Image Credit: infolanka

මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා 2න අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත් තෙත්බිම් අක්කර 150ක් මුල් අදියරයෙදී මෙසේ පෞද්ගලික සමාගමකට බිලිදීමට නියමිත බව ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් ඒ පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, Airport Express Air and Rail Company (Pvt) Ltd නැමති සමාගම උක්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද 2012 දෙසැම්බර් 13 දිනැති අයදුම්පත්‍රයට අදාලව මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට කටයුතු දියත්වෙමින් පවතින බවය.

මේ එම සම්පූර්ණ වාර්තාවයි

##
ඉකුත් 2දාට යෙදුනු අන්තර්ජාතික තෙත්බිම් දිනයේ මෙවර තේමාව වුයේ “තෙත්බිම් හා කෘෂිකර්මය” යන්නයි. නමුත් පුරුදු ලෙසම උත්කර්ෂවත් අන්දමින් තෙත්බිම් දිනය සැමරූ දේශපාලන අධිකාරියද , නිලධාරීන්ද , බලධාරීන්ද මෙ මොහොතේ නැවතත් ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල බිලිගැනීමට පිඹුරුපත් සකස්කරමින් සිටින බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශකර සිටිමු.

මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා 2වන අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත් තෙත්බිම් අක්කර 150ක් මුල් අදියරයේදී මෙසේ පෞද්ගලික සමාගමකට බිලිදීමට නියමිතය. Airport Express Air and Rail Company (Pvt) Ltd නැමති සමාගම උක්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද 2012 දෙසැම්බර් 13 දිනැති අයදුම්පත්‍රයට අදාලව මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට කටයුතු දියත්වෙමින් පවතී. ඇමරිකානු ඩොලර් මිලියන 800 ක වියදමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අදාල ඉඩම් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන හා මහා ව්‍යාපෘති පිලිබඳ විධායක අධ්‍යක්ෂ ශිවන් ද සිල්වා විසින් 2013 දෙසැම්බර් 05 දිනැති EC/4/1718/12 අංක දරන ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීම් කර ඇත.

නමුත් මෙකී ව්‍යාපෘතිය සිදුකිරීමට බලධාරීන් අවසර ලබා දුනහොත් දිවයිනේ අගනුවර ආසන්න ඉතා වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අභය භුමියේ වනජීවී ප්‍රජාවට බරපතල බලපෑම් සිදුවන අතරම ඒ මගින් සැලසුණු ඉමහත් සේවාව නොලැබී යාමෙන් ආශ්‍රිත ජනතාවටද දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බව අවධාරණය කරමු.

1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41 අතරට ඈතුලත් කරන ලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්ටයාර් 1029ක භුමි ප්‍රමාණයක් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත යටතේ 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙහි දැනට වාර්තාවී ඇති සත්ව කාණ්ඩ 07 කට අයත් විශේෂ 449 ක වනජීවීන් ප්‍රමාණය මෙහි ජෛව විද්‍යාත්මක අගය කියාපාන අතරම ඒ අතරින් විශේෂ 26 ශ්‍රී ලංකාවට අවේණික වීමද සුවිශේෂී කරුණකි.

මෙහි ඇති පාරිසරික වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක්ද මුතුරාජවෙල මගින් ජනතාවට සැලසෙයි. නමුත් එතරම් වටිනාකම් රැසකින් සමන්විත මුතුරාජවෙල තෙත්බිමේ ස්ථිරසාර පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන් තවමත් කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි. අධිවේගී දුම්රිය මාර්ගය හා බෝපිටිය හා කෙරවලපිටිය සුපිරි නගර ව්‍යාපෘතිය ද මෙම රමණීය තෙත්බිම ගිලගැනීමට මාන බලන්නේ මෙවැනි පසුබිමකය. සුපිරි නිවාස සංකීර්ණ, හෝටල්, කඩ සාප්පු, වෛද්‍ය මද්‍යස්ථාන, ක්‍රීඩාංගනය, ගොල්ෆ් පිටි ආදී සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකර පෞද්ගලික සමාගමකට කෝටි ගණන් මුදල් ඉපයීමට ඉඩ සලසා දෙමින් මුතුරාජවෙල තෙත්බිම අශ්‍රිතව පරම්පරා ගණනක් ජීවත්වූ අසරණ ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට විසිකර දැමීමට කටයුතු කරන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතියට මුතුරාජවෙල තෙත්බිමේ හා අභය භුමියේ ඉඩම් බිලි නොදීමට වගබලා ගැනීම නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අප ඉතාමත් අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.

තවද 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 දිනැති අංක 859/ 14 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුල හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුලත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි අනුමැතියක්ද ලබාගෙන ඇතිබවක් දැනගන්නට නැත. එබැවින් අප බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ සිදුවන්නට යන මහා විනාශයෙන් මුතුරාජවෙල අභය භුමිය ආරක්ෂාකර එහි වටිනාකම් මතු පරම්පරා ගණනාවක් වෙනුවෙන් ඉතිරිකර තැබීමට කඩිනමින් මැදිහත් වන ලෙසය.

සුපුන් ළහිරු ප්‍රකාශ් සහ උදයංග ප්‍රමෝද්
ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය