උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පැහැදිළිවම ප‍්‍රකාශයට පත්කරමින් උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය මගින් විශිෂ්ට අන්දමින් ජයග‍්‍රහණය කිරීම රටේතොටේ කතාබහට ලක්ව තිබේ. කල්තියාම එම ජයග‍්‍රහණය ගැන කවුරුත් දැනගෙන සිටියත්, ජයග‍්‍රහණයේ අවසාන ප‍්‍රතිඵලය ආණ්ඩුවට දුන් සැර අතුල් පහරක්ම විය. නිකංම ජයග‍්‍රහණයක් නොව, තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටීමටත් එලෙසම එම ජයග‍්‍රහණය දෙමළ ජනතාව විසින් එම සන්ධානයට පැහැදිළිවම ලබා දීමත්, ආණ්ඩුව තවත් අපහසුතාවට පත් කිරීමකි.

රටේ පවතින තත්වය දෙස බලන විට, දෙමළ සන්ධානය ලද මේ අති විශිෂ්ඨ ජයග‍්‍රහණය, පක්ෂයේ උපාය මාර්ගික සැළසුම් මත දියත් කරන ලද මැතිවරණ ව්‍යාපාරයේ සාර්ථකත්වය පෙන්නුම් කරන්නකි.

මහඇමති අපේක්ෂකයා වශයෙන් සී. වී. විග්නේෂ්වරන් තෝරා ගැනීම

නැගෙනහිර පළාත් සභා ඡුන්දයේ දී මෙන් නොව, උතුරේ පළාත් සභා මැතිවරණය සඳහා කල් තියාම මහඇමති අපේක්ෂයෙකු නම් කිරීමට දෙමළ ජාතික සන්ධානය මෙවර පියවර ගත්තේය. මෙය, සන්ධානයේ නායක සම්බන්දන් අතීතයේ කළ වැරදිවලින් උගත් එක් පාඩමකි.

මහඇමති අපේක්ෂකත්වය සඳහා විග්නේෂ්වරන්ව තෝරා ගැනීමේ තීරණය සම්බන්දන්ට පහසු කාර්යයක් වුණේ නැත. මන්ද යත්, විග්නේෂ්වරන්ගේ අපේක්ෂකත්වයට විරෝධය දැක්වූ සහ ඒ වෙනුවට මාවෙයි සේනාධිරාජාට සහාය දැක්වූ පිරිසටත් ඒ සඳහා වලංගු හේතු තිබුණු බැවිනි. එවැනි අභ්‍යන්තර මතභේද මධ්‍යයේම, ඒ කාරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අතර පොදු සම්මුතියක් ඇති කර ගැනීමට, ඉතා දුෂ්කර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක දී සම්බන්දන් සමත් විය. ඒ දෙස දැන් ආපසු හැරී බලන විට, එදා ගත් තීන්දුව මෙවර ප‍්‍රතිඵලවලින් යුක්ති සහගත කොට තිබේ.

මහඇමති අපේක්ෂකත්වය සඳහා විග්නේෂ්වරන්ව නම් කිරීම, උගත්, කීර්තිමත්, ගෞරවනීය පුද්ගලයන්ගේ අතීත තෝතැන්නක්ව තිබූ දේශපාලනයක මතකයක් තුළ නිරාහාරත්වයට පත්ව සිටි උතුරට නව අපේක්ෂා ජනිත කළා පමණක් නොව, ආණ්ඩු පක්ෂයට ද ඊට සමාන ප‍්‍රතිවාදියෙකු නම් කිරීමේ අභියෝගයක් ද ඒ මගින් එල්ල කෙළේය.

එකාවන්ව සිටීම

විග්නේෂ්වරන්ගේ නම යෝජනා කිරීමට ටික කලකට මත්තෙන්, දෙමළ ජාතික සන්ධනය කැඞී විසිරෙන්නට යන බවට ප‍්‍රබල මතයක් දෙමළ සමාජයේ බහුතරයක් අතරේ තිබුණි. ඇත්තෙන්ම ජනතාවගේ පැත්තෙන් ගත් විට එම හැඟීම අසාධාරණ එකක් වුණේ ද නැත. එහෙත් අතීතයේ දී මෙවැනි අත්දැකීම්වලට මුහුණදී සිටි සම්බන්දන්ට, විවිධ මතධාරී කොටස් එකම මේසයක වාඩි කරවා ගැනීමට හැකියාව තිබුණි. ඒ සියළු දෙනාගේ මතිමතාන්තරවලට ගරු කරන අතරේම, අවසාන තීරණය ජනතාව කේන්ද්‍රකොට ගත්තක් වන බවට ඔහු වගබලාගත්තේය.

මේ සමග සන්සන්දනාත්මකව බලන විට, රනිල් වික‍්‍රමසිංහගේ අසාර්ථකත්වය පසු පස ඇත්තේ, ජනතා අවශ්‍යතාවන්ට අනුරූපව පක්ෂය මෙහෙයවීමට ඔහුට ඇති නොහැකියාව යැයි මට සිතේ.

ඒ අතින් සම්බන්දන් අති ශූරයෙකි. ආනන්ද සංගරී වැන්නෙකුව පවා භාර ගැනීමෙන්, හැම ජනතා කොටසක්ම පක්ෂය වටා ඒකරාශී කර ගැනීමට ඔහු සමත් විය. උතුරු පළාත් සභාවේ ඓතිහාසික විජයග‍්‍රහයණ සඳහා ඔහුට හැකියාව ලැබුණේ ඒ සාමර්ථය හේතුවෙනි.


විපක්ෂයට ප‍්‍රතිචාර පෑම

මේ මැතිවරණයේ දී විරුද්ධ පාර්ශ්වවලින් එල්ල වන විවේචනයන්ට මුහුණදීමේ ස්වභාවය, දෙමළ ජාතික සන්ධාන නායකත්වය තුළ මේ මැතිවරණ ව්‍යාපාරයේ දී කැපී පෙනුණු ලක්ෂණයක් විය. විශේෂයෙන් මැතිවරණ ව්‍යාපාරයේ අවසාන සති දෙක තුළ එම පක්ෂයේ ප‍්‍රකාශනය රටේ ප‍්‍රමුඛ පෙළේ සංවාද මාතෘකාව බවට පත්විය. දීර්ඝ කාලයක් මුළුල්ලේ දෙමළ ජනතාව නියෝජනය කළ සම්ප‍්‍රදායික දේශපාලන ධාරාව වශයෙන්, අවශ්‍ය විණි නම්, ඒ විවේචනවලට ප‍්‍රතිචාර නොදක්වා සිටීමටත් දෙමළ ජාතික සන්ධානයට හැකියාව තිබුණි. තමන් කියන දෙය නිවැරදිව වටහා ගැනීමට උතුරේ ජනතාව සමත් වන බව හොඳින්ම දන්නා නිසා එසේ නිශ්ශබ්දව සිටීමේ හැකියාව කොහොමත් තිබුණි. එහෙත් ඒ වෙනුවට දෙමළ ජාතික සන්ධානය ඒ සෑම විවේචනයකටම කෙලින්ම පිළිතුරු දීමට ඉදිරිපත් වුණේය. ඔවුන් එය කෙළේ උපායශීලීවයි. එහි දී, සුමන්දිරන් වැනි භාෂා තුනකින් කටයුතු කිරීමේ හැකියාව ඇති පක්ෂ නායකයන්ගේ සාමර්ථය මනා පිටිවහලක් විය.

සිංහලෙන් පැවැත්වූ දේශපාලන සාකච්ඡුා ගණනාවට සහභාගී වු සුමන්දිරන් බොහෝ කාරණා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සිංහල ජනතාවටත් පැහැදිළි කර දුන්නේ.ය ඊට අමතරව ඒ ප‍්‍රශ්න සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා පුවත්පත් සාකච්ඡුා කිහිපයක් ද දෙමළ ජාතික සන්ධානය මගින් පවත්වන ලදි.

උතුරෙන් නික්මෙන පණිවිඩය

මධ්‍යම සහ වයඹ පළාතේ පැහැදිළි ජයග‍්‍රහණයන් හරහා ආණ්ඩු පක්ෂය තමන්ගේ දේශපාලන පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන ඇතිවා සේම, එම පාලක පංතියේ පාලනය ඉතා පැහැදිළිව සහ තිරසාරව දෙමළ ජනයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන බව උතුරේ ඡුන්ද ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කෙරේ.

උතුරේ ප‍්‍රතිඵලයෙන් කියැවෙන්නේ, එම ජනතාව සොයන්නේ සංවර්ධනය පමණක් නොවන බවයි. ඒ නිසා, රටේ ජාතික ප‍්‍රශ්නය විසඳීම ප‍්‍රමුඛතා ලැයිස්තුවේ පෙරමුණට ගත යුතු බව දැන්වත් ජනාධිපතිවරයා වටහාගත යුතුව තිබේ. සභාග ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් දෙස බලන විට (එක්තරා සලාදයක් බඳු), මේ කාර්යය පහසු එකක් නොවිය හැකිය. එහෙත් අපේ අභිලාෂය, අර්ථවත් සංහිඳියාවක් නම්, මෙය පැහැර හැරිය නොහැකි කර්තව්‍යයකි.


ඉදිරි මග

අවසාන වශයෙන්, එවැනි තිරසාර ජාතික සංහිඳියාවක් සඳහා, මා සිතන විදිහට ආරම්භක පියවරක් වශයෙන් අවශ්‍ය කරන ප‍්‍රධාන දෙයක් තිබේ. එනම්, ජයග‍්‍රහණය උත්සවශ‍්‍රීයෙන් සැමරීම නතර කිරීමයි. මුලින්ම, එසේ ජය පැන් බීම මගින් කෙරෙන්නේ, ආණ්ඩුවම පවසන අදහසක් නිෂේධනය කිරීමකි. එක පැත්තකින්, යුද්ධයේ අවසාන අදියර මානුෂික මෙහෙයුමක් වශයෙන් අර්ථගන්වන අතරේ අනිත් පැත්තෙන් අනෙකා ගැන හිතක් පපුවක් නැතිව උත්කර්ෂවත් යුද ජයග‍්‍රහණයක් සැමරීම පරස්පර වන්නේය.

දෙවැනුව, මේ සඳහා වර්ෂයක් පාසා වියදම් කරන කෝටි ගණනක මුදල, ආබාධිත සෙබළුන් සහ ඔවුන්ගේ දරු පවුල් ද ඇතුළුව යුද්ධයෙන් පීඩාවට පත්වූ සියලූ ජනයාගේ අභිවෘද්ධිය සඳහා යොදාගත හැකි වන්නේය.

විකල්පය

ජයග‍්‍රහණය සැමරීම නතර කිරීමක් ගැන කතා කරන විට ඒ වෙනුවට කුමක් යොදාගත යුතුද යන පැනය ඉබේ මතු වෙයි. ඊට මා දෙන පිළිතුර වන්නේ, ‘ජාතික අනුස්මරණ දිනයක්’ සැමරීමයි. මේ මගින් සෑම ප‍්‍රජාවකටම යුද්ධයේ දී අහිමි වූ සිය නෑසිය මිතුරන් සිහිපත් කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත. දැන් කෙරෙන්නේ, සන්නද්ධ හමුදාවල පිරිස් සැමරීම පමණි. එවිට අප කරන්නේ, දශක තුනක් තිස්සේ මේ යුද්ධය නිසා විපතට පත් දහස් සංඛ්‍යාත අසරණයන් අමතක කිරීමකි.

එක ජාතියක් වශයෙන් සමස්ත වර්ගයා සිහිපත් කිරීමේ අවස්ථාවක් එක්තරා දුරටක, ඇත්ත වශයෙන්ම, රටේ සෑම පුරවැසියෙකු තුළම ‘ශ‍්‍රී ලාංකික’ මානසිකත්වයක් ඇති කිරීමට ද පාදක වන බව පැහැදිළියි. ශ‍්‍රී ලංකාව අද සිටින්නේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක ය. අද අප කරන ක‍්‍රියාකාරකම් විසින් අපේ අනාගතය තීන්දු කෙරෙනු ඇත. ඉදිරියට ගමන් කිරීම, අවිද්‍යාවෙන් කළ නොහේ. අතීතයේ කළ වැරදි දැන්වත් අප නිවැරදි කර නොගන්නේ නම්, ඕනෑම අනාගත සංහිඳියාවක් කෙළවර වනු ඇත්තේ අසාර්ථකත්වයකින්මයි.

කොතැනකින් හෝ අප පටන්ගත යුතුව ඇත. දැන් පවත්වන ජයග‍්‍රහණය සැමරීමේ දිනය අහෝසි කිරීමට පියවර ගැනීම එවැනි එක් ආරම්භක ස්ථානයකි. රටේ එක ජන කොටසක් ඛේදයක වෙළී සිටිද්දී, තවත් ජන කොටසක් මධුපැන් බීම කොහොමත් නොහොබී.

එක රටක් වශයෙන් ඉදිරියට යාමේ මොහොත පැමිණ තිබේ. උතුරේ ජනතාව ඉතා සරළව ඉල්ලන්නේ සමාන පුරවැසි භාවයකි. තමන්ගෙන් වියෝ වූවන් ස්මරණය කිරීමේ අයිතිය ද ඊට ඇතුළත් ය. පසුගිය දා අවසන් වූ පළාත් සභා මැතිවරණයේ දී උතුරේ ජනතාව දුන් පැහැදිළි තීන්දුව, සැලකිල්ලට ගැනීමට අප වගබලාගත යුතුව ඇත.

ආර්. බාලචන්ද්‍රන් | R. Balachandran

##

2013 සැප්තැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ NPC Elections: Sampanthan’s Leadership & the Way Forward ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්