අසීරුවෙන් වුව සීරුවෙන් 2013 අවසන් වෙමින් තිබේ. අවසන නොදන්නා බියකරු සිහිනයක් මෙන් 2014 එළැඹීමට නියමිතය. පුරුද්දට මෙන් සුබ පැතුම් පත්, කෙටි පණිවිඩ, සයිබර් කේතයන් හුවමාරු කරගනු විනා “නව වසර සුබ වීම” හදවතින් පැතිය හැක්කක් නොවේ. පෘථිවිය විසින් කරන අනවරත භ්‍රමණ පරිභ්‍රමණ හරඹයන්ට වඩා, ලාංකිකයාගේ 2014 සුබ වන්නේදැයි සැකයෙන් වුව විමසා බැලිය යුතුය.

සැකෙවින් කිවහොත් 2013 යනු රාජපක්ෂගේ සංවර්ධන උමතුවේ වසරකි. එපමණය.

රාජ්‍ය අධ්‍යාපන අවස්ථා කප්පාදු කොට පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත විය. පැකර් රෙජීමයේ දකුණත වෙද්දී බොදුබල රාවණා සේනා ආණ්ඩුවේ දෑත ශක්තිමත් කරති. එමෙන්ම නැති වාර්ථා පෙන්වන මහ බැංකුවක්, 7500කින් ජීවත් වීමට උගන්වන ඇමතිවරයෙක්, නැව් නේන වරායක් අතර තන්ත්‍රයක් නැති ප්‍රජාවක්ද අප සතුය. ඒ අතරේම වියදම නිශ්චිත නැති චෝගම් මංගල්ලයේ අස්පස් කිරීම් 2014ටත් ඉන් තව ඈතටත් ඉතුරුය.

ලාංකිකයාට 2014 ලබන්නේ දුමින්ද සිල්වලා නිදැල්ලේ සරද්දීය. නිමලරූබන්ගේ අම්මා අඬද්දීය. ලලිත්-කූගන්ලා නොදැකමය.

සංඛ්‍යාවෙන් කුඩා ආගමික,දේශපාලනික,සංස්කෘතික ලාංකිකයාට “සුළු” වීම හෙවත් “මහා” නොවීම නිසා ද අමතර උවදුරු රැසකට මුහුණ පාන්නට සිදුවනු ඇත. යාපනයේ ජනයාගේ ඉඩම් කොල්ල කා රජ මැදුරු ඉදි කිරීම 2014 දී සුබ වනු ඇතිද?? දෙමළ බස භාවිතා කරන්නාට දෙමළ වීම නිසාම ඇති ගැටළුව 2014 දී සුබ දිසාවකට යනු ඇතිද??

ඒ අතරේම යමක් සිහිවේ.

2014 ලබන්නේ වතුර වෙනුවට උණ්ඩ දුන් මෙහෙයට තුති පුදා බැනර් එල්ලූ නිර්ලජ්ජිත ජනතාවකටය. ස්වකීයයා මැරූ පාලකයන් සමඟ ඡායාරූපවලට විරිත්තූ ජනතාවකටය.

සියලු විපරීතයන්ට මැදි වූ වර්තමානික ලාංකිකයාට සුබ යැයි පතන්නට නව වසරක් මා ලඟ නම් නැත. “සුබය” යන්න සිද්ධාන්තයක් වූ මෙ-සිරි ලංකාවේ සුබ නව වසරක් පැතිය නොහී. එය සුබ අනාගතයක් කියාගන්නවාට වඩා විසල් විහිළුවකි. 2014 යනු පෘථිවිය විසින් හිරු වටා යන සදාකාලික ගමනේ එක් වටයක් හමාර කිරීමකි. රාජපක්ෂ රෙජීමය තුළ “යුක්තිය වූ කලී ශක්තිය වේ” යන්නට තව දවස් 365ක් එක් වීමකි. එපමණය.

අසුබ වුව නව වසර නෑවිත් නොතියෙන්නේය.

සංජුලා ඕෂිණී | Sanjula Ohini

* Image Credit : facebook