Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

සුනාමී රාජපක්ෂ


විමුක්තිය නමැති වෘක්ෂය දේශ හිතෛශීන්ගේ සහ ක්‍රෑර පාලකන්ගේ රුධිරයෙන් කලින් කලට අළුත් වීම අවශ්‍යය
– තෝමස් ජෙෆර්සන්

එය මීට නව වසරකට පෙර සිදු වූ ඉතිහාසයේ බරපතලම ස්වභාවික විපත ලෙස හැඳින්වේ. සිදුවීමට පෙර නම පවා නොදැන සිටි බොහෝ දෙනෙක් සිදුවීමෙන් පසු නම ඇසුණු සැනින්ම කලබල වීමට පටන් ගත්හ. සංසිද්ධිය අත්දැකීමක් සමඟම විෂය සමඟ අතිපිහිත වූ කල්හී යථාර්තය පිළිබඳව වැටහීමක් ලබා දෙනු ලබන්නේ එය එනම් විෂය තවදුරටත් කාල්පනික ලෝකයට සීමා නොවන හෙයිනි. එම සුදුවීම හරහා නැත්තටම නැති වූ අයද, සිදුවීම විෂය කොට ගනිමින් රිසි සේ මුදල් හම්බ කළ අයද විශාල වශයෙන් සිටියහ. ලංකාවේ පමණක් නොව සිදුවීමට ගොදුරු වූ සෑම රටකම එය ඒ ආකාරයෙන්ම සිදුවිය.

ලංකා ඉතිහාසයේ සිදු වී ඇති දෛවෝපගත ඛේදවාචකය සිදු වී වසර නවයකට පසු එය ලංකාවේ දේශපාලනයට බලපෑම් කොට ඇත්තේ කෙසේද?

කුවේණි සහ ඊට පෙර ඉතිහාසය කුමන හේතුවකින් හෝ සඟවා තබා තම ගෙදරින් කොණ්ඩය භූගා එළවා දමන විජය නම් හිතුවක්කාරයෙකු මුලික කරගනිමින් ගොඩ නගනු ලැබූ ඉතිහාසය ගෙන බැලුවද, සුනාමිය වූ කලී ඉතිහාසයේ බරපතලම ස්වභාවික හිංසනය ලෙස සැලකේ.

සිද්ධිය සිදුවී දින කිහිපයකට පසු ලංකාවට පෙර කිසිම කලෙක නොවූ ආකාරයෙන් අවධානය ලැබුණු අතර ඒ හරහා ලැබුණු ආධාර අතිශය විශාල විය. දේශපාලන කල්ලි වාදයෙන් සහ පවුල්වාදයෙන් ඔබ්බට ගිය දේශපාලන සංස්කෘතියක් අපට තිබ්බෙනම් පීටොම්ස් තබා හෙල්පින් හම්බන්තොටවත් හැදෙන්නේ නැත. නමුත් හොරාකෑම සහ මංකොල්ලකෑම පුරුද්ද වී ඇති දේශපාලන සංස්කෘතියක සෑම සිදුවීමක්ම එහිම ගොදුරක් වන අතර එමඟින් සිදුවන්නේ මංකොල්ලකෑම සඳහා කලබැගෑනි ඇතිකර ගැනීම පමණි. එය දේශපාලනය ලෙස වරදවා වටහා ගැනීමක් ලංකාවේ පොදුවේ දක්නට ලැබේ. සැබවින්ම ලංකාවේ කාලාන්තරයක් තිස්සේ සිදු වූයේ එයයි. සිදුවෙමින් පවතින්නේද එයයි. රාජපක්ෂ ප්‍රචාරණ ව්‍යාපෘතියේ ඉහළින්ම සිටි ඇතැම් ගොබෙල්ස් වරුන් හිටි අඩියේ සියදිවි නසා ගැනීමට තැත් දරන්නේ එනිසාය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කළ ආකාරයෙන් රාජපක්ෂට අනෙකා වූ කලී, විෂයක් පමණි. එය පාවිච්චියට මිස වෙන කිසිවකට වැදගත් වන්නේ නැත. මෙම ප්‍රවණතාවය හමුවේ, ඔබේ පැවැත්ම තහවුරු වන්නේ, ඔබ කෙතරම් දුරට යටත් වීම සඳහා මෙන්ම අනුමත කරන බව පෙන්වීම සඳහා දක්ෂ වන්නේද යන්න මතය.

වසර නවයක් ඉකුත් වූ තැන දක්නට ලැබෙන්නේ කුමක්ද?

හෙලිපින් හම්බන්තොටේ නිර්මාතෘන් ලංකාවේ දේශපාලන සුනාමියක් ඇති කොට තිබේ. දේශපාලන පකෂවලට තිබු පිළිගැනීම සහ බලය අභිබවා තනි පවුලක් බලය හැසිරවීම අතට ගෙන තිබේ. පැවැත්ම වෙනුවෙන් එක්කෝ “බොරු” දේශපාලන පැහැයක් තෝරාගෙන බලය හසුරුවන්නාගෙ දෙපා ලෙවකෑ යුත්තේය. එක්කෝ සියල්ල දෙස බලා හිතින් විඳවමින් නිහඬව කල් ගෙවිය යුත්තේය. ලංකාවේ සෑම තැනකම සිදු වී ඇති මෙම තත්වය හමුවේ සිදුවෙමින් පවතින විපර්යාසය නම්, බලය හසුරුවන මුලිකයාගෙන් වියුක්ත වී එය, එහි අංකුර වෙතට තල්ලු වෙමින් තිබීමයි. එය එක්කෝ මුලිකයාගේ විනාශයට හේතුවිය හැකිය. නැතහොත් රටේ සම්පූර්ණ විනාශය සඳහා හේතු විය හැකිය. කොටදෙනියාවේ සිදුකළ අසරණ මිනිසුන් මරාදැමීම වැනි සිදුවීම් එහි සාමාන්‍ය සිද්ධීන් පමණි.

එසේම, බලය විසින් උන්මන්ත කරනු ලැබූ උතුරු කොරියාවේ කිම් ජෝන් උන් හැසිරෙන ආකාරයේ සිද්දීන් අනාගතයේදී ලංකාවෙන් වර්තා වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. රාජපක්ෂ විසින් සිදුකළ ඛේදවාචක වලින් ඇතිවී ඇති ප්‍රතික්‍රියා රාජපක්ෂට නොපෙනී අභ්‍යන්තරයෙන් බොහෝ දෑ සිදුකරමින් පවතී. එය නොපෙනෙන නොදැනෙන යථාර්ථයක් වන අතර විනාශ වන තෙක් එහි හැඩරුව අවබෝධ නොවීම එහි ඇති ගති ලක්ෂණය වේ.

මෙම තත්වය ක්‍රමයෙන් විස්තාරණය වෙමින් පවතින අතර එහි වන්දිය සහ ප්‍රතිඵලය කුමන ආකාරයක් ගනු ඇතැයි අනුමාන කළ නොහැකිය. නැති දෙයක් ඇති දෙයක් ලෙස පිළිගැනීමට පෙළම්භවීම වර්තමාන රාජපක්ෂ ප්‍රචාරණ ව්‍යාපෘතියේ එකම අරමුණය. බෙදාගෙන හොරා කෑම නමැති රාජපක්ෂ දේශපාලන ක්‍රමෝපාය ව්‍යාප්ත වී ඇත්තේ මෙම භූමිකාව තුළය.

සුනාමියේ ගොදුරු බවට පත්වූ අය මුවාවෙන් තනාගත් හෙල්පින් හම්බන්තොට වෙනුවට, ඉතාමාත් සුළු කාලයකදී රාජපක්ෂට මුහුණ දීමට සිදුවන යථාර්තය වන්නේ, “හෙල්පින් රාජපක්ෂ” තනාගෙන මැදමුලන රැක ගැනීම සඳහා සටන් කිරීමටය.

නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa

Image Credit: http://www.lankastandard.com/vault/helping-hambantota-investigation/