Image Credit: SWB

උතුරේ පාළත් සභාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී වාසුදේව ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයට වැලේ වැල් නැතිවිය. ඡන්ද ප්‍රතිඵල අනුව උතුරේ එජනිස යේ මැතිවරණ කටයුතුවල නායකත්වය ගත් ඩග්ලස් දේවානන්දා ඇමතිවරයාට සිදු වූයේ, තවමත් චිත්‍රපට ශාලාවක තමන්ගේ පක්ෂ කාර්යාල ය පවත්වාගෙන යන එම ශාලාවේ උස් වහලය දෙස කට ඇරගෙන බලා සිටීමටය.

නමුත් මේ සියලු දෙනා ඡන්දය දිනයේත්, එයට පෙරත්, උතුරේ ජනයා දෙමළ ජාතික සංධානයට ඡන්දය දීම වැලැක්වීම සදහා හැකි තරම් නීතිවිරෝධී, ප්‍රචණ්ඩ දේවල් කළේ ය. නමුත් ඒ සියලු උත්සහයන් පරාජය කරමින් සියලු පක්ෂ, කණ්ඩායම් වලට වඩා ඉහළින්, දෙමළ ජාතික සංධානය, ඔසවා තැබීමට උතුරේ ජනයා පියවර ගත්තේ ය.

මේ පියවර පිලිබදව පැරණි වාමාංශිකයෙක් ලෙස හදුන්වන, රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ද වන වාසුදේව නානායක්කාර මහතා විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වෙයි.

“උතුරු පළාතේ සෑම දිස්ති‍්‍රක්කයකම දෙමළ සන්ධානය 2/3කට වැඩි ජනතා වරමක් ලබාගෙන තිබීම පෙන්වන්නේ එම පළාත තුළ දෙමළ ජාතික හැගීම ප‍්‍රබලව ප‍්‍රකාශ වී ඇති බවය.පසුගිය වසර තුන පුරා රජය විසින් විශාල ලෙස වියදම් දරමින් ගෙන ගිය සංවර්ධන වැඩ පිළිවෙල මෙයට මුහුණ දීමට ප‍්‍රමාණවත් වූයේ නැති බව පැහැදිලිය.2011 පැවති පළාත් පාලන ඡන්දය අවස්ථාවේ උතුරු පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු ඡන්ද ප‍්‍රතිශතය මෙවර අඩු වී තිබීමේ හේතු අපි අවංකවම සොයා බැලිය යුතුය.[September 24, 2013 LCN]” යනුවෙන් ඔහු පවසයි.

දැන් සංවර්ධනය කියන්නේ ප්‍රධාන පාරවල්වල් කාපට් කරලා, සුඛෝපභෝගී ලෙස සංවර්ධනය කරපු හමුදා රෙස්ටොරන්ට් දාලා, ණය දීම ප්‍රමුඛ කර ගත් බැංකු යාපනයේ පුරාම විවෘත කළාම වාසුට අනුව එය යෝධ සංවර්ධනයකි.

නමුත් තමන්ගේ ජීවිතය, අධිපතිවාදී ලෙස පාගමින්, සංවර්ධනය යැයි කියන කිසිදු වැඩකට ඔවුන් කිසිදු අයුරකින් සහභාගීකර නොගනිමින්, දෙමළ ජනයා ඉල්ලා සිටින නිදහස සහ යුක්තිය තවදුරටත් සිය හමුදා බලය යොදා පාගා දමමින් රාජපක්ෂ ආණ්ඩුවේ ‘කාපට් සංවර්ධනයට‘ නැවත වරක් දේශපාලනික පිළිතුරක් දී තිබේ. එය වාසුට තේරෙන්නේ නැති සේයකි. ඇත්ත නම් එය තේරැනු බවට අගවමින් නිවේදනයක් නිකුත් කලොත් ඇමතිවරයෙක්ට ලැබෙන සියලු දේ තමන්ට නැති වී යන බව ඔහු දන්නා බැවිනි. එබැවින් බබා කතා කියමින් රාජපක්ෂත්, දෙමළ ජනයාත් එකවිට දිනාගැනීමට ගන්නා මුග්ධ උත්සහයක් මෙයින් පැහැදිලි වෙයි.

එය තව දුරටත් පැහැදිලි වන්නේ එම නිවේදනයේ තැනක මේසේ ද සදහන් වීමෙනි. “ඒ සදහා ඒකීය මධ්‍යම රජයේ පරමාධිපත්‍යයට අනුකූලව දැනට පළාත් සභාවන්ට ලබාදී ඇති බලතල උතුරටද ලබා දෙමින් එම පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි ආණ්ඩුකාරවරයෙකු පත් කළ යුතුය.” දැන් සිටින ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ හැසිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව වැඩ කරන පිරිස් පසුගිය කාලය පුරාම පෙන්වා දුන්නේ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී බවයි. දෙමළ දේශපාලන පක්ෂ එම ස්ථාවරයේම සිටිමින් කියා සිටියේ, ආණ්ඩුකාරවරයා ස්වාධීන්ව කටයුතු කරන්නේ නැති බවය. එය මනාවට පැහැදිලි වූයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ වේදීකාවේ කිසිදු ලැජ්ජාවක් නැතිව ආණ්ඩුකාරවරයා වාඩි ලා සිටීමය. මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුකාරවරයා ප්‍රසිද්ධියේම එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් පෙනී සිටිමය. එවිට දකුණේ මෙවන් දේශපාලකයින්ගේ පෑන ලියැවුනේ නැත. කටින් වචන පිට වූයේ නැත. ඒ සියලු දේ වෙද්දී වාසු සහ වාසු වැනි පැරණි වම්මුන් එය නොදුටුවා සිටියේ ය.

දැන් දෙමළ ජනයා සිය නියෝජිතයන් ලෙස දෙමළ සංධානය තෝරාගැනීමෙන් පසු අලුත් ආණ්ඩුකාරවරයෙකු පත් කර ගැනීම ගැන වාසු දොඩවයි. දෙමළ ජනයාට බලය නැති විට ආණ්ඩුකාරවරයා වෙනස් කිරීමට වචනයක්වත් කතා නොකළ මෙවන් වම්මුන්, දෙමළ ජනයාට බලය ලැබුණු පසු ඔවුන් සමග හිට ගනිමින් මෙවන් දැ කතා කිරීම තරම් තවත් නරැමකමක් තිබේද?

උතුරේ මැතිවරණ ප්‍රතිඵල පිලීබද අභ්‍යන්තරයෙන් සළිත වී, නිවේදන නිකුත් කරමින්, මෙසේ යළිත් දෙමළාව රැවටීමට උත්සහ කරන වාසුලාත්, රාජපක්ෂ ආණ්ඩුවත් මේ මැතිවරණයෙන් යළිත් සිතා ගත යුත්තේ, දෙමළාගේ දේශපාලන ප්‍රශ්ණය විසදීමට සිංහලයාට දෙමළ ඉගැන්වීමත්, දෙමළාට සිංහල ඉගැන්වීමත්(වාසුගේ අමාත්‍යංශයේ එක් වැඩකි) එක් විසදුමක් ය කියන ‘සංස්කෘතිය‘ පරාජය වී බොහෝ කල් බවය. එසේම පාරවල්වලට තාර දැමීමත්, එල්ටීටීඊ සාමාජිකයන් ආණ්ඩුවේ සල්ලිවලින්, හමුදාව මැදිහත් වී විවාහකර දීමෙනුත්, ඔවුන්ගේ දේශපාලනය යටපත් කිරීමට ගන්නා උත්සහයන් තවදුරටත් ඇස් ඉදිරිපිට පරාජය වනු බවය. ඒ පරාජයේ එක් සංඛේතයක් ලෙස මෙවර උතුරේ මැතිවරණය දකුණ විසින් දේශපාලනිකව තේරැම් ගත්තේ නැතිනම් රාජපක්ෂ රේජීමයටත්, දකුණේ ඇතැම් කුහක වම්මුන්ටත් සිදු වනුයේ තමන් වටේ තමන් විසින්ම හාරමින් සිටින ‘වල‘ තවදුරටත් යටට හරා ගැනීම පමණය.