[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්]

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an Economic hitman”] ආර්ථික කුළී ඝාතකයෙකුගේ පාපොච්චාරණය” නමින් සිංහලෙන් පළවූ එම කෘතියේ ඇත්තේ ලෝකයේ ධනවත්ම හා බලවත්ම වෙළඳ සංගති ඇමරිකාවේ දේශපාලන බලය තම ග‍්‍රහණයට ගෙන ”ණය ආධාර” ලබාදීමේ ව්‍යාපෘති ඔස්සේ රටවල් සූරා කන ආකාරයයි. ඒ තුලින් එම රටවල් ආර්ථිකව දිනෙන් දින පිරිහෙමින් මහා අගාධයට වැටී විනාශය කරා ලංවන ආකාරයයි. ඒ ආකාරයට රටවල් සූරාකෑම පහසු වන පිණිස අධිවේගි මාර්ග, ගුවන් පාලම්, නැව්තොටවල්, ගුවන් තොටවල්, සුවිශාල තට්ටු ගොඩනැගිලි පෙන්වා ඒ රටවල්වල ජනයා රවටන ආකාරයයි. රාජ්‍ය නායකයා හා පවුලේ උදවිය විවිධ දීමනා හා සංතෝසම් ඔස්සේ තමන්ගේ කූට සූරාකෑමේ ආර්ථික ව්‍යාපෘතිවලට දිනා ගන්නා ආකාරයයි. ඉන්පසු එම රාජ්‍ය නායකයන් විසින් ජනයා තව තවත් පීඩාවට පත් කරමින් ලෝක බලවතුන්ගේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ආකාරයයි. ලෝක බලවතුන්ගේ නියෝජිත ආර්ථික කුලී ඝාතකයා විසින් අදාල රටවල ජනතාවගේ හද ගැහෙන රාවය හඳුනාගෙන ඊට සරිලන ලෙස ආර්ථික ඝාතක ව්‍යාපෘති සකසා, ඒ තුළින් ජනතාව රවටමින් සූරාකෑමට මග සලසන ආකාරයයි. ඒ සියල්ල කිරීම සඳහා ලෝකයේ මූල්‍ය ආයතන සියල්ල බලවතුන් විසින් සිය ග‍්‍රහණයට හසු කර ගෙන ඇති ආකාරයයි. බලවතුන්ගේ ණය උගුලේ හිරව රටේ වටිනාම සම්පත් බලවත් වෙළඳ සමාගම්වලට විකුණන ආකාරයයි. ඒ තුළින් රටේ වැදගත්ම ආදායම් මාර්ග අහිමි කර ගෙන තව තවත් ණය උගුලේ ම හිරවන ආකාරයයි.

මේ සියල්ල ශ‍්‍රී ලංකාව නැමති වේදිකාවේ සජීවීව රඟදක්වමින් තිබෙන ආකාරය විමසිලි ඇසින් බලන්නෙකුට හොඳටම පැහැදිලිය. එහෙත් එම පොත පරිවර්තනය කර පළ කළ දේශ හිතෛශී ව්‍යාපාරයට හෝ ”දිවි පුදා හෝ රට රකින බවට සපථ කරන” පක්ෂ, ව්‍යාපාර, සේනා හා බලකායනට මේ ගැන වගේ වගක් නැත.

දේශ හිතෛශී ව්‍යාපාරයේ විමල් විරවංශයෝ ආණ්ඩුවේ ඇමතිකම් දරමින් ”රාජ පක්ෂපාතීත්වය” මොනවට පෙන්වමින් ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතිවල අරුමය ගැන පාරම්බාන්නෝය. උන්නැහේට ඇමරිකන් එම්බසිය මතක් වෙන්නේ උන්නැහේලාගේ, ”දෙමළාට කෙළවන ව්‍යාපෘතියට” බාධා පැමිණේන්නේ යැයි හිතෙන වෙලාවටය. නැත්නම් ගෝලීය අධිරාජ්‍යවාදය තම ණය ව්‍යාපෘති ඔස්සේ රටටම කෙළවා හමාර කළාට උන්නැහේට කමක් නැත. ඇමරිකාව F.M.F (Foreign military Fund) හා I.M.E.T. (International Military Education and Training) යටතේ ශ‍්‍රී ලංකාවේ යුද්ධය සඳහා රජයට මූල්‍යාධාර සැපයීම ද, අති නවීන රේඩාර් මූලික නාවුක නිරික්ෂණ පද්ධතියක් හා නාවික යාත‍්‍රා සැපයීම ද ශ‍්‍රී ලංකා හමුදාව පුරුදු පුහුණු කිරීම ද, ඒ පිටුපස ඇති ගෝලීය අධිරාජ්‍යවාදී සැලසුම් ද උන්නැහේ එක්කෝ දන්නේ නැත. නැතිනම් නොදන්නවා වාගේ සිටිමින් බොරු රඟපෑම් කරන්නේය. කෙසේ වුවද ජනතාව රැවටීමේ අධිරාජ්‍ය ගැති රාජ්‍ය ව්‍යාපෘතියේ මුන්නැහේද එක් ප‍්‍රධාන රූකඩයකි.

දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ගුණදාස අමරසේකර ”ජාතික චින්තනය” මතය ගෙනෙන විට අපිදු ගනඳුර මැදියම අරුණලූ දුටුවෙමු. ඒ එම මතය හා ගොඩනැගෙන සංවාදය සිහළ, දමිළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන සියලූ ජනවර්ගයන් හි භාෂා සංස්කෘතික හා වාර්ගික අනන්‍යතාවයන් හා අයිතිවාසිකම් රැකෙන එක් ජාතික චින්තනයක් කරා එය වර්ධනය වේ යැයි යන අපේක්ෂාවෙන්ය. එහෙත් වූයේ සිංහල අධිපතිවාදී චින්තනයක ”ජාතික චින්තනය” තුළ සිරගතවීමය. නලින් ද සිල්වා ද මේකට හොඳට පෝර දැම්මේය. චම්පික රණවක එය සිය දේශපාලන ඉණිමග කර ගත්තේය. දෙමළාට කෙළවන තෙක් උන්නැහේලාට නින්ද යන්නේ නැත. ඒ නිසා ආණ්ඩුව මුළු රටම විකුණා හෝ දෙමළාට කෙළවන්නේ නම් උන්නැහේලා කැමතිය. උන්නැහේලා දෙමළ විරෝධයෙන් හා සිංහලෝන්මාදයෙන් අන්ධ වී ඇත්තාහ. මෙවැනි අන්ධයෝ හා ඔවුන්ගේ අන්ධගෝලබාලයෝ ඉන්නා තාක්කල් බාධාවකින් තොරව ගෝලීය අධිරාජ්‍යවාදී දොළ පිදේනිය පුදා මඩිස්සලේ තර කරගන්නට රෙජීමයට හැකියාව ලැබෙන්නේ ය. ගෝලීය අධිරාජ්‍යවාදයට වුවමනා වී තිබුනේ ද දැන් වුවමනා වී ඇත්තේ ද වාර්ගික සංස්කෘතික අනන්‍යතාවයන් වැනසී ගෝලීය වෙළද සංස්කෘතිය තුළට සියල්ලන් අන්තර්ග‍්‍රහණය වීමය. දෙමළ සංස්කෘතික අනන්‍යතාවයට කෙළවන්නට සිංහල අනන්‍යතාවය ඉතා හොදින් පාවිච්චි වෙමින් පවතී. ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කපමින් සිටී. ඌරාගේ ඇගද ඒත් එක්කම කැපී ඌද ඒ ඉරණමටම ගොදුරු වනු ඇත. දෙමළ ජාතියේ අනන්‍යතාවය හා අයිතිවාසිකම් ගෝලීය අධිරාජ්‍යවාදී පිහියෙන් කපනු ලබද්දී සිංහල ඇතුළු අනෙකුත් සියලූ ජාතීන්ගේ අනන්‍යතාවයන් ඉබේම කප්පාදු වී අධිරාජ්‍යවාදයේ ඇතිලියට වැටෙන්නේය.

රැකීමේ නාමයෙන් වැනසීම

බුවනෙකබාහු තම සහෝදරයා වූ මායාදුන්නේත් එක්ක යුද්ධ කිරීමට පෘතුගීසීන්ගේ උදව් ගත්තේය. රටට කෙළ විය. දෙවන රාජසිංහ පෘතුගීසීන්ව එළවීමට ලන්දේසීන්ගේ උදව් ගත්තේය. නැවතත් රටට කෙළ විය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුව එළවීමට පිළිමතලාවේ ඇතුළු උඩරට නිළමේලා ඉංග‍්‍රීසීන්ගේ උදව් ගත්තේය. රටට හොදටෝම කෙළ විය. සහෝදර දෙමළා එක්ක යුද්ධ කිරීමට රෙජීමය ඇමරිකාව, ඉන්දියාව, චීනය, ඉරානය, පකිස්ථානය ඇතුළු යුරෝපීය ආසියාතික මෙන්ම මැදපෙරදිග කලාපීය බලවතුන්ගේ ද උදව් පදව් නොඅඩුව ගත්තේය. දෙමළාට කෙළවෙන නිසා චින්තන කාරයෝ හුරේ දමමින් අත්පොළොසන් දුන්නෝය. තවමත් දෙමින් සිටින්නෝය. ඒ ජරමර අස්සේ යුද්ධයට උදව්වට රෙද්ද අස්සේ දමාගත් නයි ගජරාමෙට වැඩ පටන්ගෙන හමාරය. රටට ලාභ අත්පත් කර දිය හැකි විශාල ඉඩකඩම් ඇතුළු ජාතික සම්පත් විශාල ප‍්‍රමාණයක් දැන් රටට අහිමි වෙමින් පවතී. ලෝක බැංකුව චීනය ඇතුළු බලවතුන්ගේ මූල්‍ය ආයතනවලට හා වෙනත් බැංකුවලට ණය හා පොළී දෙන්නට රටට දැන් අමාරුය. ඉතිං බඩු මිල වැඩි වන්නේය. පඩි අඩුවන්නේය. උසස්වීම් පටිපාටීන් කප්පාදු වන්නේය.

ජනතාවගෙන් සෘජු හා වක‍්‍ර බදු වශයෙන් මුදල් ගසා කෑම වැඩි වන්නේය. ප‍්‍රවාහන ගාස්තුද වැඩි වන්නේය. අරකටය මේකටය අනෙකටය කියමින් ලැබෙන සොච්චමත් ගසා කන මාර්ග සෑදෙන්නේය. දරිද්‍රතාවයේ අදුරු වළාවෝ අප වටා වේගයෙන් පැතිරෙමින් පවතින්නෝය.

ජනතාව මේ කිසිවක් තේරුම් නොගන්නා තත්ත්වයට පත් කර ඇත. ඒ සදහා දරදිය අදින්නෝ ඉහත කී තමන් රටේ ගැලවුම් කාරයන් බවට ඒත්තු ගන්වන්නට උත්සහ කරන චින්තන කාරයෝය. බොරු දේශපේ‍්‍රමියෝය. මොවුහු යුද ජයග‍්‍රහණය, රට බේරා ගැනීම, දේශපේ‍්‍රමය, දේශමාමකත්වය වැනි සුන්දර වචනවල දවටා රටම ගෝලීය අධිරාජ්‍යවාදයට පාවා දෙමින් සිටින්නෝය.

ජනතාව මේවා තේරුම් නොගන්නේ ඇයි? බැලූ බැල්මට රට සංවර්ධනයේ හිණි පෙත්තටම යන බවක් පෙනෙන නිසාය. මුළු රටම කාපට් වෙමින් පවතී. අධිවේගී මාර්ග ඔස්සේ පැය කීපයකින් ඒ කොනින් මේ කොනේය. ගුවන් පාලම්ය. අහස සිඹින මහල් ප‍්‍රාසාදයන්ය. කුළුණුය. අධි සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයන්ය. මහා කර්මාන්ත ශාලා හා කර්මාන්ත පුරයන්ය. සංචාරක පුරයන් හා කලාපය. නගරාසන්න නිවාස යෝජනා ක‍්‍රමයන්ය දුම්රිය මාර්ගය. අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරි හා බස් රථය. ජලචර ගුවන් යානාය. කේතුමතී නගරයේ මොනාද අඩු යැයි සිතෙන්නේය. සන්නිවේදන තාක්ෂණය ඇතුළු සියලූ යටිතල පහසුකම් කඩිනමින් සැකසෙන්නේය. මේවා කාටද? එන්න එන්නම දුප්පත් වෙමින් සිටින රටේ බහුතර ජනතාවටද? ගෝලීය යටත් විජිතයේ වෙළ`ද වුවමනාවන් සදහා වන යටිතල පහසුකම් සැකසෙමින් පවතී. අපේ ජනයා හිතන්නේ ඒවා තමන් සදහා බවය.

ජාතික භෞතික සැලැස්ම

මොකක්ද මේ ජාතික භෞතික සැලැස්ම? 2011-2030 දක්වා ක‍්‍රියාත්මක කිරීමට ජාතික භෞතික සැලැස්ම නම්ලත් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත. මේ අනුව 2030 වන විට ශ‍්‍රී ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්(Navigation Center), ගුවන් මධ්‍යස්ථානයක් (Aviation Center), දැනුම් මධ්‍යස්ථානයක් (Knowledge Center), බලශක්ති මධ්‍යස්ථානයක්(Energy Center) හා වාණිජ මධ්‍යස්ථානයක්(Commercial Center) බවට පත් කිරීම මෙහි අරමුණ වී ඇත.

මේවා සාක්ෂාත් කරගැනීම සදහා අධිවේගී මාර්ග ජාලයක් ඉදිවන අතර එය අවසානයේදී මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සම්බන්ධ වනු ඇත. ඒ සදහා ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 36 ක් සමග දැනටමත් ගිවිසුම් අත්සන් කර ආසියානු අධිවේගී මාර්ග ජාලය හා සම්බන්ධ වන්නට සැලසුම් කර ඇත. එපමණක් නොව සංචාරක කළාප රැසක් බිහි කරන්නට සැලසුම් කර ඇත. කටුනායක ගුවන් තොටුපළ පුළුල් කරන්නට සැලසුම් කර ඇති අතර මත්තලට අමතරව හිගුරක්ගොඩ ද ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් ඉදිවන අතර සමස්ත ගුවන් තොටුපළවල් සංඛ්‍යාව 19 ක් වනු ඇත.

මේ සැලැස්මට අනුව සාම්ප‍්‍රදායික වගා බිම් බොහෝමයක් වාණිජ බෝග වගාවට යොදා ගනු ඇත. එමෙන්ම ලංකාව පුරාම ආයෝජකයන්ට තව තවත් කර්මාන්තශාලා බිහි කිරීමට ඉඩකඩ සැපයෙනු ඇත. ලංකාව පුරා මහ නගර කලාප, විශේෂ නගර, දිස්ත‍්‍රික් අගනගර, ලෙස නගර නිර්මාණය වනු ඇත. ස්වභාවික ආපදාවන්ට ලක් විය හැකි ප‍්‍රදේශ ලෙස හදුනා ගැනෙන ප‍්‍රදේශවල ජනයා ස්වේච්ඡාවෙන් ඉහත කී නගර කලාප වලට සංක‍්‍රමණය විය යුතුය. තවද මුහුදු තීරයේ ඛණිජ හෑරීම ජල විදුලි බලාගාර හා නොරච්චෝලේ වැනි තාප බලාගාර හා න්‍යෂ්ටික බලාගාර ඉදි කිරීමට නියමිතය. ධීවර වරායවල් සංඛ්‍යාව 40 ක් දක්වා පුළුල් වනු ඇත.

බැලූ බැල්මට මේවා හොදය. එහෙත් එය එසේමද? නිදසුනක් ලෙස අධිවේගී මාර්ග පද්ධතිය ගනිමු. ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ගවල දිග කි.මී. 11697 කි. මේ සෑම අධිවේගී මාර්ගයක්ම ඉදිකිරීම සදහා ගල් වැලි හා පස් විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ ගල් වැලි හා පස් පිටරටින් ගේන්නේ නැත. ගත යුත්තේ මේ කුඩා රටේ භූමියෙන්මය. අධිවේගී මාර්ගයක කි.මී. 1 ක් සදහා දළ වශයෙන් පස් ඝන මීටර් 240000 අවශ්‍ය බව පරිසරවේදීහු පවසති. කි.මී. 11697 ක මාර්ගයක් තැනීමට මේ අනුව පස් ඝන මීටර කීයක් යන්නේදැයි ගණන් හදා බලන ලෙස අපි පාඨකයාට ඇරයුම් කරමු. එතරම් ගල් හා පස් ගැනීමට ගල් පර්වත කීයක් කඩන්නට වෙයිද? පස් කදු කීයක් කපන්නට වෙයිද? මුහුදු වැලි කොපමණ පොම්ප කරන්නට වෙයිද? මේ ඔක්කොම කරලා හමාර වන විට රටක් ඉතුරු වෙයිද? දැනට ඉදි කර ඇති අධිවේගී මාර්ග කීපය සමගද මතුවී ඇති පාරිසරික ප‍්‍රශ්න බොහෝය. පරිසරය ගැන නොසිතා කරන සංවර්ධන ව්‍යාපෘති නිසාම අද එක රැයක් හරියට වැස්සොත් කොළඹ නගරය ඇතුළු ඔය කියන බොහෝ නගර ගංවතුරෙන් යට වෙලාය.

කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ යෝජනාව ආවේ මීට අවුරුදු ගණනාවකට පෙරය. ඊට සුවිශාල විරෝධතාවක් ප‍්‍රදේශවාසීන්ගෙන් මතු විය. එබැවින් එය හකුළා ගන්නට එකල ආණ්ඩුවට සිදු විය. දැන් ඇත්තේ වෙනත් ආණ්ඩුවක් ය. ඒත් රනිල්ගේ යළි පුබුදමු ශ‍්‍රී ලංකා දැන් මහින්ද චින්තනය ඇතුළේය.

වාණිජ බෝග හා අපනයන බෝග වගාවට මුල් තැන බව කියද්දී එම වගා බිම් කෙරෙන්නේ කා යටතේද යන ප‍්‍රශ්නයද, සාම්ප‍්‍රදායික දේශීය ගොවියාට කුමක් වන්නේද යන ප‍්‍රශ්නයද මතු වන්නේය. පැලවත්තට සිදු වූයේ කුමක්ද? යන්න මෙහිදී පූර්වාදර්ශයකි. දැනටමත් CIC සහ DOLE සමාගම් සදහා අක්කර 65,600ක භූමි ප‍්‍රදේශයක් ලබා දී ඇති බව කියැවේ.

සාම්ප‍්‍රදායික ගොවිතැන අධෛර්යමත් වන තත්ත්වයක් තුළ ලංකාවේ ගොවියනට බහුජාතික සමාගම් යටතේ කෙරෙන බෝග වගා කටයුතුවල වැටුපට නියැලෙන්නට සිදුවනු ඇත. නියමිත කන්න වලට වගාකොට සැනසිල්ලේ සිටි ඔවුන්ට වාණිජ බෝග වගාව සදහා අදාළ සමාගම් වල සූරා කෑමට යට වන්නට සිදුවනු නියතය.

ජනතා විරෝධය නිසා තාවකාලිකව හකුළා ගත් මීගමුව කළපුවේ ව්‍යාපෘතිය තවත් නිදසුනකි. කළපුවේ මත්ස්‍ය සම්පතට වන හානිය පසෙක තබා එය කරගන්නට ආණ්ඩුවට තිබූ බලවත් වුවමනාව බොහෝ අයට අමතක නැතැයි සිතමි. මුළු රටම එකම සංචාරක පුරයක් බවට පත් කරන සැලසුම ජාතික භෞතික සැලැස්ම තුළම ඇත.

රට ජාත්‍යන්තර නාවික මධ්‍යස්ථානයක් වන විට සාම්ප‍්‍රදායික ධීවරයන්ට තමන්ගේ දැල් ආම්පන්න අකුළාගෙන ගෙදර යන්න සිදු වනු ඇත. බහු ජාතික ධීවර සමාගම් ඔවුන්ගේ තැන ගනු ගනු ඇත. ධීවර සහෝදරයන්ට ඔවුන් යටතේ වැඩ කරන්නට හෝ වෙන අතක් බලා ගන්න සිදු වනු නියතය. මේ කියන්නේ මේ සැලසුම ගැන උදාහරණයක් පමණි.

පරිසරවේදීහූ මෙහි ඇති භයානක කම ගැන හෙළිදරව් කරමින් සිටිති.

වෙස් මුහුණ හා සැබෑ මුහුණ

නොබෝදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති සංවාදයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් ඊට සහභාගී වූ නිශාන්ත වර්ණසිංහගේ කටින්් ”බළලා මල්ලෙන් එළියට පැන්නේය.” ඔහු එහිදී කියා සිටියේ ජාතික භෞතික සැලැස්ම හෝ වෙනත් ඕනෑම සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමේදී ඊට අදාළ ජනතාවගේ කැමැත්ත හෝ එකඟතාවය ලබා ගැනීම අවශ්‍ය නොවන බවය. දැන් රතුපස්වල උද්ඝෝෂකයින් හා අවට පාසල්වල දරුවනට වූ දේ පැහැදිලිය. හලාවත ඇන්ටනිලාට, කටුනායක රොෂේන්ලාට වුණු දේ පැහැදිලිය. මේ අවස්ථාවේදී ඊනියා ජාති හිතෛශීන්ගේ නිහඩතාවය අපට බොහෝ දේ කියන්නේය. රතුපස්වල සිද්ධියේදී බොදුබල සේනාවේ ගලගොඩ අත්තේ හිමියන්ගේ ප‍්‍රකාශයක් පිලිබඳ සිද්ධියක් මාධ්‍යය වාර්තා කළේය. එය මුළුමනින්ම බොරුවක් යැයි අපට නොසිතෙන්නේ ඔවුන්ගේ රාජ පක්ෂපාතීත්වයේ තරම වැටහෙන නිසාය.

ඇමරිකාව ඇතුළු ලෝක ආසියාතික බලවතුන් යුද්ධයට උදව් කළේ ගෝලීය ධනේශ්වර නව අධිරාජ්‍යවාදයේ වාණිජ උවමනාවන් සඳහා අවශ්‍ය පසුබිම සකසා ගන්නටය. රෙජීමය එය කළේ හුදෙක් තම බලය රැක ගැනීම හා වර්ධනය කර ගැනීම සඳහා ගෝලීය ධනේශ්වර උවමනාවන් සපුරාලීමටය.(එහෙත් ඔවුන් කියන්නේද, බොහෝ දෙනා සිතන්නේ ද ඔවුන් රට බේරා ගෙන ඇති බවය.) ලෝක බලවතුන් රනිල්ට වඩා මේ කාර්යය සඳහා රාජපක්ෂ රෙජීමයට ඇති හැකියාව හඳුනා ගෙන ඇත. බලවතුන්ගේ උවමනා එපාකම් සපුරාලනු පිණිස ”යළි පුබුදමු ශ‍්‍රී ලංකා” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වෙත වැඩම කළ භෞතික සැලැස්ම වෙනස් සළු පිළි ඇඳ ”මහින්ද චින්තනය” වෙත වැඩම කර ඇත.

රෙජීමය දේශ පේ‍්‍රමයේ වෙස් මුහුණු යොදා ගෙන ජාතිවාදී බල ව්‍යාපෘති තනමින් ද, කළමනාකරණය කරමින්ද ජාත්‍යන්තර බලවතුන්ගේ මන දොළ පුරවමින් සිටින්නේය. මුළු ලාංකීය ජාතියම එකම වෙළඳ සංස්කෘතියකට අන්තර්ග‍්‍රහණය කරවීමට නම් ජාතික හා සංස්කෘතික අනන්‍යතාවයන් අදාළ වෙළඳ සංස්කෘතිය තුළ දිය වී යා යුතුය. උතුරු නැගෙනහිර ඉඩකඩම් පවරා ගැනීම හා ජන සංයුතිය වෙනස් කිරීමේ ප‍්‍රයත්නයන් තුළින් දැන් අපූරුවට එය ඉටුවෙමින් පවතී. බාධකයකට ඇත්තේ මුස්ලීම් සංස්කෘතික අනන්‍යතාවයයි. ඒ සඳහා බොදු බල සේනා, රාවණා බලකාය, සිංහල රාවය වැනි සංවිධාන ද දැන් පෙරට එමින් සිටී. ගෝලීය බලවතුන්ගේ ව්‍යාපෘතිය සදහා වන රාජ්‍ය ව්‍යාපෘතියට බාධා නොවන පරිදි මුස්ලිම් සංස්කෘතික බලවේගය හීලෑ කිරීම සදහා මෙකී බලවේගයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රෙජීමයට මනා සහයක් ගෙන දේ. අවසානයේදී සිදු වනුයේ කුමක්ද? දෙමළ හා මුස්ලිම් සංස්කෘතික හා ජාතික අනන්‍යතාවයන් වැනසීමට සිංහල ජාතිකවාදී බලවේග කරන කාර්යභාරය නිසා ගෝලීය බල ව්‍යාපෘතිය තුළ සිංහලයා හුදකලා වීමය. එය සිංහල සංස්කෘතික අනන්‍යතාවයේද අවසානය වනු ඇත. අනාගත පරපුර මේ ජාතිකවාදී පක්ෂ බලසේනා හා බලකායන්ට ශාප නොකරාවිද?

අජිත් හැඞ්ලි ඇන්ටන් පෙරේරා
| Ajith Hadly Perera