ඇත්තට මුහුණ දීමට නොහැකිව දේශහිතෛශී බවෙන් ඔබට අන්ධ විය නොහැකිය. කවුරු කිව්වත් වරද වරදය. – මැල්කම් එක්ස්

දේශපාලනය නාමයෙන් හූරා කෑමේ සිට අනෙකාව යටපත් කොට තම දිරාගිය මුහන්දිරම් මෙන්ටලිය ආරෝපණය කරගනිමින් අනෙකාව මට්ටු කිරීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙල අවසාන මොහොතේ හෝ යම් මට්ටමකට නිවැරදි කිරීම සඳහා අගමැතිවරයාට අවස්ථාවක් උදා වී තිබේ. ඔහු මෙහිදී තේරුම් ගත යුතු තිත්ත ඇත්ත මෙන්ම මුහුණ දිය යුතු යතාර්ථය තේරුම් ගෙන කටුයුතු කළහොත් එම අවස්ථාව ප්‍රයෝජනවත් වනු ඇත. එසේ නැතහොත් අනෙක් බොහොමයක් දේශපාලනඥයින් මෙන්ම බලය නිසා අවුල් වී ගිය දුගඳ හමන්නෙකු ලෙස එලොව ගිය හැකිය.

අනෙක් බොහොමයක් ජාතීන් මෙන්ම සිංහල ජාතියේද කුහකකම මුහුකුරා ගිය ගතියකි. එය දේශපාලනයේ පමණක් නොව බොහොමයක් රාජ්‍ය සේවාවේ සිට රාජ්‍ය නොවන සේවාවන් දක්වාත්, පන්සලේ සිට පාසැල දක්වාත් දක්නට ඇති ප්‍රවේණිගත ගතියකි. ගම් සභාවේ සාමාජීකයෙකු සිට අගමැති ධූරය දක්වා පැමිණි දි. මු. වූ කලී එහි නිස්පන්නයක් මිස, සමාජයේ ඇති වූ අහම්බයක් නොවේ. ඔහු පවත්වාගෙන ආ සමාජ ධූරාවලීයට උරදීම සඳහා කටයුතු කළ තවත් එක් අයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වැනි සාමාජිකයා ලෙස බණඩාරනායක යටතේ දේශපාලනයට පැමිණි හෙතමට දේශපාලනය ගැන තිබු අදහස වූයේ කොමුනිස්ට් පසුබිමක්‌ කේන්ද්‍ර කරගන්මින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කටයුතු කළ ශිෂ්‍ය ව්‍යාපාරයකට තම ගුරුවරයා පසුපසින් සිටිමින් පිට සිට එනම් ගාන්ධි විද්‍යාලයේ ශිෂයෙකු ලෙස ඊට ඇලුම් පෑමය. අත්පොලසන් ගැසීමය.

එම පසුබිම යටතේ තැපැල් සේවාවෙන් සමුගෙන දේශාපාලනයට පූර්ණකාලීනව එකතු වූ දි. මු. දේශපාලනික වශයෙන් ඇතිකරගත් එකම හිමිකම පක්ෂයේ පැරණිම සාමාජිකයෙකු වීමට හැකි වීමත්, තම ප්‍රදේශයේ බලය හොඳින් හෝ නරකින් තබාගෙන තම ධනය වැඩිකර ගැනීමත්ය. එය ඔහු අතිශය සූක්ෂමව සිදුකළ බව නොරහසකි. අම්බුළුවාවේ ආලෝකයෙන් වැසීමට උත්සහ කළේ එයයි.

කෙසේ වෙතත්, ඉතිහාසය ඔහුට ත්‍යාගය ලෙස ඉතාම වැදගත් දේ ලබා දී ඇත. ඔහු වැරදි කරු බවට චෝදනා නැගෙන්නේ අහිංසකකුට වෙඩිතබා මහා මඟ මරා දැමීම නිසා හෝ මැතිවරණය ජයගැනීමට ගොස් අනෙකාට වෙඩි තැබීම නිසා නොවේ. එසේම ගමේ සිටින ගවයෙකුගේ පිටුපස කුකුල් මස් පිණිස කපාගෙන යෑම නිසා නොවේ. ඔහු වරදකරු බවට චෝදනා නැගෙන්නේ ඉතිහාසේ අත්අඩංගුවට ගත් ලොකුම හෙරොයින් තොගයේ වරදකරු ඔහුගේ සම්බන්ධීකරණ ලේඛම්වරයෙකු වීමයි. ඉන් මෙරටට පැමිණි ලොකුම කුඩු තොගය මෙය යයි කියවෙන්නේ නැත.

මෙය දේශප්‍රේමීන්ගේ බලපෑම නිසා නොව ඔහුම තේරුම් ගනිමින් විසඳාගත යුතු ගැටලුවකි. මීට පෙර මේ සම්බන්ධයෙන් මා විසින් ලියනු ලැබූ ලිපිය මීළඟ අගමැති සිහිනය පිළිබඳව ලියූ අතර ඉන් දි. මු. හෝ අදාළ හෙරොයින් තොගය ගෙන ඒම සාධාරනීකරණය කිරීමට යන්ත දරුවා යැයි ඇතැමුන් ප්‍රකාශ කිරීම විහුළුවක් පමණක් නොව අදාළ කාරණය නිවැරදිව තේරුම් නොගැනීමක්ද වේ.

කාරණය පැහැදිලිය, ලංකාවේ දේශාපාලනය පමණක් නොව සම්පූර්ණ ආර්ථිකය එක පවුලක් විසින් ග්‍රහණය කොට ගෙන ඇත. දේශපාලනයට වඩා ඇත්තේ පවුල් වාදයකි. මිලියන ගණනක් ජනතාවගේ බධු මුදලින් නඩත්තු කරන බන්ධනාගාර ඇමති සිටියදී කිසිඳු අමාත්‍ය ධූරයක් නැති තම පියාගේ බලය නිසා දේශපාලනය පමණක් නොව රජයේ විභාග පවා සමත් කරගත් මන්ත්‍රීවරුන් රටේ බන්ධනාගාරවල ගැටලු විසඳන ආකාරයෙන්ම රටේ ඇති විකුර්තිය තේරුම් ගත හැකිය. මෙය අගමැති වරයාට වඩාත් හොඳින් අවබෝධ වන කාරණයකි.

මේ නිසාම පවතින දේශාපලන වටපිටාව තේරුම් ගනිමින් අගමැතිවරයා කළ යුත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමය. ඉල්ලා අස් වී අදාළ හෙරොයින් තොගය සඳහා සාධාරණ විනිශ්චයක් පිළිගත් අධිකරණයකින් ඉල්ලා සිටීමය. එමඟින් ඔහු මේ වන විටත් අවසන් කොට ඇති දේශපාලන හෙයියන්මාරුවට ප්‍රතිරූපයක් ලබා දිය හැකිය. එසේම වඩාත් වැදගත් කාරණය ඔහුගේ පුත්‍රයාට දේශපාලනික වටිනාකමක් ලබා දිය හැකිය. එවැනි විප්ලවයක් කිරීමට අගමැතිවරයා සූදානම් වන්නේනම් එය පක්ෂයේ නායකත්වයේ සිටින අයවලුන්ගේ සිට අනෙක් සියළුම හොරුන්ට කදිම පිළිතුරක්ද වන්නේය. නමුත් තම ඉල්ලා අස්වීම කිසිවෙකුගේ බලපෑමට නොව තම කැමැත්තෙන් කිරීම සහ අදාළ චෝදනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම තීරණාත්මක වේ. එසේම රටේ පවතින ඇත්තඅ වසාන මොහොතේ හෝ තේරුම් කිරීම ඔහු කරන යුතුකමකි.

දි.මු. මෙය තේරුම් නොගෙන සිටීමෙන් සිදුවිය හැක්කේ වෙන කිසිවක් නොව. ක්‍රමයෙන් නැතිවී යන රාජපක්ෂගේ මහජන ප්‍රසාදය රැක ගැනීම සඳහා මෙවැනි කාරනා මෙවලමක් කර ගැනීමට හැකි වීමය. විශේෂයෙන් ඉදිරි මැතිවරණ වලදී මෙය කදිම කාරණයක් ලෙස භාවිතා කළ හැකිය. එමඟින් රාජපක්ෂට මීළඟ අගමැති සිහිනයේ උරුම කරුවාට ඊට පැමිණීම සඳහා සාදාරණ වටපිටාවක් ගොඩ නැගිය හැකිය. එසේම දි.මු. යලි ගොඩ ඒමට නොහැකි ලෙස දේශපාලනික වශයෙන් නැති කළ හැකිය. එම වටපිටාව හමුවේ, දි.මු.ගේ පුත්‍රයාගේ එකම විකල්පය වනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පැනීම පමණක් වනු ඇත.

එබැවින් මල් පාරේ දි.මු. දොලුවට ගොස් යලි සිදුවන දේ දෙස සිහි නුවණින් කල්පනා කරන්නේද? එසේ නැතහොත් මල් පාර ඉදිරියේ සිට තමන්ට ගල් ගසන දේශප්‍රේමීන් දෙස බලා බුදුන් සිහි කරමින් දෙවියන්ට යාඥා කරන්නේද යන්න ඔහුම කල්පනා කළ යුතු බරපතල කාරණයකි.

නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa