වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ 7 කට අයත් වනාන්නතර අක්කර 61,860 ක් විනාශ කර ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා ඉඩම් ලබාදීම මහවැලි අධිකාරිය මගින් නීති විරෝධී ලෙස මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා වන රක්ෂිතවලින් ඉඩම් ලබා ගැනීම සිදු කර ඇත්තේ බලහත්කාරයෙනි. එපමණක් නොව සමහර වන රක්ෂිත, රක්ෂිත භාවයෙන් ඉවත් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන තිබේ.

වව්නියාවේ, කරුන්කාලිකුලම් වන රක්ෂිතයේ අක්කර 5000 ක් මේ වන විට මුළුමනින්ම විනාශ කර ජනතාව පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. හම්බන්තොට, මාතර හා ගම්පහ පදිංචි ජනතාව මේ රක්ෂිතය එළි පෙහෙළි කර මේ වන විට පදිංචි කිරීමේ කටයුතු සිදු කර තිබේ. මහවැලි අධිකාරිය, යුද හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලබයි. ඒ සඳහා සේවා ලංකා පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් විසින් නීති විරෝධී ලෙස මේ වනාන්තරයේ ජනතාව පදිංචි කිරීමේ ක‍්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම හා සේවා ලංකා පදනම හරහා යටිතල පහසුකම් සැපයීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතී.

මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීම සඳහා පදවිය වන රක්ෂිතය සම්පූර්ණයෙන්ම යොදා ගැනීමට මේ වන විට සැලැසුම් කර තිබේ. ඒ අනුව පදවිය වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 31,900 ක් එළි පෙහෙළි කිරීමට නියමිතව ඇත.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ 2013.01.18 වන දින අංක 1793/21 දරණ ගැසට් නිවේදනය යටතේ ප‍්‍රකාශයට පත් කළ පදවිය වන රක්ෂිතය මාස තුනකින් පසුව 2013.04.29 වන දින අංක 1808/04 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිත භාවයෙන් ඉවත් කර මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට ලබා දී තිබේ.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ සම්පත්නුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වනාන්තර ප‍්‍රදේශ දෙකක් මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට නියමිත ය. ගජබාපුර ප‍්‍රදේශයේ පිහිටි ආන්දම්කුලම් වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 700 ක් හා කිරිඉබ්බන් වැව ප‍්‍රදේශයේ පිහිටි වෙප්පම්කුලම් වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 2000 ක් සංවර්ධනය කිරීමට නියමිතය. මේ අනුව මහවැලි එල් කලාපය ලෙස ආරක්ෂිත වනාන්තර තුනකට අයටත් වනාන්තර අක්කර 34,600 ක් සංවර්ධනය කිරීමට නියමිතව තිබේ.

මැදිරිගිරිය – බිසෝපුර ප‍්‍රදේශයේ ආරක්ෂිත වනාන්තර තුනකට අයත් වනාන්තර අක්කර 22,260 ක් මහවැලි අධිකාරිය මගින් මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ජනතාව පදිංචි කිරීමට නියමිතය. ඒ සඳහා මේ වන රක්ෂිත තුළ මාර්ග ඉදිකරමින් ඉඩම් කැබලි කිරීම සිදු කරනු ලැබේ. මෙලෙස සංවර්ධනය කරනු ලබන්නේ රළපනාව වන රක්ෂිතය, වඩිනාවැව වන රක්ෂිතය හා ඇටඹ ඔය වන රක්ෂිතයි.

මහවැලි අධිකාරිය මගින් දැනට සංවර්ධනය කරනු ලබන හා සංවර්ධනය කිරීමට නියමිත ආරක්ෂිත වනාන්තර හතට අයත් වනාන්තර අක්කර 61,860 ම අලි ගැවසුම් වනාන්තර වන අතර වැව් හා ගංගාවල ජල පෝෂක වනාන්තරයන් ය. මේ වනාන්තර සියල්ල එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ ප‍්‍රදේශවල උග‍්‍ර අලි – මිනිස් ගැටුමක් වර්ධනය විය හැකිය. වාසස්ථාන එළි පෙහෙළි කර අහිමි කිරීමෙන් අවතැන් වන අලි – ඇතුන් ඒ ආශ‍්‍රිත ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් අලි – මිනිස් ගැටුමක් මේ සංවර්ධනය කරනු ලබන වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශවල අලූතින් නිර්මාණය වනු ඇත. මේ නිසා බොහෝ ජනතාවක් සංවර්ධනයේ අනාථයින් තත්ත්වයට පත් වෙමින් අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීම පමණක් මේ සංවර්ධන ව්‍යාපෘතිය හරහා සිදු වේ.

එපමණක් නොව සංවර්ධනය කරනු ලබන අලි – ඇතුන්ගේ නිජබිම්වල පදිංචි කරනු ලබන ජනතාව නිරන්තරයෙන් අලි – මිනිස් ගැටුමේ ගොදුරක් වනු නොඅනුමානය. ලංකාවේ අද වන විට වසරකට අලි – ඇතුන් 260 ක් පමණ මිය යන අතර මිනිසුන් 70 ක් පමණ ජීවිතවලින් වන්දි ගෙවති. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනීය තත්ත්වයකට පත් වීමක් මහවැලි අධිකාරිය මගින් මේ සිදු කරනු ලබන දැවැන්ත වන විනාශයත් සමඟ සිදු වනු නොඅනුමානය.

වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර ලෙස ගංගා හා වැව්වල ජල පෝෂක බිම් ලෙසින් පවතින මේ වනාන්තර මහ පරිමාණයෙන් එළි කර සංවර්ධනය කිරීමෙන් මේ ප‍්‍රදේශවල උග‍්‍ර ජල හිඟයක් ඇති වනු ඇත. ඒ තත්ත්වය මේ වනාන්තර ආශ‍්‍රිතව ජීවත් වන ජනතාවට අහිතකර ලෙස බලපානු ලැබේ.

ඊසාන දිග මෝසම් සුළං මගින් ගෙන එන වර්ෂාව පොළොවට ඇද ගැනීමේ යාන්ත‍්‍රණය නිසි පරිදි ක‍්‍රියාත්මක වන්නේ මේ ඝන වනාන්තර වැස්ම හේතුවෙනි. එපමණක් නොව එම වර්ෂාව නිසි පරිදි භූගත කිරීම හා පාංශු ඛාදනය අවම කිරීම සිදු වන්නේ මේ වනාන්තර වැස්ම හේතුවෙනි. නමුත් මේ අති විශාල වනාන්තර එළි කිරීම හේතුවෙන් වර්ෂාව පොළොවට ඇද ගැනීමේ යාන්ත‍්‍රණය ඇන හිටීම පමණක් නොව, ලැබෙන වර්ෂාව නිසි පරිදි භූගත නොවීම හා උග‍්‍ර පාංශු ඛාදන තත්ත්වයන් හේතුවෙන් ගංගා හා වැව් රොන්මඩින් පිරී යාම සිදු වේ. එපමණක් නොව නියං සමයේ දී පසේ ඇති ජලය ඉක්මනින් වාෂ්පීකරණය වී භූගත ජල මට්ටම සීග‍්‍රයෙන් අඩු වී පානීය ජල අර්බුද හා වගා ජල අර්බුදවලට මේ අවට ජනතාවට දැඩි ලෙස මුහුණ දීමට සිදු වනු ඇත.

මහවැලි අධිකාරිය මගින් සිදු කෙරෙමින් පවතින මේ දැවැන්ත වන සංහාරය හා සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ වන සංරක්ෂණ ආඥා පනත හා ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝනය කරමින් වන රක්ෂිත එළි පෙහෙළි කිරීම සිදු කරනු ලබයි. මේ ආඥා පනතට අනුව වන රක්ෂිතයකට අනවසරින් ඇතුළු වීම, රැඳී සිටීම, ගස් කැපීම, වනාන්තර එළි කිරීම, වගා බිම් ඇති කිරීම, පාරවල් තැනීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදි කිරීම හා ඒවායේ පදිංචි වීම නීති විරෝධී ක‍්‍රියාවකි. මේ නීති විරෝධී ක‍්‍රියා සියල්ලම මහවැලි අධිකාරිය මගින් සිදු කරයි. මේ වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ සඳහා ආධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයකු වරදකරුවකු වෙයි. එවන් තැනැත්තෙකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 කට නොඅඩු හා ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දණ්ඩනයන් දෙකටම යටත් කළ හැකිය. එපමණක් නොව අදාළ රක්ෂිත වනාන්තරයට සිදු කරන ලද හානිය වෙනුවෙන් අධිකරණය විසින් නියම කරන ලද වන්දි මුදලක් දඩ මුදලක් ලෙස ගෙවීමට ද යටත් කළ හැකිය.

මෙම ආඥා පනතේ 20 වන වගන්තියට අනුව පාලනය වන රජයට අයත් වෙනත් කැලෑ ඉඩම් ලෙස පවතින යෝජිත රක්ෂිත වනාන්තර බිම්වල සිදු කරන දැව හෙළීම, වනාන්තර එළි පෙහෙළි කිරීම, ජනාවාස ඇති කිරීම, පාරවල් තැනීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම යන සියල්ල නීති විරෝධී වේ. නමුත් මහවැලි අධිකාරිය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වෙනත් කැලෑ බිම් සියල්ල එළි පෙහෙළි කිරීම හා සංවර්ධනය කරමින් ජනතාව පදිංචි කිරීම සිදු කරනු ලබන්නේ උක්ත නීති සියල්ල උල්ලංඝනය කරමිනි. එවන් නීති විරෝධී ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු හෝ ඊට අනුබල දෙන පුද්ගලයකු වරදකරුවකු වන අතර එවන් අවස්ථාවක දී රුපියල් 5000 කට නොඅඩු හා 50,000 නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දණ්ඩනයන් දෙකටම යටත් කළ හැකිය. ඊට අමතරව එම වනාන්තරයට සිදු කරනු ලැබූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් දඩයක් ලෙස නියම කිරීමට ද හැකියාව ඇත.

රාජ්‍ය ආයතනයක් විසින්ම මේ නීති විරෝධී ක‍්‍රියා සිදු කරද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට එරෙහිව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම කණගාටුව කරුණකි. එපමණක් නොව මෙය වන සංරක්ෂණ ආඥා පනත හෑල්ලූවට ලක් කිරීමක් හා වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි. අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කළ මේ වනාන්තර හිතුමනාපයේ මේ අයුරින් සංවර්ධනය කිරීමට ඉඩදීම මගින් සිදු කර ඇත්තේ ලංකාවේ සමස්ථ අනාගත පරපුරම වැනසීමට වත්මන් පරපුර ක‍්‍රියාත්මක වීමකි.


[මෙම ඡායාරෑප විශාල කර නැරඹීම සදහා ඒ මත ක්ලික් කරන්න]

2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි (අක්කර 2.5 ක්) වනාන්තරයක් එළි පෙහෙළි කර සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් එකවර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීමේ ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ යුතුය. නමුත් මහවැලි අධිකාරිය මගින් මේ නීතිමය ප‍්‍රතිපාදනයන් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මේ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනු ලැබේ. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය හෝ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හෝ ඊට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් මේ වනතුරුත් ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.

මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ අප රටේ වියළි කලාපය කාන්තාරයක් බවට පත් කර කාලගුණික හා දේශගුණික විපර්යාසවල දැවැන්ත ගොදුරක් බවට එම ප‍්‍රදේශවල වෙසෙන ජනතාව පත් කිරීමය. ඒ තත්ත්වය පිටු දැකීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මේ හානි කර ක‍්‍රියා කඩිනමින් නතර කිරීමට ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇත.

Sajeewa Chamikaraසජීව චාමිකර | Sajeewa Chamikara [පරිසර සංරක්ෂණ භාරය]