Image: Vikalpa File | September 2013, Mullative

යුද්ධයේ අවසන් අදියරේදී කිසිවකු රඳවා ගැනීමක් හෝ තම භාරයට ගැනීමක් හෝ සිදු නොකළ බවට ශ්‍රී ලංකා යුධ හමුදාව අධිකරණයට දැනුම් දී තිබෙන බව 2013 සැප්තැම්බර් 12 දා බීබීසි ය වාර්තා කර තිබිණි.

හමුදාව කෙසේ කීවත් තම දරැවන්, ස්වාමි පුරැෂයන් හමුදාවට භාර දුන් බව උතුරැ ප්‍රදේශයේ බිරින්දැවරුන් සහ මව්වරැන් සාක්ෂි සපයන බව පසුගිය කාලයේදී, විටින් විට විකල්ප වෙබ් අඩවිය වාර්තා කරන ලද්දේ භාරදුන් අයගේ සාක්ෂි සමගය. නමුත් මේ වන විටත් හමුදාව ප්‍රකාශ කරන්නේ එවැන්නක් සිදු කර නොමැති බවය.

කෙසේ නමුත් තව දුරටත් එවන් සාක්ෂි බොහොමයක් විකල්ප සතුව ඇති අතර පහත පළවන්නෙ 2009 මැයි 18 වැනිදා තම පුතා හමුදාව වෙත භාරදුන් බවට මුලතිව්, හි මවක් පවසන කතාවයි. මෙවන් සිදුවීම් දහස් ගණනක් උතුරේ ඇති මුත් ඒවා ‘බොරැ‘ යැයි ප්‍රකාශ කරන හමුදාවක් සහ ආණ්ඩුවකින් සංහිදියාවක් කිසිදාක බලාපොරොත්තු විය හැකිද?

මේ ඇයගේ කතාවයි.(එහි වීඩියෝ දර්ශණය මෙයට පහළින් දැක්වේ)

“මගේ නම කණගාම්බිගයි. 2009 මැයි 18 වැනිදා මගේ වැඩිමල් පුතා වන ශී‍්‍රකාන්දන් ව හමුදා වෙත භාර දුන්නා. මම තමයි එයාව භාර දුන්නේ. ඊට පස්සේ කම්බි කූඩුවක අපේ පුතා හිටියා මම දැක්කා. භාර දුන්නාට පසු දිනයේදී ඕමන්තේදීත් පුතාව මම දැක්කා. එදා ඉදලා මගේ පුතා පිළිබඳ කිසිඳු තොරතුරක් නැහැ. අද වෙනකම් මම මගේ පුතාව සොයනවා. මගේ පුතාව පෙන්නන්න. නැත්නම් මගේ පුතාත් එක්ක කතා කරනවත් දෙන්න.

‘‘කොටි සංවිධානයේ සාමාජිකයෙක් විධියට මගේ පුතා සිටියා. ඊටපස්සේ එයා ඇවිදින්න අමාරැවෙන් හිටියේ. කකුල් වල වන සහ ඇඟ පුරාම තුවාල තිබුණා. කිහිලිකරැ නැතුව එයාට ඇවිදින්න බැහැ. ඊට පස්සේ අපි එයාට කසාදයක් කරලා දුන්නා. පුතා ගෙදරමයි හිටියේ. පුතා හමුදා වෙත භාර දුන් දිනයට පෙර දින සිට ම එයාගේ බිරිද සහ එයාගේ දුව අතුරුදහන් වුණා. මේ වෙනකම් ඒ අය පිළිබඳවත් තොරතුරක් නැහැ. ඉන්දියාවේ ඉන්නවා කියලා සමහරුන් කියනවා. නමුත් තොරතුරක් නැහැ.

මගේ පුතා තමයි මට උදව් කළේ. දැන් පිරිමි කෙනෙක් විදියට උදව් කරන්න මට කවුරුත් නැහැ. අවසාන යුද්ධයේදී මගේ පුතුන් දෙදෙනෙක් ශෙල් ප‍්‍රහාරයෙන් මිය ගියා. මගේ ස්වාමි පුරුෂයාත් මාව හැර ගියා. දැන් මම වයස දොලහක් වන කුඩා ළමයෙක් එක්ක තමයි මාළු අල්ලන්න යන්නේ. ඒ ළමයා ඉස්කෝල්ලේ යන නිසා රෑට තමයි යන්න වෙන්නේ. ගෙදර එන කොට රෑ 12.00 / 01.00 වෙනවා. නමුත් දවසකටම රැපියල් 150ක් 200ක් පමණයි හම්බ කරගන්න පුළුවන් වෙන්නේ.

පහුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් තුමිය හමුවූ විට මගේ පුතා පිළිබඳවත් එයාට කිව්වා. කොහොම හරි මගේ පුතාත් එක්ක කතා කරන්න ඉඩ සලසා දෙන ලෙස මම ඇයගෙන් ආයාචනා කළා.

දවසක මම වවුනියාව යන විට මම වාගේ අම්මා කෙනෙක් ළග ඡායාරූපයක් තිබුණා. ඒ අම්මාත් මා වගේම ඉරණමකට මුහුණ දී තිබෙන කෙනෙක්. ඒ අම්මා සතුව තිබූන ඡායාරූපයේ මගේ පුතාත් ඉන්නවා දෙක්කා. රජයේ පුනරුත්තාපන කටයුත්තේ යෙදී සිටින අය තමයි ඒ ඡායාරූපයේ ඉන්නේ.

මම පුතාගේ ඡායාරෑප දීලා මානව හිමිකම් කොමිසම, රතුකුරුසය, ජෝසප් කඳවුරු, පොලිසියේ පැමිණිලි ද කර තිබෙනවා. මගේ පුතා ජීවතුන් අතර ඉන්නවා. මට විශ්වාසයි. මේ ඡායාරූපයේ පුතා ඉන්න නිසා අනිවාර්්‍යයෙන් මගේ පුතා ජීවතුන් අතර ඉන්නවා.”

ඇයත් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාව සදහා මෙයට පිවිසෙන්න [Exclusive] Interview with Kanagambigai – Mullathive, Sri Lanka