Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

‘‘…බොන වතුර, වසවිස නොකරන්නැ යි අනතුරුව අපි ඉල්ලූවෙමු. එවිට අපට වෙඩි තැබුවෙහිය’’

[Image Credit: www.ft.lk]

උද්වේගකර නාටකීය ගතියක් පෙන්නුම් කරන උද්ධෘතය ගැන මම සමාව නොඅයදිමි. මන්ද යත්, එය, අදට සපුරා ගැළපෙන, මීට සමාන ඓතිහාසික අවස්ථාවක, ජර්මනියේ නියෝමල(ර්) පූජකතුමා කළ ප‍්‍රකට ප‍්‍රකාශයක් ලංකාවට සරිලන අයුරින් කරගත් අනුවාදයක් වන බැවිනි. වඩාත් සම්පූර්ණයෙන් කිවහොත්, එම කතාව මෙසේය:

‘‘අපේ සේවක අර්ථසාධක අරමුදල් ගසා නොකන්නැයි අපි මුලින් ඉල්ලූවෙමු. එවිට අපට වෙඩි තැබුවෙහිය. ධීවරයන් වශයෙන් අපේ ජීවිකාවට බලපාන භූමිතෙල් මිල ගැන අනතුරුව අපි පැමිණිලි කෙළෙමු. එවිට අපට වෙඩි තැබුවෙහිය. අපි බොන වතුර අපවිත‍්‍ර නොකරන්නැ යි අනතුරුව අපි ඉල්ලූවෙමු. එවිට ද අපට වෙඩි තැබුවෙහිය. අනාගතේ අපේ තවත් ජීවිත බිළි ගැනීමට සරිලන මොන තරම් නම් අපරාධ දැනට නිර්මාණය කෙරෙමින් තිබේ ද?’’

මේ පාලන තන්ත‍්‍රයේ රුදුරු නිර්දය භාවය ගැන තවදුරටත් තහවුරු කර ගැනීමක් අවශ්‍ය විණි නම්, වැලිවේරියෙන් එය මොනවට සැපයුණි. බොන වතුර වසවිස කිරීමට එරෙහිව, කලබලකාරීව මුත්, හැම අරුතකින්ම සාමකාමී දහසක් ජනතාවගේ විරෝධයට පිළිතුර වුණේ, නග්න බලයයි. එය හුදෙක්, ‘‘මමයි බොස්’’ යනුවෙන් කියාපෑමක් පමණක්ම නොව. භීතිය ජනිත කිරීමක් ද විය.

පට ලේන්සුවලින් මුහුණු බැඳගත්, යුද ටැංකිවලින් සන්නද්ධ, සංග‍්‍රාමයේ පන්නරය ලද හමුදා බලකායක් පොලීසිය මගින් කැඳවනු ලැබීමක් අවසාන වරට ඔබ අසා ඇත්තේ කවදාද? හමුදා නිල ඇඳුම් ලාගත් එවන් කල්ලියක හැසිරීම, ‘ක්ලූ ක්ලක්ස් ක්ලෑන්’ පන්නයට වඩාත් සමීප වෙති යි කෙනෙකු කිව හැකිය. කෙසේ වෙතත්, මෙවන් තාක්ෂණික ‘වර්ධනයන්’ ගැන අමුතුවෙන් කෙනෙකුට විස්තර කර දිය යුතු නැත.

මේවා, ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂගේ පරම බලය යටතේ මුළුමණින් මෙහෙයවෙන බල සේනාවන් ය. අනිත් පැත්තෙන්, ඒ සේනාංක යොදාගෙන ප‍්‍රහාරය දියත් වෙද්දී, විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන්නේ ද, එම ජනාධිපතිවරයාගේම තවත් සහෝදරයෙකි. ජනතා ආරක්ෂකයන් සේ පෙරට්ටුවේ යන මේ රාජවංශික අධිපතියන් එයාකාරයෙන් ජනතාවට නිකුත් කරන පණිවිඩය ඉතා සරළ ය: අපිට හෝ අපේ දේකට අභියෝග කිරීම, අතපය කඩා ගැනීමක් සහ ජීවිතයම අනතුරේ හෙලන්නක් බව මතක තියාගනිල්ලා.

පානීය ජල මූලාශ‍්‍ර අපවිත‍්‍ර වීම සම්බන්ධයෙන් ගත් විට, බලය නොලත්, නීති විරෝධී පොදු කසල ගොඩක් අපේ පළාතේ ප‍්‍රාදේශීය සභාව මගින් එක දිගටම පවත්වාගෙන යාම හේතුවෙන්, එම ප‍්‍රදේශයේ ජනතාව වසර දහයක් තිස්සේ අනේක පීඩා විඳිති. දැදුරු ඔයට ගලා යන මේ පරිසර වින්නැහියේ අපවාහය මොන තරම් සූක්ෂම අයුරින් ජනතාවගෙන් වසං කරන්නේ ද යත්, දෛනික ගෘහ ජීවිතයේ සකල කලමනා සඳහා පාවිච්චියට ගන්නා ජලය මොන තරම් අපවිත‍්‍ර දැ යි, ගඟ පහළ වෙසෙන දනෝ නොදනිත්. මේ ගැන මෑතක දී පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්නයක් මතු වූ විට පාලකයන් කෙළේ අර්ධ සත්‍යයෙන් ඒ නීරස සැබෑව වසං කිරීමයි.

වැලිවේරියේ ත‍්‍රස්තවාදයට ඈඳමින් එක්තරා අන්දමකින් ජේ. ආර්. ජයවර්ධන වෙත ස්තෝත‍්‍ර ගැයෙන ලිපියක් ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවිය. එය ලියා තිබුණේ, ජේ. ආර්. ‘යැංකි ඩිකී’ ගේ ඥාතියෙකි. ලිපිය අවසානයේ කියැවුණු පරිදි, ජේ. ආර්. අපේක්ෂා කළ ශ‍්‍රී ලාංකීය ‘දැක්ම’ ඔහුගේ අනුප‍්‍රාප්තික මහින්ද රාජපක්ෂ විසින් පෙරට ගෙන යන සැටි ජේ. ආර්. බලා සිටිනු ඇත්තේ නිම්හිම් නැති ප‍්‍රීතියෙනි.

ඇතැමෙකු මෙය තුන්වැනි කැලෑසියේ පූච්චානමක් සහ අතීතාවර්ජනය ව්‍යාජයක් පිළිබඳ ප‍්‍රලාපයක් වශයෙන් සැළකිය හැකි වෙතත්, ඉහත කී ලේඛකයාගේ අදහස සමග මගේ යම් එකඟතාවක් තිබේ. මන්ද යත්, ‘වැලිවේරිය සිද්ධිය’ මගින් ජේ. ආර්. ජයවර්ධනගේ (ෆැසිස්ට්) ව්‍යාපෘතිය, ඔහුගේ හොඳම අනුප‍්‍රාප්තිකයා හරහා සත්තකින්ම ඉදිරියට ගෙන යාමක් සිද්ධ වන බැවිනි. තවද, මේ අනුප‍්‍රාප්තිකයාගේ කල්ක‍්‍රියාව තුළ, ආර්. පේ‍්‍රමදාස පවා බිළිඳෙකු කරවන බැවිනි. වැඩිහිටි ජයවර්ධන විසින් ඉහත කී ලේඛකයාව එතෙක් පත්කොට තිබූ ඉහළ තානාන්තරයෙන් සමුගත් 1985 වකවානුවේ යම් දවසක, එම ජයවර්ධන යටතේ ඒ වන විට රට පත්ව තිබූ ප‍්‍රපාතය ගැන ඔහු මා සමග සවිස්තරාත්මකව කළ හැඳින්වීම දැන් ඔහුට මතක ඇත් දැ යි මම නොදනිමි. යමක් ඇති වන අවස්ථාවේ නොපෙනුණු ප‍්‍රභාවක් එයින් කලකට පසු එම සිදුවිම් දාමය කෙරෙහි කෙනෙකුගේ සිතේ ඇති වීමට හොඳටම ඉඩ ඇති නිසා අද ඔහු කරන වර්ණනාව මට පුදුමයක් නොවේ.

කෙසේ වෙතත්, ජේ. ආර්. ජයවර්ධනගේ පරම්පරාවත් රාජපක්ෂ පාලනය යටතේ සරුවට සිටින බව බොහෝ අය නොදන්නා රහසකි. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මැලේසියාවේ සිටින රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රධානියා, සුදුසුකම් හෝ අත්දැකීම් නැති, මේ පවුලේ සාමාජිකයෙකි. එම පවුලේ තවත් බොහෝ සාමාජිකයෝ ශ‍්‍රී ලාංකීය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී’ විකට රූපයට පක්ෂපාතීව යෙහෙන් වැජඹෙති. අවස්ථාවක් ලැබෙන ඕනෑම විටක රාජපක්ෂ පාලනයට ස්තෝත‍්‍ර ගැයීමට සහ අනුබල අනුග‍්‍රහ සැපයීමට මෙවැන්නෝ කිසි විට නොපැකිළෙති.

අවසාන වශයෙන් දේශපාලනික වාංමාලාව ගැන ද කිව යුතු යමක් තිබේ. ප‍්‍රංශය කෙරෙහි චාල්ස් ඩිගොල් කළ බලපෑමට සාපෙක්ෂව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී’ යන යෙදුම ලංකාවේ ව්‍යවස්ථාමය නිර්මිතය තුළ විරුද්ධාර්ථයෙන් ගැනීමට ‘යැංකි ඩිකීට’ හැකි විණි නම්, ජනපති සිහසුනේ වත්මනේ වැඩහිඳින පාලකයා ඔහුගේ කල්ක‍්‍රියාව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදයක්’ වශයෙන් අරුත් ගැන්වීම කොහෙත්ම වරදක් නොවේ. ‘සමාජවාදය’ ගැන කියන්නේ නම්, ඇඩොල්ෆ් හිට්ලර් නමින් දන්නා තැනැත්තා ද, ඔහුගේ පක්ෂය සාඩම්බරයෙන් හැඳින්නුවේ ‘ජාතික සමාජවාදී’ වශයෙන් නොවේද?

මේ පසුබිම තුළ, ‘ශ‍්‍රී ලංකාවේ තත්වය’ ගැන තවත් යමක් කීම අත්‍යාවශ්‍ය ද?

එමිල් වැන්ඩර් පූර්ටන් | Emil Vander Purtin

_____________________________________________________________________________________________________________

2013 අගෝස්තු 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “…Then We Asked that Our Drinking Water Not be Poisoned & We were Shot” ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්