Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

වැලිවේරියේ සංහාරය

weliweriya_military(1)[Image Credit: vannimedia.com]

ජීවිතේ අත්දැකීමට තියෙන අමිහිරිම, දරුණුම, වේදනාත්මක අත්දැකීම නම්, පට්ටපල් බොරු ඇත්ත ලෙස පිළිගැනීමට වටපිටාව හදන බොරුකරයින්ගේ මුහුණු දැකීමට සහ ඔවුන්ව කියවීමට සිදු වීමයි. මේ වනවිට වැලිවෙරියෙදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සිදුකළ මිනිස් ඝාතනය ගැන විවිධ කථා පැතිරයමින් තිබේ. පුදුම විය යුතු නැත. ඒ රාජපක්ෂගේ හැටිය. යමක් කොට එහි සාක්ෂි මකා දැමීම රාජපක්ෂලා, පරම්පරාවෙන්ම උරුමකරගත් සහජ ගතියකි. එම සහජ ගතිය නොමැතිනම්, අද රාජපක්ෂ කෙනෙකු ලෙස නම් කරගත් මිනීමරුවෙක් රට පාලනය කරන්නේ නැත.

මෙය උහුලාගත නොහැකි අපරාධයකි. රටේ සියල්ල තම බුදලයක් කොට ගනිමින්, සියල්ල මර්ධනය කිරීම සඳහා හූනියන් යන්ත්‍රය පෙරට දමමින්, චන්ඩිකම අවිය කරගනිමින් රටේ නායකයා සිදුකරමින් සිටින නිර්ලජ්ජිත මර්ධනය කිසිඳු බධාවකින් තොරව ගෙන යාමට හැකියාව ලැබී ඇත්තේ ඒ වටා එක් වී සිටින “අවස්ථාවාදීන්ගේ” ආශිර්වාදය නිසාය. වැලිවේරීයේ බීමට ජලපොඳක් ඉල්ලු අයගේ ඔලු ගෙඩි පුපුරා යනතෙක් පහරදුන්නේ එම මෙගලමේනියානුවන්ය. එක අතකින් මෙවැනි මර්ධනීය වැඩපිළිවෙල් වලින් හැර නීරස සත්‍ය තේරුම් ගැනීමට අපි අසමත් වීමු. තේරුම් ගත්තද එය එක්කෝ එවැනිම ආකාරයේ දේශපාලන වාසි ගන්නෙකුට පාවා දෙන්නෙමු, නැතහොත් එය ටික කලකින් අමතක කර දමන්නෙමු. මෙය අපි කුඩා අවධියේ සිටම බොරු ඉතිහාසයක් ගැන, බොරු ජාතික ප්‍රෞඩත්වයක් ගැන; බොරු හැකියාවක් ගැන උදම් ඇනීමට මිස අපේ අත්වැරදීම් වලින් ඉගෙන ගැනීමට සහ අනෙකාගේ අයිතිය රැකීමෙන් තම අයිතියද සුරැකෙන බව ඉගැන්වීම අමතක කිරීමේ විපාකයයි. අපරාධකාරයා වීරයකු කරන්නත්, වීරයා අපරාධකාරයකු කරන්නත්; කිසිඳු නීතිමය රාමුවකට යටත් නොවන , කිසිඳු උසාවියක් ඉදිරියට ගෙන යා නොහැකි පුදගලයෙකුට එක නිමේශයකින් හැකිය.

වර්තමාන රාජපක්ෂ පාලනය වූ කලී වෙන කිසිවක් නොව, අවස්ථාවාදීන් විසින් අවස්ථාවාදීන් රැසක් පිරිවරාගෙන, පිටට මවාගත් වීරත්වයකින් ඇත්ත සඟවා තබාගෙන හොරකමේ යෙදෙන කොල්ල කල්ලික් විසින් සිදුකරන මංකොල්ලකෑමකි . මොවුන්ට මිනිස් ජීවිත කිසිඳු වැදගැම්මකට නැත; මොවුන් ස්වභාවික ශාපයකින් චුත වෙන තෙක් මොවුන්ගේ පය තබන තබන තැන මිනිස් රුහිරයම ඇවිස්සෙ. මිනිස් අසමගියම ඇතිවේ. සමාජ භ්‍රාන්තියම ඇති වී, මානසික ව්‍යාධීන් පිරිසක් බවට ඔවුන් වටා එක්වන අයවලුන්ද පත් වේ. මොවුන්ට මිනිස් ජීවිත බිලිගැනීම වූකලී සාමන්‍ය සිදුවීමක් පමණි. සියලු සත්‍ය ඔවුන්ගේ සතුරෝය, නිර්මාණය කරනු ලැබූ පට්ටපල් බොරු ඔවුන්ගේ ගැලවුම් කාරයාය.

බීමට ජල පොඳක් ලබාගැනීම වෙනුවෙන් අරගල කළ ජනතාවට රාජපක්ෂ විසින් කළ මහා අපරාධය වූකලී වෙන කිසිඳු අමුතු දෙයක් නොව ඔවුන් මුල සිටම සිදුකල වැඩපිළිවෙලේ තවත් එක් දරුණු අපරාධයක් පමණි. යුද්ධයෙන් පසු සිරමැදිරි වලදීත්, කටුනායක නිදහස් වෙළඳ කලාපයේදීත්, හලවතදී ධීවරයින්ට එරෙහිවත් රාජපක්ෂ මේ ආකාරයෙන්ම අපරාධ සිදුකරනු ලැබීය. ඒවායේදී මියගිය ගණන අවම වුවද , වැලිකඩදී සිදුකළ සිරකරුවන් ඝාතනය වැලිවේරියේ සිදුවීමටත් වඩා බරපතල විය. ඒ කිසිවකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූයේද? එම සිදුකල මිනීමැරීම් වෙනුවෙන් ඊට අණදුන් එක මිනිහෙක් ලංකාවේ උසාවියක් ඉදිරියට ගෙන ආවේද? ඒ වෙනුවට මෙම කෛරාටක නායකයා සිදුකරනු ලැබුවේ කෞතුකාගාරයේ සොරකමට සම්බන්ධ යයි සැක කරමින් කන් ගැට්ටා නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. රාජපක්ෂ පවතින සැබෑ කාරණය යට ගසා වෙනත් කාරණයක් ඒ මතට ගැනීම සඳහා අතිශය දක්ෂයෙකි. ගැටලුව, මෙතරම් රැවටිලිවලට අසුවෙන ජාතියක් ලෝකයේ කොහේවත් ඔබ දැක තිබේද?

කෙසේවෙතත්, මෙහි අවුල ඇත්තේ රැවටිලිවලට අසුවීමේ ප්‍රවණතාවය මත නොවේ. මන්ද එය ක්‍රමිකව ඇති කොට තිබෙන දේශපාලන ක්‍රමෝපායකි. එය සිදුකොට ඇත්තේ පූර්ණ විඥ්ඥාන විනාශය මඟිනි. එනම් රැවටිලිවලට හසුවීම වූකලී අවබෝධයකි, එම අවබෝධය ඇතිවන්නේ මතකයත් සමඟය. මිනිස් මනස, සංරක්ෂණය කරගත් වාර්තා වලින් ඉවත්කළ පසු ඊට හිමි මතකයට ඇති කාල සීමාව අවම කළ හැකිය. රාජපක්ෂ සේම මීට පෙර සිටි මිනීමරු නායකයින්ද; අපරාධ වලට හිමි සාක්ෂි සහ මතකයන් විනාශ කිරීම මඟින් සිදු කළේ එයයි. එවැනි දෑ යලි මතුවන්නේ මාතලේ සමූහ මිනීවල හමු වූ ආකාරයේ අහඹු සිදුවීම් ඔස්සේය. පරම්පරා ගණනාවක් තිස්සේ ජාතියට සිදුකොට ඇති බරපතලම අපරාධය වන්නේ මෙයයි. මෙවැනි දෑ සිදු නොවුයේනම් වැලිවේරියේ ජනතාව පාරට බැස බීමට ඇති ජලය වෙනුවෙන් කෑගසන විට ඊට මොන අණක් ලැබුණත් නිරායුධ අහිංසක මිනිසුන් මරාදැමීමට සැබෑ ජීවිතය සමඟ ගැටෙන අයවලුන්ට සිතෙන්නේ නැත.

අවශ්‍ය වී ඇත්තේ කුමක්ද? ප්‍රදේශයේ සිටින සාමාන්‍ය වැසියන් හෝ එක්ව අදාළ සිදුවීමෙන් මියගිය අයවලුන් වෙනුවෙන් දැවැන්ත සමාරක ඉදිකිරීමයි. ඔවුන් වෙනුවෙන් ලිවීමයි. ඔවුන් ගැන ලියා ගම් නියම්ගම් පුරා බෙදා හැරීමයි. ඔවුන් ගැන ලිවීමට තරුණි/ තරුණයින් මෙන්ම පාසල් සිසුන් යොමු කරවීමයි. සිදුවීම කෙරෙහි චිත්තවේගාත්මක ප්‍රතික්‍රියා වෙනුවෙට ආකල්පමය වශයෙන් වෙනස් වීමයි. මියගියවුන්ගේ මතකය අතුගා දැමීමට ඉඩ නොතබා, ඔවුන් ජනතාවගේ වීරයන් බවට පත් කිරීමයි. එනම් පාසල් යමින් සිටි ශිෂ්‍යාගේ සිට තම දරුවාගේ බඩේ අමාරුවට දෙහි ගෙඩියක් ගෙන ඒමට පාරට ගිය පාපයට මැරුම් කෑ අහිංසක මනිසා දක්වා අයවලුන් වීරයින් ලෙස සලකා ඔවුන් තම මතකයේ රඳවා ගැනීමයි. ඔවුන් දිවීපිදුවේ හෙට දවසේ අප විසින් බීමට ගන්නා ජලබිඳ වෙනුවෙනි. මහා දැවැන්ත සමාජ ව්‍යපාර, එනම් අන්තවාදයෙන්, ආත්මාර්ථකාමී දේශපාලන න්‍යායපත්‍ර වලින් තොර සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර හටගැනීමේ මූලික පදනම වන්නේ එයයි. පිටකොන්ද කැඩී ඇති ජාතීන්වලට පණ ලැබෙන්නේ එවැනි අවබෝධයන් ඔස්සේය; සිදුපිරුවට සිටිමින් අහිංසකයින්ගේ ලේ උරාබොන ක්‍රෑර මංකොල්ලකාරී පාලකයා ස්වභාවික නෂ්ඨ වීම් ලක්වන්නේද එවිටය. මෙවැනි සිදු වීම් වලින් අවබෝධවන මුලික කාරණය වූ කලි ඔබට වීරයින් ලෙස පිළිගැනීමට බලකරනු ලැබූ අයවලුන් වීරයින් නොව සැබෑ වීරයින් එම මෙගලමේනියානුවන්ගේ වෙඩිපහරින් මියගිය නිරායුධ මිනිසුන් බවය. එය සැබෑ විමුක්තියේ මූලාරම්භය වේ.

Nilanthailangamuvaනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa