Photo courtesy: twitter.com/PresRajapaksa

මැක්සිකොවේ උතුරු ප්‍රදේශයේ පිහිටි සොනොරා නමැති ප්‍රාන්තයේ වෙසෙන යකුයි නමැති ආදිවාසී ජනයා අතර පැවතෙන කතාවක් ගැන අප කවුරුත් අසා තිබේ. ඒ වූ කලී නරියා සහ කොකා අතර හදිසියේ ඇති වූ මිත්‍රත්වයක් සහ උන් එම මිත්‍රත්වය තුළ එකිනෙකා රවටා ගන්නා ආකාරයයි. නරියාගේ ආරාධනයක් මත කොකා නරියාගේ නිවසට ගොස් ආහාර ගැනීමට සැරසෙයි. නරියා තැටියකට අහාර ලබාදෙන අතර කොකාට එය ගැනීමට නොහැකි වේ. නරියා හිතා මතාම තමන් රැවටූ බව අවබෝධ කරගන්නා කොකා තමන්ගේ වාරය සඳහා කඩිනමින් කටයුතු කරයි. ඒ අනුව, එහිම අනෙක් පැත්ත නරියාට කොකාගේ නිවසේදී මුහුණ දීමට සිදු වේ. සිලින්ඩරාකාර භාජනයකට ආහාර ලබා දෙන කොකා එය නරියාට කෑමට ආරාධානා කරයි. භාජනය වටේ ලෙවකනවා හැරෙන්නට නරියාට වෙන විකල්පයක් නොවිණි. දෙදෙනාට දෙදෙනාම රවටා ගැනීමට හැකි විය. පසුගිය දින කිහිපය තුළ ලංකාවේ දේශපාලනය භ්‍රමණය සහා පරිභ්‍රමණය වූයේ ඒ හා සමානවය.

නමුත් මෙවර එහි අනෙක් පැත්ත සිදු විය. ඒ වූකලී පළමුව නරියාට පැමිණෙන්න යයි කොකා කිව්වේය. ආරාධනය පිළිගත් නරියා උඩපැනගෙන ජිනීවා බලාගොස් තමන්ගේ හපන්කම් කිව්වේය. ඇති පමණින් සාමාන්‍ය වැසියන්ගේ බදු මුදල්ද වියදම් කළේය. අවශ්‍ය මෙන්ම අනවශ්‍ය අයවලුන්ද රැගෙන ගොස් තම රංගනය පෙන්නීමට උත්සහ කළේය. තම උඩඟුකම පෙන්නුවේය. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් සමූල අතුගා දැමු තමන් එම දරුණුතම ත්‍රස්තයින්ගේ නායකයින් දේශපාලන වාසි වෙනුවෙන් භාවිතාකරමින්, උන්ගේ අනුගාමිකයින්ට වද හිංසා දුන් බව සඟවා තැබුවේය. එපමණකින් නැවතුනු හෙතම අමුලික බොරු රැසක් තර්කවිඥානයට ගෙන යමක් කියා කොකාගේ විශ්වාසය ඇතිකිරීමට හැකිදැයි උත්සහා කෙළේය. නමුත් අවසානයෙදී රටට ලබාදුන් ඉටිගෙඩිය වූයේ රටට එරෙහිව යෝජනා දෙකක් සම්මත කිරීමය. ඒවායෙහි ආදීනව තවමත් ලැබී නැත.

ඉන් පසු කිරීමට ඉඩ තිබු එකම විකල්පය වූයේ නරියාගේ ගෙදරට කොකාට ඒමට ආරාධනය කිරීමය. කොකා ඒමට අදිමදි කොට කෙසේ හෝ අවසානයේදී කොකා මෙහි ආවේය. පිළිගැනීම්, ආගන්තුක සත්කාර මැනවින් සිදුකළද කොකා මෙහි එනවිටත් තම අලුත් මිතුරා සොයා, නරියා පැනගොස් සිටියේය. පැන යෑමට පෙර නරි පැටවුන් කිහිපදෙනෙකු හූ කීම සඳහා විවිධ ස්ථානවල තැබීමටද අමතක නොකළේය. එකෙක් කොකා සමඟ විවාහවීමට කැමති යයිද කියා හූ කිව්වේය. කදිමය. මෙය රට මුහුණ දී සිටින සැබෑ ඛේදනීය තත්වයයි. කෙසේ හෝ මෙවර කිලෝ දෙකක් තම බරෙන් අඩුකරගන්නා මාරාන්තික උපවාස දක්නට නොලැබීම සාමාන්‍ය ජනතාව පැත්තෙන්, ඔවුන්ගේ සෞඛ්‍යට වඩාත් හිතකර විය.

කෙසේ වෙතත් පැනගොස් සිටි නරියා තම මිතුරා සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කියමින් තම රටට මෙන් මෙම රටටද එක්සත් ජාතින් කෙනහිලිකම් කරන බව සඳහන් කළේය. තමන් සේම තම මිතුරාද මීට වසර කිහිපයකට පෙර ලෝකෙට ඇහෙන්න තමන් අඥාදායකයෙක් නොවන බව කිව්වේය. දෙදෙනා අතර බොහෝ සමානකම් ඇත.

කෙසේ හෝ අවසානයේදී සිය රටට පැමිණි නරියා කොකා සමඟ “කුළුපඟව” කතා කළේය. නමුත් සිදු වූ වෙනසක් නැත. සිදු වූයේ දෙපාර්ශවය කෙරෙහිම පෙර පවතී අදහස් එලෙසම පැවතීමය. නොගැලපීම් තවදුරටත් සනාථ වීමය. එය වෙනස් කරගැනීමෙන් දේශීය දේශපාලනය තුළ සීමාව ඉක්මවා විකුණා ඇති දේශප්‍රේමය සහ විදේශ කුමන්ත්‍රණ නමැති විජ්ජාවන්ද හමුවේ නරි දේශපාලනයට වලංගුබාවයක් නැති බව නරියා හොඳ හැටිම දන්නේය. එසේ වුවහොත් තම සිංහ වෙස් ගැලවෙන බවද දන්නේය. එබැවින් එම රැවටීම තවදුරටත් රැගෙන යාමට හැකි පරිද්දෙන් මෙවැනි දෑ විසඳාගත යුතුය. සැබවින්ම සිදුවූයේද එයයි.

කෙසේ හෝ සතියක කාලයකින් පසු, අවසානයේදී ඈ ගියාය. ඒ කොළඹ පැවතී මාධ්‍ය හමුවකින් පසුය. එය ඈ කෙරෙහි ඇති අඳුරු සිතුවිලි පහ කිරීම සඳහා වඩාත් ක්‍රමෝපායිකව භාවිතා කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටින “කොටි ධේනුව” යැයි ඇතැම් අය එනම් ආණ්ඩුවේ සිටින පුද්ගලයින්ද කියන කතා ගැන ඈ වඩාත් නිවැරදිව පිළිතුරු දුන්නාය. කොළඹ සිටම එය ප්‍රකාශ කොට අපසු යාමට ඇය අමතක නොකළාය. ඇය නන්දිකන්ඩාල් කලපුවේ මල්දැමීමට කළ උත්සාහය වැළකීමේ වාසි මෙන්ම අවාසිද තිබේ. එසේම බොහෝ දෑ ගැන එකිනෙක කිව හැකි කරුණු තිබුණද එය කිසිඳු අර්ථයකට හේතු නොවේ.

සියල්ල එසේ සිදුවිය. මේ මස අවසානයේදී ඇය විසින් වාර්තාවක් නිකුත් කිරීමට නියමිතය. එය බොහෝ දුරට ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ඇති වී ඇති ආරවුල, ලංකාවේ අධිකරණයේ ඇති ව්‍යාකූලත්වය, අතුරුදන් වූවන්ගේ ගැටලුව මෙන්ම ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ නිර්දේශ ආදිය මුලික කරගත් එකක් වනු ඇත. නමුත් එළඹෙන වසරේ මාර්තුහීදී නිකුත් කිරීමට බලාපොරොත්තුවන වාර්තාව වඩාත් සංකීරණ එකක් වනු ඇති බව නොඅනුමානය. මන්ද නරියාගේ දේශපාලනය, තවදුරටත්, පවතින රාමුව තුළම ශක්තිමත් වීම හැරෙන්නට වෙනත් වෙනසක් නරියාගෙන් බලාපොරොත්තු විය නොහැකි නිසාය.

තකට තක මිතුරන් සොයා යෑම, තමාද රවටා ගනිමින් එකිනෙකාද රවටාගැනීම, දීර්ඝකාලීන තුවාල සඳහා ප්‍රතිකාර නොවන බව ඉතිහාසයේ අවස්ථාවන් රැසකදී උගන්වා ඇති පාඩමකි. තවමත් තේරුම් ගැනීමටද නොහැකි, තේරුම් ගැනීමට වුවනාවක් ද නැති, දේශපාලන විස්වාශය මෙහිදී යලිත් නරියා විසින් පෙන්වා ඇත. ඒ වූ කලී පුද්ගලයන් කෙරෙහි මිස ආයතන කෙරෙහි විස්වාශ තැබීම අත්හැර ඇති බවයි. ආඥාදායකත්වයේ මුලිකම හැඩරුව වන මෙය විසින් ඉදිරියේදී බොහෝ නීරස පාඩම් උගන්වනු ඇත.

නිලන්ත ඉලංගමුව | Nillantha Illangamuwa