Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම්වරුන්ට කරන හිරිහැර හා රජයේ අහක බලා ගැනීමේ ප‍්‍රතිපත්තිය

දීර්ඝ ගැටුමකින් පසුව යාන්තම් අස්වැසුම් ලබමින් සිටින අප රටට රජයේ මෙම ආකල්පය ඉතාම අහිතකර එකකි. වසර දෙකකට පමණ පෙර ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරන්නට ආරම්භ කරන ලද ද්වේෂ රැල්ල විෂයයෙහි රජය දිගින් දිගටම දක්වන්නේ උක්ත අහක බලා ගැනීමේ ආකල්පයමය.

මෙම තත්වය නිසා මුස්ලිම් ජනයාගේ ඉවසීමේ සීමා ඉක්මවනු ඇති අතර ඔවුන් සිය විරෝධතාවය දැක්වීමට වීදි බැසීමට සිදු වනු ඇත. සුළු ජාතීන් විෂයයෙහි ලංකා රජය කි‍්‍රයා කළ ආකාරය පිළිබඳ ලොව පුරා ආන්දෝලනයක් ඇති වෙමින් පවතින මෙවන් වකවානුවක මෙවැනි ජන අරගල මෙහි ඇති වීම මගින් දේශයක් හැටියට ලංකාවට පමණක් නොව දැනටමත් ජගත් විත්ති කූඩුවේ සිටින වත්මන් රජයටද කිසිදු සෙතක් ඇති වන්නේ නැත.

මුස්ලිම් ජනයාට සිදු කරනු ලබන ප‍්‍රහාර දිවයින පුරා දක්නට ලැබෙන හුදෙකලා සහ අහඹු සිද්ධීන් මෙන් පෙනෙන්නට තිබුන ද මෙය සිතා මතා සංවිධානාත්මකව සිදු කරනු ලබන මනා සම්බන්‍ධීකරණයෙන් යුත් සැලසුමක ජවනිකාවන්ය යන මතය මුස්ලිම්වරුන් අතර පමණක් නොව ලංකාව ගැන සැබෑ ආදරයක් ඇති සියලූම අය අතර ඇති වෙමින් පවතී. මෙම ප‍්‍රහාර සිදු කරන කල්ලි පළිහක් මෙන් සිවුරු ඇඳගත් පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරියෙන් තබා ගැනීම අතිශය අනතුරුදායක විය හැකිය. මෙසේ මා පවසන්නේ මෙම අයුක්තිසහගත කි‍්‍රයා හමුවේ මෙතෙක් ඉවසීමෙන් සිටි මුස්ලිම්වරුන් එහි සීමාව අසලටම පැමිණ සිටින බවක් පෙනෙන්නට ඇති බැවිනි.

 පොලීසිය බලා සිටියදී ව්‍යාපාරික ස්ථානයකට ගල් ගසන චීවරධාරියෙක් | Image: http://lankaonglobe.files.wordpress.com
පොලීසිය බලා සිටියදී ව්‍යාපාරික ස්ථානයකට ගල් ගසන චීවරධාරියෙක් | Image: http://lankaonglobe.files.wordpress.com

එවැනි විනාශකාරී තත්වයක් රටට යලි ඇති වුවහොත් එය අප රටට කිසිසේත් ඔරොත්තු දෙන්නේ නැති අතර මෙම කුමන්ත‍්‍රණ පසුපසින් සිටින බලවේග මාන බලන්නේ අප රටෙහි එවන් අර්බූද්යක් නැවත නිර්මාණය කිරීමටය.

මෙම තත්වය නිරීක්‍ෂණය කරන හිටපු තොරතුරු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් අප තවත් මේ බලා සිටින්නේ කුමටද? නැවතත් ව්‍යසනයක් ඇති වන තෙක්ද? තවත් විනාශයක් කරා රට තල්ලූ කරමින් සිටින බෞද්ධ අන්තාවදීන්ගේ මොලය පාදවන්නට දැන් හොඳටම කාලයයි නොවේද?’ යැයි පැවසීය. මුස්ලිම් මෙන්ම සිංහල බහුතරයේද හිතාදරය දිනා ඇති අවංක දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරනු ලබන ප‍්‍රහාර වැළැක්වීමට නොපමාව රජය පියවර ගත යුතුය අවධාරණය කළේය. ‘එසේ නොකළහොත් මෙය දැවැන්ත විනාශයක් කරා අපව ගෙන යනු ඇත’ යැයිද හෙතෙම අනතුරු ඇඟවූයේය.

සමස්ත ජනගහනයෙන් සියයට දහයක් පමණ වන ලාංකික මුස්ලිම් ජනතාවගේ සිත් තුල මෙම වාතාවරණය ඉමහත් බියක් ජනිත කර ඇති අතර අන්තවාදී ලෙස හැසිරෙමින් මුස්ලිම්වරුන්ට හිරිහැර ගෙන දෙන්නන්ව නීතියේ ග‍්‍රහණයට ගැනීමට රජය කි‍්‍රයා නොකරන නිසා මෙම කි‍්‍රයා සිදුවන්නේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිවය යන මතය ඔවුන් අතර මුල් බසින්නට පටන් ගෙන ඇත. මුස්ලිම් සමූහයා පමණක් නොව මෙම කි‍්‍රයාකලාපවලට අනුග‍්‍රහ නොදක්වන බහුතර සිංහල ප‍්‍රජාවේ උගතුන් ප‍්‍රමූඛ සාමය අගයන්නන් විසින් මෙවන් කි‍්‍රයා නවත්වා දමන්නට පියවර ගන්නා මෙන් රජයට සිදු කරමින් සිටින සියලූම ආයාචනා බිහිරි ඇතාට වයන වීණා මෙන්ම පවතී.

මේ අතර වරප‍්‍රසාද අත් විඳිමින් බලයෙහි සහ තනතුරෙහි එල්ලී සිටීමට ඇති කෑදර කම සහ සිය සමූහයා කෙරෙහි වන වගකීම් යන දෙකින් එකක් තෝරා ගැනීමේ තත්වයට පත්ව සිටින මුස්ලිම් දේශපාලන නායකයන් සිරිත් පරිදි සිය උදරාර්ථයට මුල්තැන දෙමින් එය වෙනුවට ආත්මය විකුණා දමා කිසිත් නොබා සිටිති. එම නායකයන්ද දැන් කැබලි කිහිපයකට කැඞී බලසුන්‍ය වී පාලන බලයේ සැඩ පහරට හසුවූ කුණු රොඩු පවට සුලූතර වී සිටිති. මෙම තත්වය නිසා විටින් විට අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් වැන්නන්ගේ මුවින් පිටවන කංකෙඳිරියට සම්ප‍්‍රදායක් ලෙසින්වත් රජය සවන් නොදෙන නිර්ල–ජී තත්වයක් දැන් උදා වී ඇත.

එමෙන්ම තමන්ගේ දුක්ගැනවිලි මොවුන් වැන්නන්ට කියා පෑමෙන් කිසිදු ඵලක් නැතය යන කටුක සත්‍යය අසරණව සිටින මුස්ලිම් සමූහයාද වටහා සිටිති. රජයේ තොටිල්ලේ නැළවෙමින් සිටින මුස්ලිම් නායකයන් මෙම නීති විරෝධී, ප‍්‍රජාතාන්ත‍්‍රී විරෝධී ප‍්‍රහාර රැල්ල නැවැත්වීමට තම රජයට බල කළ නොහැකි නම් හා මොවුන්ට අබමල් රේණුවක් තරම් හෝ මානයේ හැඟීමක් හෝ ආත්ම ගෞරවයක් ඇත්නම් ඔවුන් කළ යුත්තේ රජයෙන් ඉවත් වීමයි.

එනමුත් අප මෙහි දකින්නේ නම් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරනු ලබන අපරාධවලට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී සුමාන්තිරන් පාර්ලිමේන්තුවේ හඬ නගමින් සිටින විට මුස්ලිම් මැති ඇමතිවරුන් කට තද කර වසා ගනිමින් කරබාගෙන සිටින නිහීන තත්වයකි.

ඇත්තෙන්ම තත්වය එයටත් වඩා නරකය. සුමාන්තිරන් වැන්නන් මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටින විට රජය සමග මධුසමය ගත කරමින් සිටින මුස්ලිම් අමාත්‍යවරයෙකු වන ෆයිසර් මුස්තෆා කිසිදු විලිබියක් නොමැතිව පැවසුවේ සිදුවන මෙම සිදුවීම්වලට වග කිව යුත්තේ රජය නොව බොදු බල සේනා සංවිධානය බවයි.
නමුත් රජයේ ආශීර්වාදය නොමැතිව බොදු බල සේනා සංවිධානය මෙසේ ප‍්‍රසිද්ධියේ පොලිසිය බලා සිටින විටම නීතිය සියතට ගනිමින් එය උල්ලංගණය කරමින් කිසිදු බියක් චකිතයක් නෙමැතිව පොලිසියේ උසස් නිලධාරීන්ට පවා දබරැඟිල්ල උළුක් කරමින් තර්ජනය කරන්නේ කෙසේද යන පැනය මුස්ලිම් ජනයා මෙන්ම යුක්තිය අගයන සියලූම දෙනා අසමින් සිය විමැතිය පළ කරති.

ෆයිසර් මුස්තෆා වාසය කරන්නේ අප වාසය කරන අර හඳට සමීපවම තිබෙන ග‍්‍රහලෝකයේම නම් මුස්තෆාද අයත් වන මෙරටේ මුස්ලිම් සමූහය විඳින දුක ගැන ඔහුටද දැන ගන්නට ලැබෙන්නට ඇතුවාට සැක නැත. නමුත් ඔහු වැන්නන්ට මෙම නිහීන අපරාධ පෙනිය නොහැකි තරමට ඔවුන් කාර්ය බහුලව සිටිති. මේ දිනවල මුස්තෆා වැනි වංක ප‍්‍රධානීන්ගේ අවධානය වැඩියෙන් යොමු වී ඇත්තේ රජය සමග සිටින මුස්ලිම් නායකයන් අතුරින් වඩාත් වේගයෙන් රජය වෙනුවෙන් කඩේ යා හැක්කේ තමන් අතුරින් කාටද යැයි රජයට පෙන්වීමටය. තම සමූහයාට හෙණ ගැසී ගියත් ඔවුන් ඔවුන් උපරිමයෙන් කරන්නේ මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම පමණකි. ඒ අනුව බලන කල සිය සමූහයා වෙනුවෙන් කැපවීම් කිරීමේ විෂයය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයෙන් මොවුන්ට ඉගෙන ගත යුතු දේ බොහෝ ඇත.

මේ අතර ‘මෙය සිංහල බෞද්ධ දේශයයි. මෙහි සුළු ජාතීන්ට ඉඩක් නැත’ යැයි කියමින් කෑගසන බෞද්ධ අන්තාවදීන්ට ද අතීතය අමතක වී ගොස් බව පෙනේ. ගතවූ වසර තිහක දීර්ඝ යුද්ධ සමයෙහි මෙම රට දෙකඩ වන්නට ඉඩ නොදීමේ මෙහෙවරට දැවැන්ත දායකත්වයක් ලාංකික මුස්ලිම් ප‍්‍රජාව ද ලබා දුන් බව හා බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සිටිමින් මෙම දශක තුනක කාලයක් තුල වචනයෙන් විස්තර කළ නොහැකි කම්කටොල්ලක් රට වෙනුවෙන් මුස්ලිම්වරුන්ද විඳි සැටිත් මෙම බෞද්ධ කල්ලිවලට අමතක වී ගොසිනි.

එම දුර්භික්‍ෂ සමයෙහි මුස්ලිම්වරුන් කොටින් විසින් ඝාතණය කරන ලදී. ඔවුන්ගේ දේපළ ඉඩකඩම් කොල්ල කන ලදී. ඔවුන්ගේ වගා බිම්, එළුවන් ගවයන් මරා ගිනි තබන ලදී. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය ඇතුලූ සියලූ ජීවනෝපා කඩාකප්පල් කරන ලදී. ඔවුන්ගේ පාරම්පරික නිජබිම්වලින් පළවා හරින ලදී.

එසේ බලන කල බහුතර සිංහළ ජනයාට වඩා ශාරීරික, මානසික සහ වස්තුමය වශයෙන් විශාල අලාභ හානි මුස්ලිම් ජනයා මේ රටේ ස්වෛරී බව වෙනුවෙන් විඳ දරා ඇත්තාහ. එවැනි අසීරු තත්වයකදී පවා ඔවුන් කොටින්ට අවනත වන්නට හෝ ඔවුන් සමග එක්ව කි‍්‍රයා කරමින් එම කටුක දුකින් මිදෙන්නට නොසිතුවෝය. රජයේ හමුදා දුබලව සිටි ආරම්භ අවදියෙහි මුස්ලිම් ජනයා කොටින්ට සහයෝගය පළ කර තිබුනේ නම් මෙම දේශය අද එක්සත් රටක් වන්නට නොතිබුනි. එය වෙනුවට මෙහි එක් කොණක දෙමළ ඊළමක් බිහිවන්නට තිබුනි. රටේ තුනෙන් එකක් වන සුලූ ජාතීන්ගේ කැමැත්ත අනුව රට බෙදා දෙන්නට කවදත් කොටි ත‍්‍රස්තාවාදයට කත් අදිමින් සිටින බටහිර මුලික ජාත්‍යන්තරයටද පහසුවෙන් කි‍්‍රයා කරන්නට තිබෙනි.

එසේ නොවන්නට වග බලා ගනිමින් සිය ගම් නගරවලින් අනාථයන් ලෙසින් ඇඳි වතින් පැමිණ සරණාගත කඳවුරුවල ගාල් කරනු ලැබ -තවමත් එහිම බහුතරයක් වසන- මුස්ලිම් ජනයා පසුපස අද බෞද්ධ අන්තවාදීන් නම් වන ‘කළ හොඳ’ පන්න පන්නා පහර දෙයි. වසර දෙකකට පමණ පෙර පොලිසියේ සේනාවක් බලා සිටින විටම අනුරාධපුරයේ මුස්ලිම් ශාන්තුවරයෙකුගේ සොහොන බිඳ සමතලා කර දැමීමෙන් පටන් ගත් මෙම බෞද්ධ ද්වේෂය කිසිදු බාධාවකින්ත තොරව දිගටම කෙරීගෙන යනු දැකිය හැක.

එහි තවත් එක් අදියරයක් ලෙසින් පසු ගිය මස කතරගම සිට පාගමනින් අරළියගහ මන්දිරයට පැමිණි භික්ෂුන් පෙරමුණ කර ගත් නඩයක් ගව ඝාතණය ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් භාර දී ඇත. අද ලංකාවේ දැවෙන ප‍්‍රශ්නය මෙයදැයි මා අසනු කැමැත්තෙමි. මෙහි ඇති තවත් නීරස හාස්‍යයක් නම් මෙම නඩයට පොලිස් ආරක්‍ෂාවද සපයා තිබීමයි.

එයින් දින කිහිපයකට පසු එනම් 2013 ජූනි 30 වැනි දින මඩකළපු දිස්ත‍්‍රික්කයේ අසාර් විද්‍යාල ක‍්‍රීඩා භූමියෙහි රහසින්ම බුදු පිළිමයක් ගැනෙවිත් තැන්පත් කරන ලදී. අසාර් විද්‍යාලයේ සහ යාබදව පිහිටි ෂාදුලියා විදුහලේ සිසුන්ට තිබෙන එකම ක‍්‍රීඩා භූමිය මෙයයි. මෙයට පෙර 2010 වසර මාර්තු මාසයේ පළමුවැනි දිනයෙහි අසාර් විද්‍යාලයේ ක‍්‍රීඩා භූමියට යාබදව පිහිටි පන්සලේ භික්‍ෂූන් පිරිසක් විසින් විද්‍යාලයේ තාප්පය බිඳ දමා ඇති අතර එවිට ඔවුන් උද්ඝෝෂණය කර ඇත්තේ ක‍්‍රීඩා භූමිය පන්සලේ ඉඩමක් වන බවයි. පසුව මෙම ගැටලූව අධිකරණයට යොමු කරනු ලදුව 2013 ජූනි 25 වැනි දින නිකුත් කරන ලද තීන්දුවකින් එම ඉඩම නීති ප‍්‍රකාරව අයත් වන්නේ අසාර් විද්‍යාලයටයම යැයි තහවුරු කර තීන්දු කරන ලදී.

එයිනික්බිති පසුගිය මස එම ක‍්‍රීඩා භූමියේ බුදු පිළිමයක් තැන්පත් කරන ලද්දේ ඉහත අධිකරණ තීන්‍දුවද තුට්ටුවකට මායිම් නොකරමිනි. මෙම නීති විරෝධී කි‍්‍රයාවට සති තුනක් පමණ වන නමුත් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.

එයින් දින කිහිපයකට පසු 2013 ජූලි 11 වැනි දින මැදියම මහියංගණයේ අරෆා ජුම්මා පල්ලියට බලයෙන් කඩා වැදුනු පිරිසක් එය තුල ඌරෙකුගේ හිසක් සහ බඩවැල් ඇතුලූ තවත් අවයව හා රුධිරය සිද්ධශ්ථාන ගර්භය තුල විසිර දමා පලා ගොස් ඇත. මෙය ඔවුන් සිදු කර ඇත්තේ රාමසාන් උපවාසය රකිමින් සහ එයට අදාල විශේෂ ආගමි වතාවත්වල යෙදෙමින් සිටින මුස්ලිම්වරුන්ට විශේෂ වැදගත්කමක් ඇති මාසයකය. මේ වන විට රාත‍්‍රි විශේෂ වන්දනාමාන අවසන් කර ප‍්‍රදේශ වාසීන් පල්ලියෙන් ගොස් සිටි අතර එවිට පල්ලිය අසල සිට ඇත්තේ එම පල්ලියේ භාරකරු හා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සීනි මුහම්මද් යන අය පමණී. එවිටම වාගේ විදුලි බලය විසන්ධි වූ අතර යතුරු පැදි තුනකින් පැමිණි දාමරිකයන් සය දෙනෙකු මිරිස් කුඩුවලින් සීනි මුහම්මදගේ මුහුණට දමා ගසා ගෙනැවිත් තිබුනු බාල්දියේ තිබුනු ඌරු කොටස් පල්ලියේ දොර කඩා ඇර එය තුලට දමා ගොස් ඇත.

බුද්ධාගම ඇතුලූ කිසිදු ආගමක් අනුමත නොකරන මෙම නිහීන කි‍්‍රයාවෙන් අතිශයින්ම සංවේගයට පත් ප‍්‍රදේශ වාසී සාමකාමී මුස්ලිම් ජනයා මෙම සාපරාධී කි‍්‍රයාව ගැන ඌව පළාතේ මන්ත‍්‍රී අනුර ගමගේ මහතාට වහා සැලකර ඇති අතර එතුමාද මිනිත්තු කිසිපයකින්ම එතැනට පොලිසියේ නිලධාරීන්ද සමග පැමිණ වහාම සිද්ධස්ථානය පිරිසිදු කර දීමට කටයුතු කළේය.

අහිංසාව ලොවට දෙසු බුදු දහම ප‍්‍රධාන ආගම ලෙසින් පවතින හා පුරා වසර 2500 ක් අන්‍යාගමික ඉවසීම පිළිබඳ ලොවට ආදර්ශයක්ව පැවති මෙම සිහල බොදු ධර්ම ද්වීපයට කුමක් නම් වීද?

එමෙන්ම උක්ත නොහොබිනා කි‍්‍රයා නිසා ලංකාවේ දැනටමත් පලූදු වී ඇති ප‍්‍රතිරූපයට මෙම දුෂටයන් ඇති කරන හානියේ දැවැන්ත බව ඔවුන්ට නොපෙනේ නම්, වගකීමෙන් කි‍්‍රයා කළ යුතු හා පෙර අපරදිග මෙන්ම අරාබි මුස්ලිම් රටවල් ඇතුලූ සෙසු ලෝකයාගේ හොඳ හිත අපගේ පැවැත්මට අවශ්‍ය බව වටහා සිටින රජයට නොපෙනෙන්නේ කුමන කරුමයක්ද?

මෙම මුස්ලිම් පල්ලිය වසර 44 කට පෙර පදිංචියට පැමිණි මහියංගණයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සීනි මුහම්මද්හට අයත් ඉඩමක 1991 ඉදි කරන ලද්දකි. ගත වූ මාස කිහිපයක් පුරා මෙම පල්ලියට සෘජුව හා වක‍්‍රව විවිධාකාරයේ තර්ජන ගර්ජන එල්ල වෙමින් තිබුනි. කිසිදු හේතුවක් නොදක්වමින් තර්ජන කළවුන් බල කර ඇත්තේ මෙම පල්ලියේ සිකුරාදා වන්දනය නවතා දමන ලෙසින් හා පසුව පල්ලියම එතැනින් ඉවත් කරන ලෙසිනි.

මෙම තර්ජනවල ප‍්‍රතිඵලයක් ලෙසින් බියට පත්ව ප‍්‍රදේශ වාසී මුස්ලිම්වරුන් 2013 ජූලි 12 සිකුරාදා මෙහි වන්දනය පවත්වා ඇත්තේ පොලිස් ආරක්‍ෂාව සහිතව වන අතර පසුව තත්වය උග‍්‍ර වීම නිසා ජූලි 19 වැනි සිකුරාදා එහි වන්දනය නොපවත්වන ලදී. මේ සඳහා වන බල කිරීම කර ඇත්තේ බොදු බල සේනා සංවිධානයයි. මෙම සංවිධානයේ කි‍්‍රයාකාරකම් පසුගිය මාසවල මෙ ප‍්‍රදේශයේ තීව‍්‍රව වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය හෙළි දකිමින් මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ මෙය ලාංකික මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මකව දියත් කර ඇති භීෂණ හා ද්වේෂ රැල්ලේ තවත් පියවරක් බවයි. මෙමගින් ජාතීන් තවත් ඈත් වනු ඇත බව ඔහු පෙන්වා දුන් අතර බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥාණසාර භික්‍ෂුව විසින් විවෘතවම සිදු කරමින් සිටින ද්වේෂ ව්‍යාපාරයට එරෙහිව කිසිදු පියවරක් නොගෙන තිබෙන තත්වය ගැනද සිය සංවේගය ඔහු පළ කළ අතර මෙම තත්වය මුස්ලිම් ප‍්‍රජාව විසින් වටහා ගනු ඇත්තේ තමන්ට එරෙහිව සිදු කරන මෙම අපරාධවලට රාජ්‍ය අනුග‍්‍රහයද නොමඳව ත්ිබෙන්නක් ලෙසින් යැයිද ඔහු පෙන්වා දුන්නේය.

මහියංගණ සිද්ධියෙන් සතියකින් පමණ තවත් අපරාධයක් මෙවර කොළඹ මුදා හරින ලදී. දෙමටගොඩ ගවමස් බෙදා හරින ස්ථානයේ නවතා තිබුනු ලොරියකට භික්‍ෂූන් කිහිප දෙනෙකු අළුයම එකට පමණ කැබ් රියකින් පැමිණ පෙට‍්‍රල් දමා ගිනි බත් කර පළා ගොස් ඇත.

මෙය ගැන අදහස් දැක්වූ ජාතික එකමුතු සන්ධානයේ සභාපති අසාද් සාලි කියා සිටියේ මෙමගින් ඇතැම් දුෂ්ට බලවේග අපේක්‍ෂා කරන්නේ මුස්ලිම්වරුන්ගේ ගවමස් වෙළෙඳාම අඩාල කිරීමටය යන්නයි.

මෙවැනි කි‍්‍රයා දිගින් දිගටම සිදුවෙයි නම් සහ එයට එරෙහිව කිසිදු පියවරක් රජය නොගනියි නම් සිය නීත්‍යානුකූල මානව අයිතීන් රැක ගැනීමට මුස්ලිම් ජනයාට වීදි බසින්නට සිදු වනු ඇති බව අසාද් සාලි පෙන්වා දෙයි.

ලතීෆ් ෆාරුක් | Latheef Faruk