Image Credit : notes.lakdiva.org

දාහ පණිනවා මාසේ ලයිට් බිල​
දාහ බඩු ෂෝපින් මල්ලත් වැඩියි බොල
දාහ එක මදියි කිරි පිටි මාසෙ බිල​
දාහ පනී කරවල එළවලුත් මිල​

දාහ පනී ස්කුල් වාහනේ බිල
දාහ කීයක්ද ටියුෂන් මාසෙ බිල​
දාහ පණිනවා ඇඳුමක් ගන්න කල​
දාහ ට අඩුව දැක්කද පාවහන් මිල​

දාහ ට ළඟයි දැන් ගල් බෝතලෙත් මිල​
දාහ දිය දමන උන් වස බොන්නෙ බොල​
දාහ ට අඩුව මගුලට දිය හැකිද කොළ
දාහ මදියි යන්නට අද ඉරිද පොළ

දාහ පනී වතුරයි දුරකථනෙ බිල​
දාහ කීයක්ද දැන් බෝඩිමෙත් බිල​
දාහ එක මදියි ලෙඩ දුක් මාසෙ බිල​
දාහ ට අඩුවේද ගමනාගමනෙ බිල​

දාහ කොළ ටිකක් මාසෙට ලැබුන කල​
දාහ තව ටිකක් ණය නොවි බැහැනෙ බොල
දාහ ළඟ නේද දැන් මස්- මාලු මිල​
දාහ ට අඩුව ඇත්තේ මරණයේ මිල​

දාහේ හත අටයි කොම්පැණි වැටුපෙ කොළ
දාහේ එකොළහයි රජ රැකියාවෙ මුල​
දාහේ තිහ හතලිහක් මසකට ඕන කල
වාහේ අපි කන්නෙ අහවල් එකද බොල

දාහක් ලක්‍ෂ මහවුන් සාදයේ බිල
දාහක් ලක්‍ෂ ගණනයි වාහනේ මිල
දාහක් ලක්‍ෂ දවසක අය වැයේ බිල
දාහක් සදෙව් ලොව නෑදෑ මිතුරු කැළ

දාහක් ලක්‍ෂ අපෙවුන් කටුඉඹුලෙ බල
දාහක් දහෙන් වැඩි කරලා දියව් බොල
දාහක් දෙනෝ සැරසෙව් දැන් ගැසී පෙළ
දාහක් දහ දියව් බැරිනම් ගෙදර පල​

Kottigodaඥානසිරි කොත්තිගොඩ | Ghanasiri Kotthigoda