මේ අවුරැද්දෙත්, ගිය අවුරැදුවල වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්(ඒකේ එහෙම තිබුණා.President Mahinda Rajapaksha කියලා) අදහස භාෂා තුනෙන්ම අලුත් අවුරැදු සුභපැතුම් කියලා SMS පණිවිඩයක් ඇවිල්ලා. නමුත් පසුගිය අවුරැදුවල වගේම හරියටම දැන ගන්න බෑ. ඒකේ විස්තරයක්. ඇයි මම එහෙම කියන්නේ? 1. ඒකට රිප්ලයි කරන්න බෑ. 2. President Mahinda Rajapaksha කියලා තිබුනට අන්තර්ජාලය, ජංගම දුරකථන වලට ලංකාවේ දී සිදුවන දේවල් එක්ක විශ්වාස කරන්න බෑ. 3.ඇත්තටම අපිට ගොඩක් වෙලාවට සුභ පතන්නේ අපි දන්න අය, මේ ලියන මම දන්නවා පුද්ගලිකව මම ජනාධිපතිතුමා මූණටවත් හමුවෙලා නෑ. ටීවී එකෙන්, වෙබ් අඩවිවල ඡායාරෑප, වීඩියෝ වගේ එවාගෙන් ඇරෙන්න. ඒනිසා මම ජනාධිපතිතුමාවත්, ජනධිපතිතුමා මාවත් අදුනන්නේ නැති බව මට හොදට විශ්වාසයි. නමුත් සුභපැතීම් එනවා. කොහොම උනත් යමෙකුට කියන්න පුලුවන්. ‘ඉතින් යකො හොදයි නේ‘ කියලා. මම කියන්නේ එහෙම හොදයි මෙහෙම උනානම්.

Bc3iNyJCUAAg3Mq

මොකද්ද?

අඩුම තරමේ මට ජානාධිපතිතුමාට(එම SMS එක සත්‍ය නම්) ප්‍රතිචාර දැක්විය හැකිව තිබුනා නම්. මට ඔහුත් සමග ගනුදෙනු කරන්න තිබුණා. අයෙත් ප්‍රශ්ණයක් එන්න පුලුවන්. එතකොට මෙම SMS එක අවම ලංකාවේ ලක්ෂ 50කටවත් යැව්වා නම් ඒ ලක්ෂ 50ටම කොහොමද මේක කරන්න දෙන්නෙ කියලා. නැත. වුවමනාවක් ඇත්නම් එය එසේ කළ හැකිය. උදාහරණයක් ලෙස, ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සම්මේලනයකට සහභාගී වීම සදහා, පසුගිය වසරේ අවසාන භාගයේ නිව්යෝක් නුවරට ගොස් සිටින විට, නිව්යෝක් සිට ‘ජනාධිපතිතුමාගෙන් අහන්න‘ යනුවෙන් Twitter හරහා #AskMR ඛේතය භාවිතා කරමින් පැය දෙකක් ජනාධිපතිවරයා විසින් පිළිතුරැ ලබා දීමට උත්සහයක් ගත්තේය. එසේ, මෙයත් යම් කිසි කාල සීමාවකට කල හැකි බවයි මෙම ලියුම්කරැගේ අදහස. එසේ නොකරන්නේ නම් එයට ඇත්තේ වෙනත් හේතුන් බව මේ දූපතේ සිහිබුද්ධියෙන් ඉන්නා ඕනෑම කෙනෙක් දන්නා කරැණකි. අනෙක කවුරැන් හෝ වෙනත් කෙනෙක් පුද්ගලිකව භාවිතා කරන දුරකතනයකට ප්‍රතිචාර(Reply) දැක්විය නොහැකි ලෙස ‘බලය‘ භාවිතා කරමින් කුමක් හෝ එවනවා නම් එක් අතකට එම සංනිවේදන උපකරණයට අනවසර, අනවශ්‍ය, ආචාරධාර්මික නොවන පිවිසීමක් හැටියට තමයි ශිෂ්ඨ සමාජයේ මේ වන විට සාකච්ඡා වෙමින් තිබෙන්නේ.

දැන් අනිත් එක තමයි කිසියම් දුරකතනයට කුමන හෝ තැනකින්, කුමන හෝ අංකයකින් වොයිස්, ටෙක්ස්ට්, වීඩියෝ හරි මොනවා හරි එන තැන දැන ගන්න අයිතියක් තියනවා. අනිත් එක දියුණු සන්නිවේදන වල තියන වඩා දියුණුම ක්‍රමය තමයි ක්ෂනිකයෙන් ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව. නමුත් මේ SMS එක ඒ සියල්ලම වාරණය කරලා. NO Numbers/No Reply.(ඉංග්‍රිසි වැරදි නම් සමාවෙන්න!)

අනිත් දේ තමයි දුරකතනයට එන පණිවිඩයේ එන තැනැත්තාගේ දුරකතන අංකය දර්ශණය වීම. එයත් මෙහි නැත. ඒ වගේම කිසියම් කෙනෙක් කැමති නැති දුරකතන අංක වලින් එන ඇමතුම්, SMS බ්ලොක් කිරීමේ හැකියාවක් සියලුම දුරකතන සමාගම් විසින් තමන්ගේ සේවා දායකයන්ට ලබා දීලා තිබෙනවා. දැන් කෙනෙකුට අවශ්‍ය නම් එන SMS බ්ලොක් කරන්න හැකියාවක් පවතිනවා. ඒත් මෙම ‘පැතුමට‘ කරන්න බැරි බවයි ඇතැම් සේවා සමාගම් නිළ නොවන විදිහට පවසා ඇති බව ලියුම්කරැට දැනගන්නට ලැබී තිබුණේ.

දැන් මේ සියලු දෙයින් බලන් ගියපුවහම මෙහි ඇත්තේ ‘පැතුම‘ පමණයි. අන් කිසිදු දෙයක් නැත. එම නිසා මෙය පුද්ගලික දුරකතන වලට බලහත්කාරයෙන් ඇතුලුවීමක්. බලහත්කාරයෙන් පණිවිඩ එවා සුභ පැතීමක්. ඒ වගේම ප්‍රතිචාර දැක්වීමට නොහැකි සුභපැතීමක්, ඒ නිසා එය එක් පසකින් බලහත්කාරී සුභ පැතීමක්. අනෙක් පසින් දුරකතන සමාගම් සිය සේවා දායකයන්ගේ පුද්ගලික දුරකතන අංක කිසිදු නීතිමය අවසරයකින් තොරව ‘බලයට‘ යට වී කිසියම් ආයතනයකට, පුද්ගලයෙකුට ලබා දීම අචාරාධාර්මයන්ට පටහැනි ක්‍රියාවක්. මෙවැනි පණිවිඩයන් පසුගිය කාලයේ මැතිවරණය අවස්ථාවලදී ද අපට මුණගැසුනු ඛේදනීය තත්ත්වයක්. අප කිසිදු සම්බන්ධයක් නැති මැතිවරණ ප්‍රචාරක SMS අපගේ දුරකතනවලට ලැබීම. මෙය දුරකතන සමාගම් ද සිදු කරන බරපතල වැරැද්දක් බවත්, ආචාරධාර්මික විරෝධී ක්‍රියාවක් බවත් කිව යුතුය.

SMS එක පැත්තකින් තිබ්බත්

නව වසර සුභ වෙන්න, අඩුම තරමේ පහුගිය වසරවල් වල කෙරැවාව හොද වෙලා තියෙන්න ඕන නේ. මොනවද හොද වෙලා තියෙන්නේ. අඩුම තරමේ දුප්පත් මිනිසාගේ බඩ ගැන හිතලා අත්‍යවශ්‍ය ආහාර වල බදු අඩු කරලා ඒවායේ මිළ පහත හෙලුව ද? නෑ. සිදු කළේ ලැම්බෝගිනි, රේසිං බයිසිකල් වල බදු නැති කරලා, රෑට පාරවල් වහලා තාත්තාගේ පුතාලාට ආතල් ගන්න අයවැයක් හදපු එක විතරයි.

ඉතින් නව වසර සුභ නව වසරක් වේවි ද?

කොහොම හරි කවදාවත් කිසිම ජනාධිපති කනෙක් මට SMS එකක් එව්වද?. නෑනේ.? කියාල සතුටු වෙන අයත් මේ දූපතේ ඉන්නවා. ඔවුන්ට එක් දෙයක් මතක් කරන්න කැමතියි. බඩගිනි උනාම මේ SMS එක දිහා බලලා, ටෙලිෆෝන් එක කොට්ටෙ අස්සේ තියන් කාට කාටත් නිදාගන්න පුලුවන්. නින්ද ගියේ නැති නම් අයේත්, ආයෙත් ඒ SMS එක බලන්න. ටික දවසකින් බඩේ පිටපොත්ත පිටටම ඇලිලා තියෙයි. එතකොට කාට කාටත් නින්ද යයි. සමහර විට සදහටම!

සුභ අනාගතයක්!

[by Watchdog]