ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස් නිළධාරීන් කිහිප දෙනකුද රෝහල් ගත කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. කෙසේ නමුත් ඊයේ මෙම පහරදීමෙන් පසු එම ප්‍රදේශයට ඇදිරිනීතිය ද පැනවීය.

ස්වර්ණ චෛත්‍යය පාරේ පහිටි එම මුස්ලිම් දේවස්ථානයේ දෛනික නැමැදුම් සිදුකරමින් තිබෙන අතර මෙම ප්‍රහාරය සිදු වූ බව නම ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසියෙක් පැවසීය. ‘‘පංසලක් උනත් කවුරැහරි කඩනවා නම්, අපි ඉස්සරහට ඇවිලා රැකගන්නවා. ඉන්දියාවේ හාමුදුරැවොන්ට ගැහුවහාම අපි උද්ඝොෂණය කරා. එහෙම ගහන්ඩ එපා කියලා. එහෙම කරපු අපිටයි දැන් ගැහුවේ. පල්ලියට ගහන්න භික්ෂූන් වහන්සේලා අයුධ පවා අරන් ආවා. ඒවා කිසිම දෙයක් පොලීසිය නතර කරේ නෑ. අපි හිතන්නේ පොලීසිය හිටියේ ගහපු අයගේ පැත්තේ. අපි ඉල්ලීම් තමයි කරේ පල්ලිය කඩන්න එපා කියලා‘‘ ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙන්න ගහපු හැටි

කෙසේ නමුත්, මෙම සිදුවීමට සති කිහිපයකට පෙර රාවනා බලය සංවිධානය සහ ප්‍රදේශවාසී බෞද්ධ හිමිනමක් ඇතුළු පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය පවත්වා ගෙන නොයන ලෙසට දන්වා තිබුනු බවත් ඒ පිළිබදව සාකච්ඡාත් සිදු කළ බවත් පැවසෙයි.

ඉන් පසු එම සාකච්ඡාවලින් ඇතිකරගත් එකඟතාවය අනුව මසක් ඇතුලත දී එම මුස්ලිම් දේවස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කර තිබූ අතර, පසුගිය අගෝස්තු 08 දින ලිපියක් මගින් බුද්ධ ශාසන අමාත්‍යංශය දන්වා ඇත්තේ දැන් 166 ස්ථානයේ පවත්වාගෙන යනු ලබන පල්ලියට පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කර ගෙන ඇති බැවින්, එම පල්ලිය කොළඹ 14, ස්වර්ණ චෛතිය පාරේ, අංක 158 දරණ ස්ථානයේ පවත්වාගෙන යාමට අවසර දෙන බවට දන්වා ඇත.

මෙන්න එම ලිපිය
photo[ලිපිය උපුටා ගැනීම –thahanamwachana]

නමුත් අමාත්‍යංශය මගින් යෝජනා කරන ස්ථානයේ බෝ ගසක් තිබෙන බැවින් එය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමග කිහිප විටක්ම සාකඡ්චා කළත් වෙනත් ස්ථානයක් ලබා දීම පිළිබදව ඔවුන් කිසිදු තීරණයක් නොදැක්වූ නිසා ඊයේ පැරණි ස්ථානයේම සිය දෛනික මෙහෙයන් සිදු කල බවත් ‘විකල්ප‘ සමග අදහස් දැක්වූ ප්‍රදේශවාසියා පැවසීය. මේ අතරතුර මෙම ප්‍රහාරය සිදු වූ බවත්, එම ස්ථානයට කඩා වැදුණු සියයකට අධික මැරයින් එම ස්ථානයට මෙන්ම එහි සිටි මිනිසුන්ටද හානි කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

යාපනයේ පංසලකටත් ප්‍රහාරයක් එදිනම

යාපනයේ, නාවක්කුලි ප්‍රදේශයේ ආණ්ඩුවේ අනුහසින් සිංහල ජනයා අළුතින් පදිංචි කර ඇති ප්‍රදේශයක පිහිටි පන්සලකට ද එදිනම රාත්‍රීයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වර්තා විය. කොළඹ, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පල්ලියකට ගල් ගසන විට යාපනයේ දී පංසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හුදකලා සිදුවීමක් ද? විශේෂයෙන් සෑම හංදියක් ගනේ හමුදාව ඉන්නා යාපනයේ බෝම්බයක් තියා ගලක් ගසා වත් කිසිවෙකුට බෙරී යා හැකිද? එසේ බෙරී යා හැක්කේ ආරක්ෂක අංශ සමග කුමන හෝ සම්බන්ධතාවයක් ඇති පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක් බව අද යාපනයේ ඕනෑම වැසියෙකුගේ අදහසයි. නොඑසේ නම් පසුගිය කාලය පුරාම සිදුකල පහරදීම් වලට සම්බන්ධ කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට පත්කර ගැනීමට ලෝකයේ විශාලම ත්‍රස්තවාදින් මෙල්ල කරපු ආරංක්ෂ අංශවලට නොහැකි වන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්ණ කිරීම සාධාරණ නොවන්නේද?

රාවනා සහ බොදු බල ප්‍රකාශ

රාවනා බලය සහ බොදු බල සේනා සංවිධානය මේ වන විටත් ග්‍රෑන්ඩ්පාස් සිද්ධියට ඔවුන්ගේ සංවිධානවල කිසිවෙකුත් සම්බන්ධ නැති බව ප්‍රකාශ කරයි. ලංකා සී නිව්ස් වෙබ් අඩවිය බොදු බල සේනාවේ ලේකම් හිමියන් උපුටා දක්වමින්, සිද්ධිය සම්බන්දයෙන් අදහස් පල කල බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසුවේ තමන් වහන්සේ ඇතුළු පිරිස යාපනයේ සිට කොළඹ පැමිණෙමින් සිටින බවත් ඊට තම සංවිධානයේ කිසිදු සංවිධානයක් නොමැති බවත්ය.

මීට සති කිහිපයකට පෙර රාවණා බලය සහ මුස්ලිම් නායකයන් අතර පැවති සාකච්ඡාවක්
මීට සති කිහිපයකට පෙර රාවණා බලය සහ මුස්ලිම් නායකයන් අතර පැවති සාකච්ඡාවක්

නමුත් මුස්ලිම් ජනයා ගේ සංස්කෘතික අයිතීන් පවා සිය අන්තවාදී අදහස්වලින් මර්ධනය කිරීමට පසුගිය කාලයේම ගිරි පුප්පන් කෑ ගැසූ, තවමත් කෑ ගසන මෙම සංවිධාන මෙවැනි සෑම අන්තවාදී අවස්ථාවකදීම ප්‍රකාශ කර ඇත්තේ අපගේ කිසිදු සම්බන්ධයක් නැති බවය. නමුත් ඇස් කන් තිබෙන මිනිසුන් ඔවුන්ගේ ප්‍රකාශ පමණක් විශ්වාස කරන්නේ නැති බව ඔවුන් දන්නේ නැත? එසේම එම සෑම අවස්ථාවකදීම එම සංවිධානවලට චෝදනා එල්ල විය. එසේ චෝදනා එල්ල වීමෙන් ඔවුන්ගේ කීර්ති නාමයට හානි වනවා යැයි ඔව්න් සිතන්නේ නම් ‘පමණක්‘ ඔවුන්ට කරන්නට තිබෙන්නේ ඔවුන්ගේ ‘නිළ නොවන පොලීසිය‘ හෝ යොදවා ඇත්ත ප්‍රහාරයකයින් කවුද කියා සමාජයට හෙළිදරවු කිරීමය. නමුත් රාවණා බලය සංවිධානයේ ප්‍රභල භික්ෂුවක් සිටින ග්‍රෑන්ඩ්පාස් සිදුවීම වූ ප්‍රදේශයේ පංසලේ ප්‍රහාරයට පෙර ඝාංටාරය පවා නාද වූ බවත් ප්‍රදේශවාසින් පැවසීම තුළ ඇති සත්‍ය වසන් කිරීමට මේ කිසිදු බලයකට නොහැකිය. අනෙක මෙම සංවිධාන බිහි වීමට පෙර මෙවැනි සිදු වීම් සිදු වූයේද? එබැවින් දැන් පත්තු කර තබා අපි නෑ.. කියන්නට ඔවුන්ට නොහැකිය. එහි විපාකය ඉතාම ආසන්නයේ ඔවුන්ට පමණක් නොව සහජීවණයෙන් ජීවත්වන මුස්ලිම්, සිංහල සහ දෙමළ සියලු දෙනාටම විදින්ට වීම ට වගකිව යුත්තේ ද මෙම අන්තවාදී සංවිධානය.

රතුපස්සල වැසීමට, වස සහ ජාතිවාදය

රතුපස්සල ගැටුම අවසන් වූවත් එයින් ඇති කල කම්පනය ප්‍රභල විරෝධයක් බවට පත් වෙමින් තිබේ. එය ඉදිරියේදී ආණ්ඩු විරෝධයක් දක්වා තල්ලු වීමට හැකියාවක් පවතින බව රාජපක්ෂ පාලනය හොදින් දනි. එම නිසා ම මධ්‍ය හිමිකරැවන් මගින් රතු පස්සල ගැන දී තිබුන ප්‍රචාරයන් නවතා දමන ලෙස බල කෙරෙමින් තිබෙන බව පසුගිය දිනවල ඇතැම් වේදිකාවල පවා ප්‍රකාශ විය.

එයින් නොවැතුනු රාජපක්ෂ පාලනය තවත් උගුක් ඇටවුයේ ය. එය නම්, මාස ගණනාවක් විවිධ තලයන්ගේ සාකච්ඡාවට මෙන්ම විරෝධයන්ට ලක්වුනු ඇන්කර් වැනි ඇතැම් කිරිපිටි වර්ගවල වස තිබීම අලුත් තත්ත්වයක් නොවේ. එයට විරොධයක් සමාජය තුළ පැන නැගී තිබිණී. නමුත් ආණ්ඩුව එයට කන් දුන්නේ නැත. නමුත් පසුගිය සතිය අවසනානයේ දී රාජපක්ෂ පාලනයට එකවරම ‘වස‘ මතක් විය. ඒ වනවිටත් පුවත්පත්වල මුල් පිටුවල ශීර්ෂයන් පවා ලියැවුනේ රතුපස්සල සාමකාමී විරෝධයට හමුදාව වෙඩි තැබීමත්, ඉන් අහිංසකයින් ඝාතනය වීමත් ගැනය. ඉන් පසු එය එක විට ‘කිරිපිටිවල වස‘ වලට මාරැ විය. නමුත් වැඩේ නැගලා ගියේ නැත. මිනිසුන් වෙඩි තබා ඝාතනය කිරීම, කිරිවලට වඩා වැදගත් බව මිනිසුන් තීරණය කලා වැනිය. එම කිරිපිටි වර්ග තහණම් කළත් රාජපක්ෂ පාලනයට අවශ්‍ය කළ දෙය එයින් සිදු වූයේ නැත. වතුර ඉල්ලු මිනිසුන් මරා දැමීම ගැන තැන තැන සිදුවෙමින් පැවති විරෝධයන් තව වත් සීග්‍රෙයෙන් වර්ධනය වන්නට විය.

එබැවින් රාජපක්ෂ පාලනය හැමදාම මෙන් හොදම තුරැම්පුව දැම්මේය. එය නම් ජාතිවාදයයි. මෙවන් පාලනයක එවන් දෙයක් යෙදවීම ගැන පුදුම විය යුතු ද නැත. ලෝකයේ ද ෆැසිස්ට් රාජ්‍යයන් තමන්ගේ හොදම තුරැම්පුව ලෙස භාවිතා කරන්නේ ද, කර ඇත්තේ ද ‘ජාතිවාදයයි‘. රාජපක්ෂ පාලනය ද එය හොදින් ම කළේ ‘මානූෂීය මෙහෙයුම‘ නම් දෙමළ මිනිසා පොඩි පට්ටම් කිරීමේ ‘යුද්ධය‘ ආරම්භ කරමිනි. දැනුත් ඔහු ඔහුගේ හොදම තුරැම්පුවෙන් ග්‍රෑන්ඩ්පාසුත්, නාවක්කුලියත් මුල් පුවත් බවට පත් කිරීමට උත්සහ කරයි. දැන් අනෙකාට එරෙහිව ඕනෑම දෙයකට කඩුපොලු අරන් පාරට බහින ජාතිවාදීන් රාජපක්ෂ පාලනයට අවශ්‍යම දෙය නොමිලේම කර දෙයි. එය නොමිලේ කර දීමට ඔහු විසින්ම විවිධ බලවේගයන්ද පෝෂණය කරයි. දැන් හෙට සිට වතුර වෙනුවට මරණ දුන් ආණ්ඩුවේ මිලිටරි ක්‍රියාවලිය සියලු මිනිසුන් විසින් අමතකකර දමනු ඇතැයි රාජපක්ෂ පාලනය කල්පනා කරනු ඇත. නමුත් එම නරැම කල්පනාවන්ට එරෙහි වීම නිදහස සහ යුක්තිය අගයන සියලු මිනිසුන්ගේ අද දවසසේ කාර්යයි. එබැවින් කල්පනා කල යුතු ඇත්තේ පල්ලිය, පංසල කෙසේ වෙතත් අඩුම තරමේ තමන්ගේ සහ අනෙකාගේ ජීවිතය බේරා ගත හැකි වන්නේ, රාජපක්ෂ පාලනයේ මෙම ෆැසිස්ට් පන්නයේ ක්‍රියාවලිය නිවරැදිව අවබෝධ කර ගැනීම තුළින් පමණක් බවය.