Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාවේ නවතම අසාර්ථකත්වයේ වට්ටෝරුව

[Image Credit: srilankathinktankuk.org]

වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද්දක් තිස්සේ කළ යුද්ධයෙන් ශ‍්‍රී ලංකාවේ පාලකයන් කිසි පාඩමක් උගෙන නැත.

මේ වන විට, තවත් සුළුතරයකට එරෙහිව, එනම් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, ඔවුහූ අසමගියේ බීජ වපුරති. කෙසේ වෙතත්, එම ප‍්‍රජාවට එරෙහි භීෂණය වෙනුවෙන් විවෘතව සහ සෘජුව දායක වීමට තරම් පාලකයන් මෝඩ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ, ‘බොදුබල සේනා’ වැනි ත‍්‍රස්තවාදී බෞද්ධ කල්ලි විසින් කරනු ලබන පාදඩ වැඩ නොදකින ගානට අහක බලාගෙන සිටීමයි.

අතීතයේ දවසක නට්සි ෆැසිස්ට්වාදයේ උච්ච අවස්ථාවේ දක්නට ලැබුණු සුළුජන විරෝධී විරේචනවලට වැඩි වෙනසක් නැතිව, මෙරටේ සුළුජනයා කෙරෙහි වන නොඉවසීම සහ හිංසාව, බෞද්ධ කලහකාරී කොටස් අතරින් හිස ඔසවමින් තිබේ. කෙසේ වෙතත්, මෙහි දී එක වෙනසක් අවධාරණය කළ යුතුය. රටේ ජනගහනයෙන් සියයට 70 ක් සිංහල බෞද්ධයන් වෙතත්, ඔවුන්ගෙන් අතිවිශාල බහුතරය සාමකාමී ය. වර්තමානයේ මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි වන නොඉවසන සුළු කලහකාරීත්වය මෙහෙයවනු ලබන්නේ, දිනෙන් දින වර්ධනය වීමක් පෙන්නුම් කරන, සටන්කාමී සුළුතරයක් විසිනි. පැහැදිළිවම ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිහඩ සහයෝගය තිබේ. සුළුජනයාට එරෙහිව සිදුකරනු ලබන හිංසනකාරී ක‍්‍රියාවන් ගැන වැඩිමනත් වාර්තා නොකරන ලෙස ජනාධිපතිවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටි බවට පළ වූ වාර්තා මගින් ඒ බව සනාථ කෙරේ.

මේ අස්සේ, ‘බොදුබල සේනාව’ ප‍්‍රසිද්ධියේම හයිකාර කතා කියයි:

‘‘මේක, සිංහල බෞද්ධයෝ හදපු ආණ්ඩුවක්. ඒක, සිංහල-බෞද්ධ ආණ්ඩුවක් විදිහට ඉස්සරහටත් තියෙන්න ඕනේ. මේක සිංහල රටක්. සිංහල ආණ්ඩුවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ බහුත්වවාදී පුරුෂාර්ථවලින් කෙරෙන්නේ, සිංහල ජාතිය ඝාතනය කෙරෙන එක.’’

මුස්ලිම් ජාතියේ ගතානුගතික ඇඳුම් පැළඳුම් ‘ගෝනි බිල්ලන්’ සේ ගෙන, මුස්ලිම් චාරිත‍්‍ර හෙළාදකින බෞද්ධ භික්ෂූන්, එම ජනයා සඳහා පිළියෙල කෙරෙන ‘හලාල්’ ආහාරපාන තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ වැඩි ඈතක නොවේ.

අන්තවාදී ‘බොදුබල සේනා’ උද්ඝෝෂණ තුළින් එවැනි විශේෂිත මුස්ලිම් වතාවත් අපවාදයට ලක්කෙරෙන විට, එම ව්‍යාපාරවල ආධාරකරුවෝ, බෞද්ධ කොඩි ළෙලවමින්, ‘හලාල් එපා’ යනුවෙන් මුද්‍රණය කළ ටී-ෂර්ට් හෝ සුදු ඇඳුමෙන් සැරසී උද්දාමයෙන් ඔල්වරසන් දෙති. මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව පමණක් නොව, මේ පිරිස්, ‘ශුභාරංචි කිතුණුවන්ට’ එරෙහිව ද, ඔවුන් අන්තවාදී ක‍්‍රිස්තියානියක් පතුරුවන්නේය යන චෝදනාව මත, ගරහති.

මෙවන් ත‍්‍රස්තවාදී ව්‍යාපාරවල නායකයන්ගේ නොමනා ප‍්‍රකාශවලින් සහ ඔවුන් අවුළුවන කෝපය සහ වෛරයෙන් මුසපත් සැහැසි ජනයා, රටේ සුළුතර ජන කොටස්වලට විරුද්ධව පහසුවෙන් උසිගැන්වේ. සුළුජාතික ජනතාවගේ ගේදොර, වෙළඳ ව්‍යාපාර සහ, මේ වන විට මුස්ලිම් පල්ලි පවා, එවැනි සැහැසි ජනයාගේ විනාශකාරීත්වයේ සෘජු ඉලක්ක බවට පත්වෙමින් තිබේ. එහෙත් ආණ්ඩුව ඉන්නේ, කිසි නපුරක් සිදු නොවන ගානටයි.

මේ ප‍්‍රශ්නය මොන තරම් බැරෑරුම් වී ඇත් ද යන්න, අගෝස්තු 10 වැනි දා මුස්ලිම් ආගමික උත්සව දිනයේ දී ග‍්‍රෑන්ඞ්පාස් මුස්ලිම් පල්ලියට එල්ල කළ මැර ප‍්‍රහාරයෙන් පෙන්නුම් කෙරේ. මුස්ලිම් ජනයා ස්වකීය පූජණීය ස්ථානයේ යාච්ඤා කරමින් සිටියදී, ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, හැත්තෑවකට අධික බෞද්ධ මැර පිරිසක් ගල්මුල් සහ පොලූ මුගුරු ආදිය යොදා ගනිමින් එම පල්ලියට පහර දුන්හ. ‘‘මේක සිංහල-බෞද්ධ රටක්. මුස්ලිම්කාරයන්වයි, උන්ගේ පල්ලියි ඉවරයක් කරලා දාන්න ඕනේ’’ වැනි සටන්පාඨ ඒ ජනයා අතරින් මතු විය. මෙය, සුළුතර ජනයාට එරෙහිව ගොඩනැගනෙ බෞද්ධ ත‍්‍රස්තවාදී සාපරාධීත්වයේ නවතම පිටුවකි.

ත‍්‍රස්තවාදී උමතු කල්ලි විසින් සිදු කෙරෙන මෙවැනි සාහසික කම් මර්දනය නොකළොත්, රටේ වෙසෙන සිංහල සහ මුස්ලිම් ජනයාගේ සාමකාමී සහජීවනය නිතැතින් අනතුරේ හෙලනු ඇත. මේ දක්වා මුස්ලිම් ජනයා ඉවසීමෙන් කටයුතු කොට ඇතත්, බෞද්ධ අන්තවාදීන්ගේ අධම ක‍්‍රියා නිසා, මහ පරිමාණ වාර්ගික යුද්ධයකට රට බිළිවීම, කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් වීමට ඉඩ ඇත.

සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය සැබවින්ම සාමයට ලැදි ජනතාවක් වුවත්, සියවස් ගණනාවක් තිස්සේ වෙනත් සුළු ජාතීන් සමග ඔවුන් සහජීවනයෙන් වාසය කොට ඇතත්, මෑත කාලීන කලහකාරී බෞද්ධයන්ගේ උවදුර රට පුරා වේගයෙන් පැතිර යමින් තිබේ. ඒ අනුව, මෙය රටට භයානක කාල පරිච්ෙඡ්දයකි. කලහකාරී සුළුතරයක ක‍්‍රියාකලාපය සහ රුදුරු වාගාඩම්බරයට, නිශ්ශබ්ද බහුතරයක යහපත් හෘද සාක්ෂිය බිළිවන සැටි කියාපාන පරිච්ෙඡ්දවලින් ලෝක ඉතිහාසයේ අඩුවක් නැත.

ලංකාවේ සුළුතර මුස්ලිම් ප‍්‍රජාව සමග මැද පෙරදිග ගල්ෆ් රටවලට ඇති ආගමික සබඳතාව නිසා ලංකාවේ එම ප‍්‍රජාවේ ආරක්ෂාව රැක දීමේ උනන්දුවක් එම කලාපයට තිබේ. එම නිසා ඔවුන්ට එරෙහිව කෙරෙන හිංසාවන් මේ රටවල් ඉවසනු ඇතැ යි සිතිය නොහැක.

ශ‍්‍රී ලංකාවේ ජාතික අයවැයෙන් විශාල කොටසක් ඉපැයෙන්නේ මේ කලාපයේ සේවය කරන ලාංකීය ප‍්‍රජාවගෙනි. ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල කොටසක් සැපයෙන්නේ ද ඒ කලාපයෙනි. සංචාරක සහ වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ලංකාවට එන විශාල පිරිසක් ද එම රටවලට අයත් වෙති. මේ දක්වා, ලංකාව සහ එම කලාපය අතර සම්බන්ධතාව මිත‍්‍රශීලී ය. එහෙත්, නව-ෆැසිස්ට්වාදය පිළිගත හැකි තත්වයක් නොවේ.

ගල්ෆ් රටවල රාජ්‍ය නායකයන් ලංකාවේ ජනාධිපතිවරයාට පැහැදිළි පණිවිඩයක් නිකුත් කළ යුතුව ඇත: එනම්, සෙල්ලම නවත්වනු යන්නයි. අන්තවාදී කලහකාරීන්ව නිශ්චිතව මෙල්ල කරනු යන්නයි. මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව පමණක් නොව, වෙනත් සුළු ජාතීන්ට එරෙහිව පවා කෙරෙන අකටයුතුකම්වලට ඉඩ සැලසෙන, ජාතිවාදී සහ වර්ගවාදී භේදවලට රට ඇද දමන විනාශකාරී මාවතක ශ‍්‍රී ලංකාව ගමන් කළ යුතු නැත. එවැනි තත්වයක් අප ඉවසන්නේ නැත.

ටාරික් ඒ. අල්මයීනා | Tariq A. Al-Maeena

2013 අගෝස්තු 15 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka’s Recipe for Renewed Failure ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්