[ඩොක්ටර් ! මානසික රෝගියාගේ පරිකල්පනය නන්නත්තාර කර ගත්තෙ ඇයි?]

සමස්ත සමාජමය රෝගාතුර බව කියන්න අති විශේෂ විශේෂණ පද ඕනෙ නෑ. ආණ්ඩුව කියන්නෙ පිළිකා රෝගකාරකයක්. එහෙම ගත්තම ඇඟටම දැනෙනව ඇති අපි ඉන්නෙ ශාරීරිකව සෙත්තපෝච්චි වෙමින් කියල.

මානසික රෝගීන් විසින් පාලනය කෙරෙන රටක සමස්ත සමාජය පුරා ම වෙලෙන්නෙ, එකී අධිපති ව්‍යාධියේ මතවාදය. අධිපත්‍යයේ පවතින මතවාදය කියන්නෙ, මෙකී මානසික රෝගී බව මිස කවර දේශපාලන මූලධර්මයකටත් අයත් වන්නක් නෙවෙයි. මානසික රෝගී බව දැන ගැනීමට විද්‍යානුකූල දත්ත හෝ ප්‍රතිශත උවමනා නෑ. මානසිකව අවතැන් වූවන් ගණන 3‍% ක් යැයි කියා හිත හදා ගැනීමට අපට පුළුවන්. නමුත් ඒ හිත හදා ගැනීම ඇතුළෙ පවා පෙනෙන්නෙ මේ ව්‍යාධීයේම ලක්ෂණ.

ධර්මද්වීපයේ ආණ්ඩුව අනුග්‍රහයෙන් ධර්මචක්‍රය වටේ කැරකෙමින් සිටින්නේ මූලධර්මවාදීන් යැයි පැවසෙනව. මූලධර්මවාදීන් නම් මූලධර්මයක් තිබිය යුතුයි. මනෝ ව්‍යාධීන් මිස මෙහි ඇති මූලධර්මයක් නෑ. සියලු මංමාවත්වල ඇදී යන සියලු බස් රථවල අංකය 134. කොහෙන් බෙල් ගසා බැස ගියත්, එසේ බැස යන්නේ ගමනාන්තය අංගොඩ බව දන්නා උදවිය. ගමනාන්තය දක්වා යන්නට කැමති නම් බැසිය යුත්තේ අංගොඩ, නැත්නම් මුල්ලේරියාවෙ. බැහැල යන්නෙ බසයට නැග්ග උදවිය. අවශ්‍ය කෙනෙකුට බස් රථයට ගොඩ නොවී පයින් යන්නට පුළුවන්. ඒත් පයින් යා හැකි දුර අවමයි. ඒ බව පයින් යන අය දන්නව.

රුවන් එම් ජයතුංග නම් වන මානසික ගවේශකයා «මානසික රෝගියාගේ පරිකල්පනය» ස්ථානගත කරන්නේ ශාරීරිකව මෙන්ම මානසිකව රෝගී කරවන ලද මෙවන් පොළොවකට. සමස්ත ප්‍රබන්ධය ම රෝගියකුගේ කථනයක්. ඒත් ඒ හරහා අපට ඇහෙන්නෙ, තමන් මානසික ව්‍යාධියකින් පෙළෙන බව දන්නා සමාජයේ කටහඬ. එය ස්වකීය ආත්මය ගැන දන්නා, එය පිළිගන්නා ආත්මකථනයක්. රචකයා සිය සාහිත්‍යයික උත්ප්‍රාසය පාදා ගන්නේ ම මෙම කථකයා තම රෝගී බව දන්නා බව කීමෙන්. ඒ උත්ප්‍රාසයට කෘතිය ලියන්නා වන වෛද්‍ය රුවන් ද, කෘතිය ගැන ලියන්නා වන මා ද අයත්. නිරෝගී සමාජ මනසක් වෙත මග වැටී ඇත්තේ රෝගී බව පිළිගැනීම තුළින්.

Dr.Ruwan.M. Jayathunga
Dr.Ruwan.M. Jayathunga

මෙම අමනොඥ සමාජය ගැන මා විසින් ලියැවෙන මෙම පිටු කිහිපය හරහා ගොඩනැං‍වෙන ප්‍රවාදය සම්පාදනය කෙරී ඇත්තේ මා විසින් නෙවෙයි. කෘතියේ රචකයා වන විශේෂඥ මනෝ ගවේශකයා විසින්. ඔහු වෛද්‍ය රුවන් එම් ජයතුංග. ඔහු සිය කථකයා බවට පත් කර ඇති තැනැත්තේ වින්සන්ට් ලංකාතිලකව. මේ නම් අතිශයින් දැනුවත් බරපතල ප්‍රවේශයක්. ලංකාතිලක යන නාමකරණය ස්වයංසිද්ධ නෑ. ඕපාපාතික නෑ. ඒක එකමත් එක තවත් නමක් නෙවෙයි. ඒ නාමකරණය තමයි රචකයාගේ සමස්ථ විග්‍රහයේ සංකේන්ද්‍රණය. ලංකාවට තිලක තබනු ලැබ ඇත්තේ මානසික රෝගීභාවය විසින් බව, මෙකී පරිකල්පනයේ වාසගම්කරණයෙන් ම වෛද්‍ය රුවන් සහෘදගත කර අවසන්. එහි නාමකරණය වින්සන්ට්. ලතින් භාෂා මූලයේ උත්පාදවූ වින්සන්ට් කියන එක යුරෝපීය සම්භවයක් ඇති වචනයක්. සමස්ත යුරෝපය පුරා ජීවත් වූ සහ තවමත් ජීවත් වන වින්සන්ට්වරුන් නම් කෙළ සුවහසක් ඉන්නව. මෙකී යුරෝපීය නාමකාය ලංකාව නම් වන සන්දර්භයේ තිලක තබන්නේ වින්සන්ට් යන නාමයේ අර්ථය කුළුගැන්වෙන පරිදියි. එහි අර්ථය නම් විජයග්‍රහණය යන්නයි. අන්න දැන් අපට පැහැදිලියි වැඩේ. රුවන් එම් ජයතුංග නම් වන චෙකොෆියානු සාහිත්‍යකරුවා ස්වකීය ෆ්‍රොයිඩියානු ‘නවකතාව‘ ස්ථානගත කරන්නේ මනෝව්‍යධීභාවය විජයග්‍රහණය කළ සමාජ සන්දර්භයක් ගැන එකී සමාජ සන්දර්භයකටමය යන්න මෙකී නාමකායේ ඉසියුම් හැඟවුම්කාරකයයි.

ඉදින් ඔහු වින්සන්ට් ලංකාතිලකයන් හරහා කුමක් කියෙව්වද, වින්සන්ට් ලංකාතිලකයන් කුමක් දෙඩෙව්වද, සියල්ල උත්ප්‍රාසාත්මක වෙන්නෙ පවත්නා ගන්දස්සාර සමාජ දේහය තුළ.

අප කුඩා කල ඇසූ කතාවක් මතක් වෙනව. ඒ වනාහී වත්මන් දුර්දාන්ත නිර්- දේශපාලනික රෙජීමයේ නිර්මාතෘවර ජේ. ආර්. ගැන ගොතන ලද්දක්. සුබ සහ යස පන්නයේ ඒ කතාව අතිශයින් ප්‍රකටයි. ඒත් සීඝ්‍රගාමීව හරි එය කෙටියෙන් සිහිපත් කරගන්න එක වටිනව.

අංගොඩ තමා වන්ම ගිරා නාසයක් සහිත පර්යාය මුහුණක් ඇති, එපමණටම උස මහත, තමා මෙන් ම ඇද පැද කතා කරන, තමා මෙන්ම පොතපත කියවන උත්තමයෙකු සිටිනා බව දැන ගන්නා ජේයාරයන්ට ඔහු දැකීමේ ලලාසාවක් හට ගන්නව. තමා මෙන්ම ආර්ය සිංහල ඇඳුමක් අන්දවා ඔහු රජමැදුරට ගෙන එන ලෙස ඔහු ප්‍රේමදාසයන් අණවනව. එදා කෙලින්ම කෑම මේසයට යැ‍වෙන්නේ අංගොඩ අමුත්තා. ඔහු සමඟ රජ බොජුනට ඉඳගන්නා ජේයාර්යාවත්, රජමැදුරේ සේවකයනුත් මොහොතක් පාසා අන්දොස් වන හැටි සැඟවී බලා සිටිනා ජේයාරයෝ විඳින්නෙ අපමණ වින්දනයක්. මොනව පාලනය කළත් ඔහුට හිනාව පාලනය කරගන්න බැරිවුණ මොහොතක ඒ හඬ භෝජනාගාරයටත් ඇහෙනව. එවිට ප්‍රේමදාසයන් ඇණවෙන්නේ අමුත්තා විසින්. ඔහු පවසන්නේ සැඟවී සිනාසෙන නොසන්ඩාලයා වහා ම අත් අඩංගුවට ගෙන අංගොඩ අරින ලෙසයි.

කතාවේ සාරය පැහැදිලියි. කියන්න ඕනෙ දේ තමයි ඉන් අනතුරුව රටේ පාලනය ගෙන යන ලද්දේ මෙකී පුද්ගලයා බවයි. ඒ වනාහී ජේයාරයන් විසින් ස්ථාපිත කරන ලද්දාවූ රසාලිප්ත අර්ථ ක්‍රමය ගැන ඇති විශිෂ්ඨ ජනප්‍රවාදකර කියවීමක්. තවදුරටත් පවතින්නේ ඒකම තමයි. පුද්ගලයන්ගේ මුහුණු මාරු වීමෙන් කිසිවක් සිද්ධ නොවන බව ‘යුද අපරාධ‘ මෙන් පැහැදිලි දෙයක්.

manasika-rogiyage-parikalpa

වින්සන්ට් ලංකාතිලක නේවාසිකව ඉන්නේ ජේයාරයන් කරක් ගැසූ වපසරියේමයි. ඔහු ආරම්භයේ දීම මෙහෙම කියනව.

« මම මානසික රෝගියෙක් ඩොක්ටර්, සයිකයාටි‍්‍රස්ට් කෙනෙක්. අපි දෙන්නා අතර පරතරයක් තියනවා. ඒ එක්කම අපි අතර පාලමකුත් මම දකිනවා. බලන්න ටිකට් එක දිහා, ඒකට නර්ස් කිව්වෙ බී.එච්.ටී. කියලා. මම හිතන්නේ බෙඩ් හෙඩ් ටිකට් කියන වචනයෙන් තමයි මේ අකුරු තුන හැදිල තියෙන්නෙ. මම වැරදිනම් නිවැරදි කිරීම ඔබතුමාට බාරයි. »

වින්සන්ට් ලංකාතිලක ස්වකීය මරුකියවිල්ල අරඹන්නේ එහෙම කියමින්. ඔහු තමන්ගෙ කතාව කියන්නේ පරිකල්පිත මනෝ වෛද්‍යවරයකු වෙත. නවකතාවේ අන්තිමට ඒ කවුද කියල කියවෙනව. නමුත් ඒක දැන ගන්න අන්තිම වෙනකල් ඉන්න ඕනෙ නෑ. මේ තමයි, ඒ කියන්නෙ කතාව අහන් ඉන්න වෛද්‍යවරයා තමයි මේ කෘතියේ සහෘදයා. ඒ කියන්නෙ මම, ඔබ, ඇතුළු අපි. මේ වින්සන්ට් ලංකාතිලකගෙ මරුකියවිල්ල හරහා කියවන්නගෙ හෘදය සාක්ෂියට රිදවන්න තමයි රචකයට ඕනෙ. සහෘදභාවය ප්‍රශ්න කරන්න. ‘මං මේ කියන දේට ‍ඔබ එකඟ වන්නේ ද නොවන්නේද? ඒක ආරම්භයේ ම පවසා අවසන්. ඊළඟට, කෙමෙන් ඔහු තමන්ගෙ මරුකියවිල්ලට සියල්ලන් එකඟකරවා ගන්නව. කෙමෙන් කතාවේ වෛද්‍යවරයා නොහොත් ඇහුන්කන්දෙන්නා අතික්‍රමණය කරමින් සහෘදයා තුළ පැලපදියම් වන මානසික රෝගියාගේ පරිකල්පනය පාඨකයා හා අනන්‍ය වෙන්නට පටන් ගන්නව. ඒ තමයි රුවන්, ස්වකීය ප්‍රබන්ධයට හුස්ම පිඹිනු පිණිස ස්ථාපිත කරනා තාක්ෂණවේදය. ඉන් ගැලවෙනවා නම් බොරු. පෙනහලු පිරෙන්නට පටන් ගන්නේ සමාජය විවච්ඡේදනයෙන් හට ගැනෙනා හුස්මෙන්. ඔන්න, සහෘදයාට ස්වකීය නාඩි වැටෙන අයුරු දැනෙන්න පටන් ගන්නව.

මෙකී ආරම්භයේ සමාරම්භක ඡේදයේදීම ඔහු සිය පරිකල්පනයට දොරගුළු හැරගනු පිණිස ගොනු කරන්නේ නූතන දර්ශනවාදයට පදනම දැමූවෙක් ලෙස සැලකෙන ප්‍රංශ දාර්ශනිකයෙකු හා ගණිතඥයෙකු වූ රනේ දෙකාත්ගේ (René Descartes) « දර්ශනවාදයේ මූලිකාංග » නම් කෘතියේ එන සුප්‍රකට කියමනක්. «මම හිතමි. එනිසාවෙන් «මම» වෙමි.» (Je pense, donc je suis). බටහිර දර්ශනවාදයට පාර කැපුණු මේ වගන්තිය නොහොත් සිද්ධාන්තය හරහා බටහිර නාමකරණයක් සහිත වින්සන්ට් නැමැත්තා ලංකාව නම් වන ගෝත්‍රික සන්දර්භයක ස්ථානගත කිරීම රුවන් එම් විජේතුංග විසින් සිදුකෙරෙන සවිඥානික සාහිත්‍යයික මැදිහත්වීම ලෙස මා සලකනව. පිටු සියයක් ඉක්මවා යමින් දිවෙන කතා ශරීරයේ හැඩතල තීන්දු කෙරෙන්නේ මෙකී මූලිකම වැකියෙන්. බටහිරදී විජයග්‍රහණය (Vincent) වන නාමකාරණයක් රුවන් එම් ජයතුංග ලංකාව තුළ විජයග්‍රහණයට නතු කරන්නේ මනෝ ව්‍යාධියේ දිග පළල තහවුරු කරන්නට බව දැන් ඉතින් පැහැදිලියි.

ඒත් වෛද්‍ය රුවන් එම් ජයතුංග ස්වකීය විශ්ලේෂණය සාහිත්‍යයිකව ගොනු කිරීමට ගන්නා ප්‍රයත්නය අති සරලයි. නිරූපණයක් නෑ. කථනය ම පමණයි. මට අනුව, ඒක හරිම පහසුයි. මරු කියවන්නා ලවා ඕනෑම මරු කියවිල්ලක් කියෙව්විය හැකියි. එපමණයි.

රචකයා ස්වකීය සමාජ කියවීමට ප්‍රබන්ධමය ස්වරූපයක් ගොනු කරලනු පිණිස ලංකාතිලකගේ පුත්‍රයා උගැන්මට මිචිගන් යවනව. ඔහුගෙ අම්මව, ඒ කියන්නෙ වින්සන්ගෙ බිරිඳවත් එතෙන්ටම යවනව. වින්සන්ට් එහි යන්නේ ඉන් අනතුරුවයි. එහිදී ඔහුට භින්නෝන්මාදය ඇති බව හඳුනා ගන්නා බටහිර වෛද්‍යවරයා ඖෂධ නියම කරනව. ඒත් ඔහුව නතර කරන්න බෑ. ඔහු මිචිගන්හි ඩිට්‍රොයිට් නගරය පුරා කරක් ගහනව. අරමුණ, ජීවිතය හොයාගැනීම. ඒත් මිචිගන් ජීවිතය එපාවන ලංකාතිලක භෞතිකව ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වෙනව. යළිත් ලංකාවට පැමිණෙන්නේ අංගොඩ යන්න. මොකද කතාව තියෙන්නෙ එතන. ලංකාව වටේ කරක් ගසමින් සිටිනා ලංකාතිලක ජීවිතය බදල අල්ලා ගන්න වෙර දරනව. ඒත් සිදුවෙන්නෙ පිස්සෙක් යැයි ඔහු අල්ලා අංගොඩට බාර දෙනු ලැබීම. කතාව තියෙන්නෙ එතැන කියල කලින්ම කීව්වෙ ඒකයි.

මෙන්න එහිදී ඔහු යළිත් දෙකාත් දෙසට හැරෙන හැටි.

« මගේ මනස විභේදනය වෙලාද? මම යථාර්තයත් මිථ්‍යාවත් අතර දෝලනය වෙනවාද? එතකොට යථාර්තය මොකක්ද? මිථ්‍යාව මොකක්ද? දැන් මම ඉන්නේ අංගොඩ මානසික රෝහලේ තට්ටුවක. විශ්වයට සාපේක්ෂව මගේ පිහිටීම මොකක්ද? මම එකතැනක නැවතිලා නැහැ. මම ගමන් කරනවා විශ්වයේ. මනසත් එක්ක. එතකොට මගේ මනස කියන්නේ මොකක්ද? මම හිතනවා. ඒ නිසා මම මම වෙනවාද? »

මූලික මනස නැතහොත් මනසේ මූලික ස්වරූපය පමණක්ම වුව ඉවහල් කර ගත්තත්, ඉන් එහා දිවෙන යාන්ත්‍රණයක් නෑ. මානසික අවපීඩනය හට ගැනෙන්නේ ම එතැනින්. මනසේ යාන්ත්‍රණය ආධිපත්‍යයේ මතවාදයට යටත් බව මනසේ මූලිකාංගයන් කෙසේ වෙතත් දේශපාලනයේ මූලිකාංගයක්. හරිම සරල තේරුම් ගැනීමක්. ඉදින් අපව පවතින දේශපාලනය විසින් පාලනය කෙරෙනව යන්නෙහි මට නම් කිසිඳු පරිකල්පනයක් නෑ. කථනයට පමණක්ම අධිනිෂ්චය වීමට ඉඩ දීම හරහා පැන නැඟෙන ප්‍රබන්ධමය දෝශය තමයි අපූර්වත්වය ගිලිහී යාම. එහෙම වුණාම එතන ආශ්වාදය ජනනය වන එක නවතිනව. කතා කරන්නෙ මොන තරම් සත්‍යයක් වුණත් කලාවෙ සහ සාහිත්‍යයෙ මූලිකම පරමාර්ථය ඉෂ්ඨ සිද්ධ කරගන්න මානසික රෝගියට බැරි වෙන්නෙ මෙන්න මේක නිසයි.

« කාලයක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී.පාලනය කරා. එතකොට ඩඩ්ලි, මැඩම් බණ්ඩාරනායක, ජේ.ආර්.,පේ‍්‍රමදාස, විජේතුංග, චන්ද්‍රිකා, දැන් රාජපක්ෂ කොම්පැනිය. අපි අපිට කන්ට්‍රෝල් නැහැ ඩොක්ට. අපිව හැමෝම පාලනය කරනවා. අපගේ මනසට විධාන දෙනවා හරියට ආමි එකේ වගේ. වමට හැරෙන් දකුණට හැරෙන්. ඉතින් අපි හැරෙනවා. මැඩම් බණ්ඩාරනායකගේ කාලේ අපට වමට හැරෙන් කියලා විධාන දුන්නා. එතකොට යැංකි ඩිකීගේ කාලේ දකුණට හැරෙන් කියලා අණ කළා. දැන් කොහාට හැරෙන්නද කියලා දන්නේ නැහැ. කියන තැන්වලට අපි හැරෙනවා. »

අප දන්නා දේම කියන මානසික රෝගියෙකුගෙන් අපට වැඩක් නෑ. එබැවින් අප සොයා පහදා ගත යුත්තේ ඔහු පවසනා අප නොදන්නා කරුණුයි. ඔන්න දැන්, මනෝභ්‍රාන්තිකර මිනිසකුගේ පරිකල්පනය වෙසින් අප හමුවට කෙමෙන් පැමිණෙන්නේ රුවන් එම් ජයතුංග ක්ෂේත්‍ර ගණනාවක් පුරා බුද්ධිමය රස්තියාදු ගසමින් අත්පත් කරගත් ස්වකීය නිරීක්ෂණ ලාංකීය සන්දර්භයක ගටමින් මවා පෙන්වන සමාජ විසංවාදයයි. ඔහුගේ හුදෙකලා කැරැල්ලයි. සැබැවන් ම මේ වනාහී ඔහුගේ ම අධ්‍යාත්මයේ අන්තර් භාෂණයයි. මේ සියල්ල අතර සාහිත්‍යයික ප්‍රවේශයක් ගන්නේ ගූඪ මානව ලෛංගික ජීවිතය වෙත ඔහු හෙළන කෑලි පහේ විදුලි විලක්කුවේ ආලෝකයයි. ඒත් එක්සත් ජනපදයේ විසල් හෝටලය සිදුකෙරෙන මෛථුන්‍ය ක්‍රියාවලිය පවා කථනයේදී ඉසියුම් නොවී ග්‍රාම්‍ය ස්වරූපයක් ඉසිලීම ආනන්දය මතු නොව මූලික ආශ්වාදය කෙරෙහි පවා අප කැඳවන්නේ නැති බවයි මගේ හැඟීම.

« ඇය හිස පහත් කරගෙන ඇදේ මැදට විත් හිස පහත් කරගෙනම තට්ටම ඉස්සුවා. මම මේගන්ගේ රවුම් තට්ටම් අත් දෙකෙන් අල්ලගෙන ඇයට කිට්ටු උනා. මේගන් තව තවත් තට්ටම ඉස්සුවා. ඒ සමඟම මට කක්කා ගඳක් ආවා. සුද්දියෝ අපිවගේ කක්කා කරල පස්ස හෝදන්නේ නැහැනේ. ඇයගේ ගුදය මගේ යුනික පෙදෙසේ ගෑවෙයි කියලා මට පිළිකුලක් මට දැණුනා. මට සෙක්ස් එපා උනා. මම බය උනා. පුරුෂලිංගය හැකිලෙයිද කියලා. එහෙම උනොත් ඇය හිතයි මම ලිංගික බෙලහීනයෙක් කියලා. මම නැවතත් ඇයව යට කර ගත්තා. මේගන්ගේ දෙපා ඈත් කර යළිත් ඇය තුළට කිඳා බැස්සා. »

මෙකී කථනය උසුලන ප්‍රකෘති ස්වරූපය ප්‍රබන්ධමය අවකාශයක ස්ථානගත කරනා බැවින් මට අවශෝෂණය වෙන සුවිශේෂ යමක් නෑ. කතුවරයාගේ අභිප්‍රාය පිළිකුළ දැනවීම නම් ඒක පළ දරනව කියල පේන්න තියෙනව. ඒත් උවමනාව ලිංගිකත්වය නිරූපනය නම්, මට හිතෙන්නෙ පල නැති අත්තික්කා ගසකට සිදුවන දෙයම ඊට සිදු වෙයි කියලයි. ඒත් විශේෂඥ වෛද්‍ය ග්‍රන්ථ කතුවරයා හට මගේ යෝජනාවට සිනාසී අත පිසදා ගන්නට අවකාශ ඔහු විසින් ම නිපදවා අවසන්. මන්දයත් කථකයා මනෝ ව්‍යාධියෙන් පෙළෙන්නෙක්. එවන් අයෙකු වහරන බසට අණ පනත් පනවන්නට එවන් අයෙකුටම මිස අන් කෙනෙකුට හැකි ද?

අනෙක් පසින් අපිට පොතත් එක්කම සංඥාවක් නිකුත් කරල තියෙනව « මේක අර්ධ නවකතාවක් » කියල. ඒත් මට හිතෙන්නෙ මේකට අර්ධ වශයෙන් අපි අත තියල වැඩක් නෑ, මොකද අනවරත ලිවීමේ ක්‍රියාවලියක නිරත ලියන්නකුට, තමන් සහෘදයා ඉස්සරහට දාන බැරියර් තමන්ටම පෙරලගන්න හිතෙන මොහොතක් තියෙන්න පුළුවන් හින්දා.

ආයෙ ලියවිල්ලට එන්නම්. ලෛංගික ක්‍රියාවලියෙදි පමණක් නෙවෙයි, ලෛංගික විවරණයකදි පවා මේ බසින් මිදෙන්න රෝගියට පුළුවන් කමක් නෑ. සහෘදයා දන්නා සත්‍යය සාහිත්‍යයිකව විවරණය කරන්නේ නම් අවම වශයෙන් එය ආකෘතිගත කරන ස්වරූපයේවත් නවමු ප්‍රවේශයක් තිබිය යුතුයි. නො එසේනම් වහරන බසේ. සමස්තයක් වශයෙන් ගත්තම, මට නම් මෙහි එවන් ප්‍රවේශයක් මුණ ගැහෙන්නෙ නෑ. විමසන්න. මින් ජනනය වන්නේ කවර ආශ්වාදයක්ද?

« බලන්න අපේ සුචරිත වාදියෝ. කොච්චර ලිංගික කුහකයන් කියලද? නෂ්ඨ කාමයෙන් පෙළෙන එවුන් තමන්ගේ භාර්යාවට ඕර්ගැසම් එක ලබාදෙන්න අපොහොසත් වෙච්ච ස්වාමි පුරුෂයන්, ගෑනියෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්න ආත්ම ශක්තියක් නැති එවුන්, ලිංගික සදාචාරය ගැන කථා කරනවා. ඒත් ටොයිලට් වලට වැදිලා හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා. ගෑණියෙක්ගේ පියයුරක්, කලවා ප‍්‍රදේශයක් මතක් කර ගෙන. තමා පිළිබඳව ඇතිවන ලිංගික හීනමානය අඩු කර ගන්නේ සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කථා කරල. ඒත් ගෑණියෙකුගේ අඩනිරුවත් ඡායාරූපයක් එහෙමත් නැත්නම් ගවුමක ස්ලිට් එකෙන් එළියට පැනපු කළවා ප‍්‍රදේශයක් දැක්කොත් ඉහත සදාචාරය ගැන දෙසන්නා කළබල වෙනවා. තමාගේ අභ්‍යන්තරයේ සැඟවිලා ඉන්න වල්, අශිෂ්ඨ කාමුකයා අවදි වෙනවා. ඒක බාහිර සමාජය දැනගනීයි කියලා මෑන් බයයි. ඒ නිසා අර අඩ නිරුවත් තරුණිය විවේචනය කරනවා. ඇයට සංස්කෘතිය, සදාචාරය උගන්වන්න එහෙමත් නැත්නම් ගල්ගසා මරාදමන්න ඕනම වෙලාවක ඉදිරිපත් වෙනවා. ඒත් ලිංගික වශයෙන් සංතෘප්ත වූ පුද්ගලයා නිසලයි.»

භින්නෝන්මාදියෙකුට කියවන්න නොදී රුවන් විසින් ඔහුගේ ජීවිතය නිරූපනය කෙරුණා නම් මේ අමුද්‍රව්‍ය අපතේ නොගොස් වඩා පරිසමාප්ත සාහිත්‍යයික බසක් සහ ආකෘතියක් නිපදවා ගන්න තිබුණ කියන එකයි මඟේ හැඟීම. ඔහුගේ වෙනත් නිර්මිතයන් පරිහරණය කළ අය හැටියට අපි දන්නව ඔහු සතු භාෂා පරිචය මොකද්ද කියල. මේ කෘතිය තුළ පවා යම් යම් තැන්වල ඒක මතු නොවෙනවා නෙවෙයි. එක් ප්‍රබල නිදසුනක් පෙන්වන්නම්.

« මම කඳුවැටිය තරණය කළා. මම දුටුවා ඈතින් පායා ඇති හිරු. මිනිසුන් පිරිසක් කඳු පාමුල, රැස්වීමක් වගේ. ඔවුන් රතු පැහැති කොඩි අරගෙන ඈතින් පෙනෙන හිරු දෙසට යනවා. ඔවුන් හිරු ගේ රක්ත වර්ණ පැහැයට වශී වෙලා. ඔවුන් ගෙනයන ධජ, හිරුගේ පැහැය. යන ගමන් ඔවුන් සටන් පාඨ කියනවා. උද්යෝගය පිරිලා. මම ඈත සිට බලාගෙන හිටියා. ඔවුන් දිගටම ගමන් කලේ සුර්යා දෙසට. මුළු අහසම රතු පාටයි. අහසේ රතු පැහැය තව තවත් වැඩි උනා. දැන් මුළු අහසම ලේ රතු පාටයි. හිරුගේ රශ්මිය එන්න එන්නම වැඩි වෙනවා. එත් මිනිසුන් පිරිස හිරු දෙසටම යනවා. මම කඳු වළල්ලට මුවා වෙලා ඔවුන් දෙස බලා සිටියා. තද හිරුගේ රශ්මිය වැදිලා ඔවුන් පිලිස්සී ගියා. එහෙත් ඔවුන් ගමන නතර කරන්නේ නැහැ ඉදිරියටම යනවා. ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියෙන් යන මිනිසුන් දැවී අළු වී ගියා. ඔවුන්ව පරයා ගෙන දෙවන පෙළ යනවා. ඔවුනුත් දැවෙනවා. මෙසේ සියලුම දෙනා රක්ත වර්ණ සුර්යා විසින් දවා හළු කරනු ලැබුවා. ඒක භයානක දර්ශනයක් ඩොක්ටර්, නමුත්, මිනිසුන් ඔවුන් ප්‍රේම කල හිරු නිසාම විනාශ උනා. විනාශය පැවත්මේම එක් අංගයක් වෙන්න ඇති »

මෙබඳු කලාත්මක මෙන් ම දාර්ශනික සූර්යාලෝකයන් හිටි ගමන් මතුවුණත් පොදුවේ ගත්තම මානසික රෝගියාගෙ පරිකල්පනයෙදි රචකයට තමන්ගෙ වාක් කෞෂල්‍යය අතහැරිල කියලයි මට නම් පේන්නෙ. ඒකට එකම හේතු ව කියවිල්ල. ඒක මඟ හැරගෙන විශිෂ්ඨ වැඩකට අතගහන්න තිබ්බ අවස්ථාව ඔහු මඟ හැරගෙන. මෙතන පොඩ්ඩක් බලන්න.

« මට ඩොක්ට තිස්සගෙන් අහන්න ප‍්‍රශ්නයක් තියෙනවා. ඩොක්ට හිතන හැටියට මිනිහෙක්ට ගෑණු දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන්ද? මම හිතන්නේ පුළුවන්. මම නෙරන්ජලීටයි, සැන්ඩ‍්‍රාටයි ආදරය කරනවා. මේ ආදරය දෝලනය වෙනවා කියලා මට හිතෙනවා. මෙල්බන් වලදී මම මගේ දරු පවුල අතහැරලා සැන්ඩ‍්‍රාව බඳින්න තීරණය කළා. ඒක හදිස්සියේ ඇවිත් හදිස්සියේම යන අදහසක් නෙවෙයි. »

වෘත්තීමය මනෝ විශ්ලේෂකයෙකු ලෙස නොව සාහිත්‍යකරුවෙකු ලෙස ඔහුට කතාව අහුවෙන්නට තිබ්බේ මෙන්න මේ වගේ තැනකින්. ඒ වාක්‍යයම මෙහෙමත් ලියන්න පුළුවන්. වෘත්තීමය මනෝ විශ්ලේෂකයෙකු වන සාහිත්‍යකරුවෙකුට ඔහුගෙ කතාව අහුවෙන්නට තිබ්බේ මෙන්න මේ වගේ තැනකින්.

මේ එවන් වූ තවත් තැනක්.

« මට පෙනුනේ සිලිම, මනෝ විශ්ලේෂකයාගේ කටහඬ ඇහුනේ සත් සමුදුරින් එහා. ෆ්‍රොයිඩියානු කවිච්චියේ මම ගැඹුරටම කිඳාගෙන ගියා. මම නොකඩවා කතා කරනවා. මගේ කටහඬ මට ඇසෙන්නේ වෙනත් අයෙකුගේ කටහඬින්. මටසිලුටු සෝෆාවේ වැතිරී සිටින මම ද්‍රව්‍යාත්මක වෙනස්කමකට ලක් වනවාද? මගේ ආධ්‍යත්මය ම තුලින් ඉවත් වෙනවාද? මගේ දෙනෙත් වැසි ගියා, කටහඬ මලානික උනා. ශනයිඩර් මාව විශ්ලේෂණය කළා. මම දන්නේ නැහැ ශනයිඩර්ගේ විශ්ලේෂණය කොච්චර දුරකට හරිද කියලා. සමහරවිට විශ්ලේශකයා විශ්ලේෂණය වන්නා අතින් විශ්ලේෂණයකට ලක් වෙන්න පුළුවන්. විශ්ලේෂණය තුළින් සත්‍ය සොයා ගන්න පුළුවන්ද? ෆ්රවුලීන් ඇනා ඕ පිලිබඳ සත්‍ය ෆ්රොයිඩ් සොයා ගත්තද? ඇනා ගේ මනස විශ්ලේෂණය උනාද ? විශ්ලේෂණය උනේ විබණ්ඩනයට ලක් කිරීමෙන්ද? »

මේ පිටු එකසිය ගාණ ඇතුළෙ එහෙම තැන් එකසිය ගාණට තියෙනව. පරිකල්පනයට ඇතුළුවනු පිණිස ඇරගන්නට තිබූ එකී දොරවල් අබියසට පිවිසෙන කතාකරුවා සද්ද නැතුව ආපසු හැරිල යනව. ඔහු යතුරු කැරැල්ල සාක්කුවේ දමාගෙන « මනෝ මන්දිරයක් » වටේ කැරකෙන මුරකාරයෙක් වගේ කැරකිල, තමන්ගෙ මුර කුටියට ගිහින් දොරවහන්නව. අන්න ආයෙ අර සුපුරුදු මරු කියැවිල්ලට ලාංකාතිලකයන් අවතීර්ණ වෙනව.

« අපේ රටට මොකක්ද තියෙන ඉලක්කය. ජනවාර්ගික යුද්ධය ඉවර වුනහම පටන් ගනියි ආගම් භේද යුද්ධයක්. ඒක ඉවර වුනහම පටන්ගනියි කුල අතර යුද්ධයක්. මිනිස්සු යන්නේ ගෝත‍්‍රික චින්තනයට. අන්තවාදින් දහ දෙනෙකුට පුළුවන් රටක් උඩු යටිකුරු කරන්න. හො`ද මිනිස්සු නිශ්ශබ්දයි. අනේ අපට ඕවට පැටලෙන්න බැහැ. නැත්තං ඇයි අපි තරහාකාරයෝ හදාගන්නේ, අපට පුළුවන්ද රට හදන්න. මෙන්න මේ වගේ බයාදු චින්තනයකට බැහැලා ගොළුබෙලි කට්ට ඇතුලට රිංගනවා. හොඳ මිනිස්සු බහුතරය අක‍්‍රිය වෙනකොට අන්තවාදියා වැඬේ දෙනවා. ඇස් ඇරලා බලනකොට පරම්පරා ගානකට විනාසේ කැටලා. »

මේ විසිරුණු බව තුළ පවතින ඒකමිතිය හා ඒ ඒකමිතියේ ඇති තර්කානුකූලභාවය හරහා ඔහු ගොඩනංවන ප්‍රවාදය මේ මොහොතේ යථාර්ථයක් බවට පරිවර්ථනය වෙලයි තියෙන්නෙ. චරිතයක් හරහා සමස්ත සමාජයම විවච්ඡේදන කර බලන්නෙකුට එහි තර්කානුකූල අන්තය පෙනෙන්නට ගන්නව. රුවන් තුළ මෙම ශක්‍යතාව ඇති බව පෙන්වීමට මීට වඩා නිදසුන් දීම අනවශ්‍ය වෑයමක්. ඔහුගේ සමාජ පරිඥානයේ පරිමාණය අනාගතවක්තෘවරයෙක් තරම්. ඔහුට පේන කියන්නට කළුවර අඳුන් ඕනෙ නෑ. පේන්න තියෙන කළුවර ප්‍රමාණවත්.

මේ සියලු ලක්ෂණ තිබියේ වන නමුත් මානසික රෝගියාගේ පරිකල්පනය, සාහිත්‍යයික පරිකල්පනයක් ලෙස සිංහල සාහිත්‍ය අවකාශය ගැඹුරින් ස්පර්ශ නොකරන්නේ මේ පේන කීම සඳහා, ප්‍රස්තුත චෙකොෆියානු සාහිත්‍යකාරයා ඉක්මන් වුණු හින්ද කියල හිතෙන එක වළක්වගන්න මට අමාරුයි.

අපරාදෙ!

මේ බලන්න වෛද්‍ය රුවන් එම් ජයතුංග අත තියලත් අත පැත්තකට ගන්න ගැඹුරුතර සාහිත්‍යයික රිදවිල්ල. සාහිත්‍යයික උත්ප්‍රාසය. සාහිත්‍යයික ආශ්වාදය. කලිනුත් කිව්ව වගේ, මට අනුව නම් මෙන්න මේක තමයි මානසික රෝගියා අල්ල ගන්න තිබ්බෙ.

« ලෝගුවක් පොරවාගෙන සිටි එක් මහලු පුරුෂයෙක් ඇයට විරුද්ධව ඇති චෝදනා එකින් එක කිව්වා. ඉන් පසු ඔහු තම අත තිබූ ගල ඉස්සුවා ඇයට ගැසීමට. මට බලාගෙන සිටීමට හැකියාවක් තිබුනේ නැහැ. මම අසරණ ගැහැණිය ඉදිරියට පැන්නා. සහෝදරවරුනි ඕක මොහොතකට නවත්වලා මම කියන එක අහන්න, මම උස් හඬින් කිව්වා. ඔවුන් සියලුදෙනා එකපාරටම ගැස්සිලා මා දෙස බැලුවා. දැන් සියලුදෙනාගේම ඇස් මා දෙසට යොමු වෙලා. මම ඔවුනට කිව්වා, “සහෝදරවරුනි, මෙතන පව් නොකරපු කෙනෙක් ඉන්නවනම් පළමු ගල ගසන්න” කියලා. සෙනග එකිනෙක සමග කොඳුරනවා. එක් මිනිසෙක් මා ලඟට ඇවිල්ලා මාව පසෙකට තල්ලු කළා, බොරුවට ක්‍රිස්තුස් වෙන්නේ නැතුව අහකට පළ කියලා. »

දැන් ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ එක දෙයයි. කතානායක වින්සන්ට් ලංකාතිලක ඩොක්ටර් තිස්සට නොකී දේ මම ඩොක්ටර් රුවන්ට මෙන්න මේ අයුරින් කියනව.

« ඩොක්ටර් ! මානසික රෝගියගේ පරිකල්පනය නන්නත්තාර කර ගත්තෙ ඇයි? »

තටු නැති පිටු බ්ලොග් අඩවියෙන්… | එව්වේ තරැරසි