මිත්‍යාවන් පොදු සිහිනයන්ය, සිහින පෞද්ගලික මිථ්‍යාවන්ය

– ජෝශෆ් කැම්බෙල්

අළුත් අවුරුද්ද උදා වී පැය කිහිපයක් ගත වී ඇත. වසරක් ගෙවා දැමීය. වසරේ මිනිසුන්, වසරේ සත්‍රීන්, වසරේ සත්වයින් ගැන බොහෝ දෑ මේ වනවිටත් ලියා ප්‍රසිද්ධ කොට ඇත. ජනාධිපති ඔබාමාගේ දෙවැනිවර දිවුරුම් දීම මෙන්ම එඩ්වර්ඩ් ස්නොඩන් ඇමෙරිකානු ඔත්තු සේවාව පට්ට ගැසීමේ සිට දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය මෙන්ම ලෝකයේ ලාබාලතම රාජ්‍ය එනම් දකුණු සුඩානයේ ඇති වූ ගැටුම් දක්වා වූ සිද්ධීන් රැසකින් සමන්විත වූ 2013 වසර නිමා වී 2014 ලැබී පැය කිහිපයක් ගත වී තිබේ.

ලංකාව විෂයෙහිලා, බහුතරය ගැන සැලකීමේදී එය, දේශහිතෛශීන්ගේ ප්‍රමෝදයේ තවත් වසරක් නිමා විය. සුළුතරයට අනුව අතුගාදමනු ලැබූ කොටි සංවිධානය වෙනුවට රාජ්‍ය අනුග්‍රය යටතේ නව ආකාරයක මිලිටරි ත්‍රස්තවාදයක් ව්‍යාපාත වී ඇත. කොටින්ගේ කප්පම් වෙනුවට හමුදාවේ කොමිස් ව්‍යාප්ත වී ඇත.

බහුතරය, සිදුවීම් රැසක් මෙන්ම අසමත්වීම් රැසක් සිදු වුවද එය තම අභිමානය ලෙස අර්ථනිරූපනය කරමින් මොළය ශෝධනය කරගෙන ඇත. අභිමානයෙන් පිරුණු ඔලුගෙඩියකට දැනුමට ඉඩක් නැතැයි, යනු අප්‍රිකානු පිරුළකි. ලංකාවේ බොහෝ දෙනෙකුට යුද්ධයෙන් පසු මුහුණදීමට සිදු වී ඇති සත්තාව එයයි.

නැති දෙයක් නැතැයි පිළිගනු වෙනුවට එය ඇතැයි සිතා නැතැයි කියන්නාට වෛරකරමින් ඔහුව හෝ ඇයව දේශද්‍රෝහීන් කරනු ලබයි. එය අඥාදායකයාගේ වාසියටම හේතුවේ. එමඟින් අඥාදායකයා නිදොස්කොට නිදහස් කරනු ලබයි. නව වසර ඔහුට උදාවන්නේ එම පරිසරය තුළය.

වසරේ මුල් දවස වූ කලී බලාපොරොත්තුවේ දවසයි. බොහෝ දෙනෙක් ශුභ දෑ වනු දැකීමට, ඇසීමට, කතා කිරීමට මෙන්ම තම හිස් මුදුනේ සිට පාදය දක්වා වූ සර්වාංගය පුරාම වැතිර පවතින සිහිනවලට නව සිහින එකතු කරනු ලබන්නේත්, වසර සඳහාම දීර්ඝ කාලින සැලසුමක් සකස් කරන්නෙත් අද වැනි දිනකය.

සිහිනය විසින් තනන ලෝකය සත්තාව හමුවේ ගැටලුකාරී වේ. එය කවුරුත් දන්නා ප්‍රථමික නෛතිකයකි. සිහිනය ජීවිතයට අතවශ්‍ය යයි ප්‍රකට ඇමෙරිකානු ලේඛිකාවක වන අනෙයිස් නින් කීවාය. නමුත් ප්‍රකට මනෝ විශේෂඥයකු මෙන්ම කලක් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සගයෙකු වූ, කාල් ජුන් සඳහන් කළ පරිදි ,“ තමාගෙන් පිටත ලෝකය සොයන්නා සෑම විටම සිහින දකියි, තමා තුළට එබී බලන්නා අවධි වෙයි.” ජුන් සමඟ එකඟ වීමට බොහෝ දෙනෙකුට සාධාරණ හේතු තිබේ.

පැවති දෙයම යළි සිදුවුව ද, සංකල්පීය සහ සංඛ්‍යාත්මක ලෝකය හමුවේ සිදුකරන වෙනස්කම් මඟින් හූරාකන වෙළඳපොල අළුත් කර වෙනස් පැහැයකින් එයම ඉදිරියට ගෙන යනු ලබයි. එය අපි නව වසරක් යයි කියනු ලැබේ.

දේශපාලනයේද සිදුවන්නේ එයයි. නව වසර උදා වූ පමණින් රාජපක්ෂ බලය අත්හරින්නේ නැත. ඔහුගේ වෙළඳපොල බිඳ වැටෙන්නේද නැත. සිදුවන්නේ ඔහුගේ තීන්දු තීරණ හේතුවෙන් රටකට ඇතිවන පිළිගැනීම, මෙන්ම ගරුත්වය ක්‍රමයෙන් නැතිවී ඒ වෙනුවට අනුකම්පාව සහ සැකය අතිපිහිත වීමයි. ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයට ඇති වටිනාකමින් එය තේරුම් ගත හැකිය. මෙම ලේඛකයා මීට පෙරද සඳහන් කළ පරිදි , රාජපක්ෂ මෙතරම් ණය සම්භාරයක් රැගෙන සිටින චීනයටද යෑම සඳහා අතිශය බරපතල සේම තද රෙගුලාසි සැපිරිය යුතුය.

බුරුම ආණ්ඩුව මෙන්ම උතුරු කොරියානු ආණ්ඩුව සිදු කරනු ලැබුවේද මෙයයි. උතුරු කොරියාව හිතුවක්කාරී පාලකයෙකු වන කිම් ජෝන් උන් යටතේ, දිනෙන් දින විනාශයට ඇද වැටෙන අතර පෙර පැවති නොමනාකම් වලින් බුරුම ආණ්ඩුව ගැලවීමට යන්ත දරයි. බුරුම ආණ්ඩුවට ලෝකයෙන් හුදෙකලා වී දැඩි වන්දියක් ගෙවීමට සිදු විය. තවදුරටත් පැවතී මර්ධනය පාලනයේ ක්‍රමවේදය ලෙස රැගෙන යා නොහැකිය. එහි එක කදිම උදාහරණයක් වන්නේ, පසුගිය දෙසැම්බර් 30 වෙනිදා ආණ්ඩුව විසින් නිකුත් කළ 51/2013 නමැති නියෝගයයි. එම නියෝගයට අනුව එහි රඳවාගෙන සිටි සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. එක් බුරුම දේශපාලන සිරකාරිනියක් පසුගිය වසරේ නිදහස් වීමෙන් පසු මෙම ලේඛකයාට හමු වීමට හැකිවිය. ඇය සිදුකළ වරද වූයේ, අන්තර්ජාලයට පිවිස විද්‍යුත් තැපෑලක් තම මිතුරියකට යැවීමය, ඒ ගැන සැක සිතූ ආරක්ෂක අංශ, ඊට වන්දිය ලෙස බුරුම අධිකරණය මඟින් වසර තුන්සීයක සිර දඬුවමක් ඇයට ලබාදුන්නේය. වසර පහක් පුරා සිරගතව සිටි ඇය, සිදු වූ ක්‍රමික දේශපාලන වෙනස් වීම් හේතුවෙන් නිදහස ලැබුවාය. කෙසේ වෙතත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වූ නවතම නියෝගය පවතින ගැටලු වලට තිර විසඳුම නොවුවද, පිළිගතයුතු මට්ටමේ ශුභවාදී නැමියාවකි. සෑම ආණ්ඩුවකටම පැවතීමට අවශ්‍යනම් මෙම ඇත්ත තේරුම් ගැනීම අත්‍යවශ්‍යය.

ලෝකයේ බොහොමයක් දූෂිත රාජ්‍යන් ගනු දෙනු කිරීම සඳහා එවැනිම වූ දූෂීත පුද්ගලයින් සිටින දූෂිත ආණ්ඩු සෙවීම සාමන්‍ය ක්‍රමය වේ. රාජපක්ෂ දිනාගත් යයි කියන චීන වෙළඳපොලේ ඇති නීරස ඇත්ත වන්නේ එයයි.

ගෝලීය වශයෙන් සිදුකරන කොන් කිරීම සහ අනෙකුත් මට්ටමේ නිගරුකිරීම් වලට මූලිකවම වග කිව යුත්තේ රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඊට දෙමළ ඩයස්පෝරාව හෝ වෙනත් කණඩායම් වලට චෝදනා කිරීම විහිලු සහගතය. ඕනෑම රටක සිදුවන ඛේදජනක සිදුවීම් වලින් වාසී ලබා ගැනීමට හෝ තම අයිතීන් දිනාගැනීමට කණ්ඩායම් නිර්මාණය වීම ස්වභාවිකය. 1948 ඊශ්‍රායලය නිර්මාණය වීමේ සිට ප්‍රථම අප්‍රිකානු ඇමෙරිකානු ජනධිපතිවරයා ලෙස බරක් ඔබාමා පත්වීම දක්වා වූ සිදුවීම් ඇති වූයේ ඒ නිසාය. ලංකාව එම තත්වයට ඇද දමා ඇත්තේ බුද්ධිමතුන් වෙනුවට දේශපාලන පන්දම්කාරයින් රටේ අතිශය තීරණාත්මක සේවාවන් සඳහා පත් කොට ඒවා හෑල්ලූ කිරීම නිසාය. එය මීට පෙර සිදු වූ දෑ ලෙසත් තම ධූර කාලයේද එය ස්වාභාවික බවත් තම අකටයුතුකම් රට ඉදිරියේ සාධාරනීකරණය කිරීම සඳහා රාජපක්ෂ මෙන්ම ඔහුගේ අනුගාමිකයින් භාවිතා කරන තර්කය වේ. නමුත් එය ලෝකයට වලංගු නැත.

මෙම වටපිටාව සමඟ ලංකාවට 2014 වසර දැවැන්ත අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන මෙන්ම ආර්ථිකමය වශයෙන් තව තවත් ප්‍රපාතයට ඇදවැටීමේ ප්‍රභල අවධානමක් තිබේ. එය හැකිතරම් සඟවා තබමින් රාජපක්ෂට සිදුකරන දේශපාලන සෙල්ලම කළ හැකිය. ඔහු මෙම වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහාද තම යුධ ජයග්‍රාහී සිංදුව ගායනා කරමින්, රටට එරෙහිව ඇති බරපතල “කුමන්ත්‍රණය” ගැන කියනු ඇත. ඒ අතර විවිධ මට්ටමේ රැඟුම් රඟපානු ඇත. ඔහුට කිසිඳු ගැටලුවක් නැත, අය වැය ඔහුට සහ ඔහුගේ පවුලට අවශ්‍ය ආකාරයෙන් සකස් කරගෙන අනුමත කරගෙන නීතීගත කොට ඇත. තම ගුණ වැයීම සඳහා විවිධ මට්ටමේ පිරිස් ස්ථානගත කොට ඇත. එය ඔහුගේ ව්‍යාපෘතියය. නමුත් එය ලංකාවේ ව්‍යාපෘතිය නොවේ. ගැටලුව ඇත්තේ රාජපක්ෂ නොවන කෙනාටය. රටේ ගැටලුව පොදු ගැටලුවක් සේම, තාමගේ ගැටලුවක් ලෙස දකින කෙනාටය.

අපි සිහින දකිමු, ඒ සිහින වලින්ම වින්දනය ලබමු, ඒ වින්දනයම ප්‍රමෝදය යයි තේරුම් ගනිමින් ඊට විවේචකයාට ඒමට ඇති ඉඩ නැතිකොට දමමු. අඩුතරමින් ඔහුව දේශද්‍රෝහියෙක් කරමු. එවිට ඔහු අපේ සිහින වලට අත නොතබනු ඇතැයි සිතමු. ඒ සිහින අපි අපේම විතරක් කරගමු. ප්‍රමෝදයේ කෙලවර තාවකාලික එපාවීම වන හෙයින් අපි එම එපාවීමට එන්න එපා කියමු. සිහිනය තුළම එල්බ ගනිමින් මැරී යමු. මන්ද අවදිවීම මඟින් ඇතිවන්නේ මානසිකව හෝ ලබන දේ නැතිවීම වන හෙයිනි. අපි ඒ නැතිවීමට බිය ය.

2014 වසරේ මුලික අභියෝගය සිහිනය ද සත්තාව ද යන්න ප්‍රායෝගික මට්ටමට ගෙන යාමය. එය දේශපාලනීකරණය කිරීමය.

නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa