දිගින් දිගටම අනෙකාව රවටා ර‍දවා තබා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය. ඒ සදහා වෙනම යාන්ත්‍රනයක් දියත් කළ යුතු වන අතර කිසි ලෙසකින්වත් සත්‍ය හෙළිදරවු වීමට ඉඩ නොතබා අනෙකා රැවටීම නොහොත් ඇන්දවීම අද වන විට ලාංකේය පාලන තන්ත්‍රයේ ඉහළම කාර්ය භාරය බවට පත්වී ඇත.

එසේ ජනතාව රැවටීමේ අවි ලෙස ක්‍රියාව, අභිබවා භාෂාව යොදා ගන්නා වත්මන් ආණ්ඩුව ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කර ගැනීමට තමන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන බවට ජනතාව ට පෙන්වීමට සිය උත්සහය උපරිමව භාවිත කරමින් සිටී… ඒ සදහා විටින් විට ආශ්චර්යට ගැලපෙන ලෙස ප්‍රයෝජනයක් ගත නොහැකි වුවද ආශ්චර්යමත් වැඩ කරමින් විශාල උත්සව පවත්වමින් සිටී. විදෙස් ණයද ,ජනතා බදු මුදල්ද ඒ සදහා ආණ්ඩුව කැප කොට ඇත්තේය. එය ජනමාධ්‍ය විසින් ක්‍රියාත්මක ජනතාව ඇන්දවීමේ කලාවද අබිබවා ගිය දක්ෂතාවකි.

එකී ආශ්චර්ය දෙස බලා සිටින ජනතාව ඒ අතර තුරේ වරින් වර පැන නගින ජාතික අර්බුද වලටද මුහුණ දෙමින් සිටින අතර එකී අර්බුද බොහොමයක් මින් පෙර රටේ ඇති වූ අර්බුද වලට අසමාන ඒවාය. දහස් ගණනක් ඝාතනය කර දෙමළ ජනතාවගේ දේශපාලන නිදහස අතු ගා දැමූ ආණ්ඩුව එමගින් පුරවා ගත් සිය ගිණුම තවත් පවත්වාගෙන යන්නේ රටේ විවිධ ආගමික සංස්කෘතික අර්බුදයන් මතු කරමිනි. ආණ්ඩුව එවැනි අර්බුද නිර්මාණය කල පසු ජනමාධ්‍ය ඒවා තම තමන්ට ඕනෑ ලෙස කපා කොටා අලුත් අලුත් දෑද ඔබ්බවා ආණ්ඩුවට අවශ්‍ය පරිදිම ජනතා මෙහෙවරේ යෙදෙයි… සියලු අත්දැකීම් විමසා බැලීම් හකුලා තබා ජනතාව ද මාධ්‍යට ද ආණ්ඩුවට ද අවශ්‍ය පරිදි රූකඩ බවට පත් වෙති…රටේ විපක්ෂයේ තත්ත්වය ද එසේමය. සියල්ල අවසන දැන් රටට ඉතිරිව ඇත්තේ රූකඩ පමණකි.

දකුණට හැරෙන් කියන විට දකුණට හැරෙන්නටත්, උතුරට හැරේන් කියන විට උතුරට හැරෙන්නටත්, උඩ බලන්නැයි කියූ විට උඩ බලන්නටත් එසේ කරන්නට අකමැති නම් කිසිවක් නොකොට ඔහේ බලා සිටින්නටත් පමණක් අද රටේ ජනතාව අසංවේදී වී ඇත. ආණ්ඩුව එක් වරක් අහසට වෙඩි තැබූ විට කුලල් කා ගන්නා ජනතාව ඉන් තමන්වම මරා දමා නැවත වෙඩිල්ලක් තබද්දී අලුත් මාතෘකාවකට සැරසෙති. ආණ්ඩුව වරින් වර ලබා දෙන මාතෘකා වලට ජනතාව ඉතා මැනවින් එකිනෙකාට දුෂ්ඨ වී කුළල් කා ගනිති. ආයෙත් නතර වෙති. එවිට තමන් කුලල් කා ගත් හේතුවද ඔවුනට අමකත වී ඇති සෙයකි.

Pedagogy of the oppressed කෘතිය රචනා කරමින් පාවුලෝ ප්‍රෙයරි ‘රටක පීඩිත පංතිය මතවාදී ලෙස තමන් මුහුණ පා සිටින අර්බුදයන් තේරම් ගැනීමට එරෙහිව පාලකයා ක්‍රියාත්මක වන ආකාරය’ පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන කරුණු අතරේ‍

ජනතාව පවතින ක්‍රමය ප්‍රශ්න කිරීම වැලැක්වීම,
ජනතාවට පීඩනයේ සැබෑ යථාර්ථය වසන්කර මිත්‍යා ලෝක මැවීම,
පීඩනය ගැන සවිඥානික වන්නන්ද යථාර්ථය මතුපිටින් පමනක් අතගෑමට යොමු කිරිම,
ප්‍රශ්න අමතක කිරීම හෝ එසේ කල නොහැකිනම් පැරණි ප්‍රශ්ණ උඩ අලුත් ප්‍රශ්ණ විසුරුවා ජනතාවට ඒ සියළු ප්‍රශ්ණ මතින් දිවීමට සලස්වා ඒ එකක්වත් තේරුම් ගනීමට ඉඩ නොදී ව්‍යාකූල කිරීම, යන කරුණු ගැන අවධානය යොමු කරද්දී අද වන විට රාජපක්ෂ යාන්ත්‍රනයේ ක්‍රියාත්මක වීම්ද ඒවාද අතර වෙනසක් නොමැති බව පෙනී යයි.

ඒ අනුව අද ජනතාව කිසිවකුටත් පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමට තහනම් වන අතර හොදින් හෝ නරකින් මෙන්ම වංචාවෙන් …ප්‍රශ්න කරන්නා වාරණයට ලක් කිරීම අද ආණ්ඩුවේ පිලිවෙත වී ඇත.

ආණ්ඩුව කිරිපිටි වල වස ඇතැයි කියා මසක් යන්නටත් පෙර ආණ්ඩුවම වස නැතැයි කියන විට රටේ ජනතාව ඒ කෙසේදයි ප්‍රශ්න නොකර සිටින්නේ එකී වාරණයන්ට හසුවීමේ පලවිපාකයන්වල ඵලයන් හේතුවෙනි. තමන් වකුගඩු රෝගයට දිගින් දිගටම ලක්වෙද්දී “ඇයි අපිට මෙහෙම වෙන්නේ‘‘ යැයි ප්‍රශ්ණ කරන්නටත් ඔවුන්ට අදහසක් නැත. මැතිවරණය ලංවෙද්දී පමණක් වී මිල වැඩිවන්නේ ඇයි දැයි අසන්නටත් ඔවුන්ට හයියක් නැත.

රජයට විරුද්ධව විහිලුවක් කල ද උපහාසයට මෙන් සුදු වෑන් එකක යන්න ආස දැයි යන්න ඇසීම අද ජනවහරට එක්වී තිබීම මතම අපට වැටහෙන්නේ පෙර කී වාරණයේ සැබෑ තත්ත්වයයි.

පාවුලෝ ප්‍රෙයරිගේ කරුනු අතරේ අපට අදාල වැදගත්ම කරුණක් වන්නේ, ප්‍රශ්න අමතක කිරීම හෝ එසේ කල නොහැකිනම් පැරණි ප්‍රශ්ණ උඩ අලුත් ප්‍රශ්ණ විසුරුවා ජනතාවට ඒ සියළු ප්‍රශ්ණ මතින් දිවීමට සලස්වා ඒ එකක්වත් තේරුම් ගනීමට ඉඩ නොදී ව්‍යාකූල කිරීමට ගන්නා පාලකයාගේ උත්සහයයි.

වත්මන් ආණ්ඩුව ද ජනතාව ද දෙස බලන විට මෙම අදහස එකසේ අදාළ ය. දම්වැලක පුරැකක් මෙන් කොටකෙතන සිට රතුපස්වල දක්වා ද ආසනික්, බොදුබල මෙන්ම කිරිපිටි දක්වා ද එළි බස්නා ලද අර්බුද මෙන්ම පුනරුච්චාරණය වන විදුලි පුටුවද අද වන විට ජනතාවගෙන් සැබෑ ප්‍රශ්ණය දුරස් කොට ඇත.

එසේම කන්නට නැතත්, බොන්නට නැතත් උත්තරීතර රාජපක්ෂ පාලනය රට මුදාගෙන දකුණේ ජනතාවට යාපනය බලන්නට ඉඩ සැළැස්වීම කෙතරම් භාග්‍යක්දැයි සිතන්නට තරම් අද පාලකයෝ ජනතාව අවිඥානික කොට ඇත. මේ සියල්ලෙහිම යථාර්ථය වන්නේ අද අපේ රටේ බහුතරයක් ජනතාවට තමන්ව අමතක වී ඇති බවකි…. ඔවුන් දැන් සිතන්නේම අනෙකෙකු තමන් අභිබවා යනු ඇතැයි සිතා අනෙකා පාගා දැමීමට පමණකි…. එහි ඔහු නොදන්නා සත්‍ය වන්නේ ඔවුන් සිය සිතුම් පැතුම් පාලකයාගේ අවශ්‍යතාව අනුව හැඩ ගසා ගනිමින් සිටින බවය. මෙකී අවිද්‍යාව ජනතාව වටහා නොගන්නා තාක් තමන් මත ඇති සැබෑ අර්බුදය ඔවුන්ගෙන් දුරස් වනු ඇත. එනම් තමන් විසින්ම බලය දී පත් කර ගත් පිරිසකගේ ඕනෑ එපා කම්වලට අනුව තමන්ද තම දරුවන් ද ජීවිත හැඩ ගසා ගත යුතුවීමේ අභාග්‍ය සම්පන්න යථාර්ථය ඔවුන්ට අවබෝධ නොවනු ඇත. එසේ ඔවුන් අවබෝධ නොකර ගන්නා තාක් රටේ අතලොස්සකට පමණක් රටේ ආර්ථිකයේ හිමිකාරිත්වය පැවරෙනු ඇති අතර රාජපක්ෂ පාලනය වැනි ග්‍රාම්‍ය ගොන් පාට් විසින් රටේ දැන උගත් පිරිස් පවා පාලනය කරනු ඇත. එජාපය වැනි සිය කාර්ය භාරය වටහා නොගත් බල ලෝභී විපක්ෂයන් බිහි වනු ඇත. තමන්ගේ උන් මරා දැමූ පසුත් මරා දැමූඋන්ගේ දේහයන් මත මිනී මරුවන් සමග සාද පවත්වන ජනතාවක් බිහි වනු ඇත. ජනතාව කෙබන්දක් කළ ද පාලකයන් කෙබන්දක් කළ ද ආණ්ඩුවට කඩේ යා හැකි කලාවක්ද නීතියක් ද,සංවාදයන් ද බිහි වනු ඇත.

ඉතිහාසයේ සිට විටින් විට අඩු හා වැඩි වශයෙන් සිදුවූ මෙම ක්‍රියා වලිය අද වන විට අන් කවරදාටත් වඩා උච්ච වී ඇත්තේ ජනතාව තමන්ගේ සැබෑ ගැටළුව අමතක කොට වල්මත්වීමේ විපාකය හේතුවෙනි.

එච්. සම්පත් | H. Sampath

[Image Credit: http://jdsrilanka.blogspot.com]