෙහි සමස්ත සංවර්ධනයේ ස්ථානය හොඳ නැති බව යි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදනය එ.ජ. ඩොලර් 4,200කි.

එනමුත් මානව සංවර්ධන දර්ශකය අතින් අප සිටින්නේ එ.ජ. ඩොලර් 5,800ක් ඇති රටවල් සිටින ඉහළ සීමාවක ය. ඒ සමාජ සුභ සාධන පිළිවෙත් හි ප්‍රතිපල නිසා ය. දුප්පත්කමේ අද්දර සිටින ජනයාට අදාළව මෙම දර්ශකය සඳහා යොදා ගැනෙන දත්ත ඇසුරෙන් ම මානව දුගී බාවයේ දර්ශකය නමින් ද කැරෙන විශ්ලේෂනයක් එම වාර්තාවෙහි ම අඩංගු ය. ඒ අනුව ශ්‍රී ලංකාව සිටින්නේ එකී සමීක්ෂනයට භාජනය වූ රටවල් 135 අතුරින් 67 වන ස්ථානයේ ය. මෙය ද දූගී ජනයාට කළක් පුරා සැපයෙන සේවාවන් නිසා ලබා ඇති වඩා ඉහළ දර්ශකයකි. ස්ත්‍රී පුරුෂ පරමායුෂ, වැඩිහිටි සාක්ෂරතාවය සහ ද්විතීයක සහ තෘතීයක අධ්‍යාපනය සළකා බලමින් සකස් කරනු ලබන පුමිතිරි සංවර්ධන දර්ශකයක් ද එම වාර්තාවට ඇතුළත් ය. එයට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ රටවල් 155ක් අතුරින් 36 වන ස්ථානයේ ය. එයද කළක් පැවැති සමාජ සුභ සාධන පිළිවෙත්හි ප්‍රතිපලයකි.

අද මෙම සමාජ සුභසාධනයන් විනාශ මුඛයේ ඇති නමුත් තවමත් පවතින මෙම දත්ත අපට පෙන්වන්නේ ශ්‍රී ලංකාව සිය ජනයා සාගතයෙන් මිය නොයන, යම් තරමක සමාජ සුභසාධනයක් ඇති රටක් වශයෙන් දිර්ඝ කාලයක් පැවැත ඇති බව යි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව, සහනදායි පොදු ප්‍රවාහණ සේවා සහ නීතියේ පාලනය තහවුරු කළ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂන ඊට බලපෑවේ ය.

ශ්‍රී ලංකාව හැරුණ විට දුගී බාවය තිබියදීත් දකුණූ ආසියාවේ ආඩම්බර විය හැකි මානව සංවර්ධන දර්ශක ඇති අනෙක් කලාපය ඉන්දියාවේ කේරළය යි. කේරළ ප්‍රාන්ත රාජ්‍ය ය ඉන්දියාවේ මානව සංවර්ධනය අතින් ඉහලින්ම සිටින්නේ පසුගිය කාලය පුරා එම ප්‍රාන්තය පාලනය කළ වාමාංශික දේශපාලන පක්ෂයන්හි සමාජ සාධාරණත්වයේ පිළිවෙත් නිසා ය. එසේ නම් ධනපති පාලකයින් විසින් 1948 සිට පාලනය කළ අප රටෙහි සමාජ සුභසාධනයට මෙතරම් ස්ථානයක් ලැබුණේ කෙසේ ද? ඊට හේතුව වුයේ ද වාමාශික ව්‍යාපාරය ම ය. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් හැරුණ විට දකුණු ආසියාවේ ශක්තිමත් ම වමේ ව්‍යාපාරය තිබුණේ අපට ය. ආණ්ඩු බලය ලබා ගැනීමේ අද්දරටම පැමිණි නමුත් විවිධ හේතූන් මත වමේ ව්‍යාපාරයෙන් එම අවස්ථාව ගිලිහුණි. එනමුත් එය දශක ගණනාවක් පුරා අප සමාජයේ සමාජ සාධාරණත්වයේ නොපෙනෙන උත්ප්‍රේරකය විය. අපේ සුභ සාධක රාජ්‍යයේ ගෞරවය අයිති වමට ය. එමෙන්ම 1970 දක්වාම ආණ්ඩු බලය කෙරෙහි තීරණාත්මක බලපෑමක් තබා ගැනීමට ද සමාජ සාධාරණත්වය මූලික අරමුණ කරගත් ඒකාබද්ධ වම සමත් විය.

අද ජනතා විමුක්ති පෙරමුණ හමුයේ ඇති එක් තීරණාත්මක අභියෝගයක් පැන නගින්නේ මෙතැනිනි. ඒ අබල දුබලව පිළිවෙතක් නැතිව (සාරි පොටේ ද) සටකයේ එල්ලී සිටින සම්ප්‍රධායික වම විසින් අත හරින ලද සමාජ සාධාරණත්වයේ සැබෑ ධජය ඉහලින්ම ඔසවා ගැනීම යි. අනුරාධපුර ජනාධිපතිවරණ රැළියෙහි අනුර කුමාර දිසානායක කළ කතාව අන්තර් ජාලයෙන් ඇසූ මිතුරකු කීවේ අවශ්‍ය කතාව එනම් ආර්ථික ප්‍රශ්න තේමාව කරගෙන කතා කලේ ඔහු බව යි. ධනපති දේශපාලන පක්ෂයන්ට කිසිම ලෙසකින් සැබෑ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය නොහැකි ය. මෙම ජනාධිපතිවරණ සටනේ ජවිපෙ සතු සුවිශේෂ භූමිකාවක් වේ නම් ඒ හුදු දේශපාලන හා සිවිල් අයිතීන්ගෙන් ඔබ්බට යමින් පීඩිත මහා ජනයාගේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් උදෙසා ජනමතයක් සහ බලවේගයක් ගොඩ නැගීම යි. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ජවිපෙ සතු ස්වකීය අනන්‍යතාවය වනු ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක් ම නොව පංති අරගලයේ වත්මන් ස්වරූපයන් වන සමාජ සාධාරණත්වයේ විවිධ මහජන ව්‍යාපාරයන් බලවත් කිරීම ය.

නිදහසින් පසු අප රටෙහි ජනයා භුක්තිවිඳි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව, පෘතූලව පැවැති කෘෂි සේවා සහ සහනදායි ප්‍රවාහණ සේවා යනාදිය අද ඇත්තේ විනාශ මුඛයේ ය. නීතියේ පාලනයක් නැතිවීම සහ දූෂනය හා භීෂනය රජ වීම යනාදිය ද ඊට හේතු සාධක වී ඇතත් ඊට තීරණාත්මක හේතුව නම් නව ලිබරල්වාදී දේශපාලන පිළිවෙත ය. වෙළද පොළ යාන්ත්‍රණයන් විසින් සියළු දෙනාට සම අවස්ථාවන් සළසන්නේ ය යන ව්‍යාජය විසින් අප භුක්තිවිදි සමාජ ආර්ථික අයිතීන් අද දරුණූ ලෙස ඝාතනය කැරෙමින් තිබේ. නව ලිබරල්වාදය ඇමෙරිකානු සමාජය මත පවා දුර්විපාක පතිත කරවන මේ දිනවල දරශනය වන මයිකල් මූර්ගේ ”ධනවාදයේ ආදර කතාව’‛ නම් අනගි වාර්තා විත්‍රපටයෙන් දැක ගත හැකිය.

ජනාධිපතිවරනය කාගේ ජය පරාජයෙන් අවසන් වුවද එය ලෝකාවසානය වන්නේ නැත. පශ්චාත් 1983 කාලපරිච්ජේදය තුළ ජාතිකවාදී දේශපාලනයේ සිරකරුවකු බවට පත් වූ නමුත් ජවිපෙ වැනි පීඩිත සමාජ ස්ථරයන් මත රඳා පවතින සමාජ සාධාරණත්වය සඳහා වූ අපේක්ෂාවන්ගෙන් පැන නැගි දේශපාලන ව්‍යාපාරයකට ජනාධිපතිවරනයෙන් එහා ඇති ඉතාමත් තර්කානුකූළ මාර්ගය වන්නේ නව සමාජ(වාදී) – ප්‍රජාතන්ත්‍රවාදී අරගලය යි. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට ආමන්ත්‍රණය කළ හැකි වැඩ පිළිවෙළක් ඇත්තේ එවැනි වේදිකාවක ය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය පශ්චාත් යුද්ධ කාල පර්ච්ජේදය විසින් නව මාවත් කරා යොමු කරනු ඇති බව පෙන්නුම් කරන කඩ ඉමක් බවට මෙම ජනාධිපතිවරණය දැනටමත් පත් වෙමින් තිබේ. නව දේශපාලන සංධාන ගොඩ නැගෙමින් තිබෙන අතර එජාපය සහ ශ්‍රීලනිපය අතර ඇති වෙනස්කම් තව දුරටත් මැකී යමින් පවතී. බෙදුම්වාදී දේශපාලනයේ මිලිටරි පරාජයෙන් පසු උතුරු නැගෙනහිර දේශපාලනය ද නව වෙනස්කම් සඳහා සූදානමක් පෙන්වයි.

අප අද සිටින්නේ නිර්භය නව සිතීමක් ඉල්ලා සිටින අන්තර් ජාතිකවූත් සහ ජාතිකවූත් නව දේශපාලන සංධිස්ථානයක ය. ශ්‍රී ලංකාවේ සියළු පිඩිත ජනයාගේ අයිතීන් නියෝජනය කළ හැකි නව දේශපාලන සංධානයක් අද අපට අවශ්‍ය ය. තනි තනි පක්ෂ අධිකාරිත්වය දැරූ යුගය උතුරේද දකුනේ ද අවසන් වෙමින් තිබේ. එවැනි සංධානයක් සඳහා නායකත්වය දිය හැක්කේ වාම දේශපාලන ඥානය ද කැරලිකාර ක්‍රියාකාරිත්වයේ ජවය ද මුහු කර ගැනීම මගිනි. නව ලිබරල්වාදී එජාපය සහ ශ්‍රීලනිපයට අභියෝගයක් විය හැක්කේ සෑම අර්ථයකින්ම සමාජ සාධාරණත්වය සිය ධජය බවට පත් කර ගන්නා එවැනි දේශපාලන සංධානයකට පමණි. අන්ත ජාතිකවාදය තවදුරටත් දේශපාලන වාහනයක් නොවේ.

අද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මෙම අවකාශය පිරවිය හැකි බලවේගය බවට පරිණාමය විය හැකි ව්‍යාපාරයක් ඇතොත් ඒ ජවිපෙ පමණි. නමුත් ඒ සඳහා එය ජයගත යුතු කඩුළු අතර එක් තීරණාත්මක කඩුල්ලක් ද තිබේ. එනම් මෙරට සුළුතර ජනයාගේ සාමූහික අයිතීන් පිළිබඳ නව ප්‍රවේශයක් ඇති කර ගැනීමයි. ඒ සාකච්ඡාව මීලග සතියට තබමි.

සුනන්ද දේශප්‍රිය