ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වාර්තා වි තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට තුඩු දී ඇති එක් පාර්ශවයක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඒ පිළිබදව කරන ලදැයි කියන ප්‍රකාශයක් එයට මූලික වී ඇත. එම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ, හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ විසිනි. සංජීව සමරසිංහ විසින්, සරත් ෆොන්සේකා පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ ‘‘ලාල් වික්‍රමතුංග මහත්තයා, ලසන්ත වික්‍රමතුංගගේ අයියා. ඔහු අවස්ථා දෙකකදී ප්‍රකාශ කරලා තිබුණා, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සරත් ‍ෆොන්සේකා මහතා වග කියන්න ඕනැයි කියන එක. මම ඇහුවා ලාල් වික්‍රමතුංග කියපු කතාවේ සත්‍යක් තියනවද? ඔහු දුන්න උත්තරේ මගේ ඩයරියේ තියනවා. ‘මම දරණ අදහස නම්, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බවයි.‘”

‘එතකොට මින් ඉදිරියට ඔහුගේ ඝාතන ලැයිස්තුවට සංජීව සමරසිංහගේ නම එකතු වේවි‘ යනුවෙන් එම මාධ්‍ය හමුවේ දී සංජීව සමරසිංහ විසින් ප්‍රකාශ කර ඇත. (බලන්න පහත වීඩියෝව, 0.45 සිට 01.23 දක්වා – Video Credit: Derana)
http://www.youtube.com/watch?v=bTHjajGgmFk

ලසන්ත වික්‍රමතුංග පුවත්පත් කතුවරයා ඝාතනය කර මේ වසරේ ජනවාරි 08දාට වසරක් 5ක් ඉක්ම ගියේ ය. වසර 5ක් ඉක්ම ගොස් තිබියදීත් ලසන්ත ඝාතනය කළ ඝාතකයින් නීතිය හමුවට පැමිණ වීමට රාජපක්ෂ පාලනයට මෙතෙක් නොහැකිවීම තුළ, ලසන්ත මරා දැමූ ඝාතකයින් නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි බලකරමින් ඔහුගේ සමීපතමයින් සහ ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පසුගිය ජනවාරි 09 වනදා ද විරෝධතාවයක් පැවැත් වීය. එහි දී කෑපි පෙනෙන සිදුවීමක් වූයේ ලසන්ත වික්‍රමතුංග ජනමාධ්‍යවේදියාගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග විසින් කරන ලද ප්‍රකාශයක් ය. ලසන්ත ඝාතනය කල අය තමන් දන්නවා යැයි, තමන්ට(ලාල් වික්‍රමතුංගට) ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව මාධ්‍යට කිවේ ලාල් වික්‍රමතුංගය. එසේම ඔහු විසින් ඒ පිළිබදව ජනාධිපතිවරයාගෙන්, මෙසේ ඇසූ බවත් ලාල් වික්‍රමතුංග කියා සිටියේ ය. ‘‘ලසන්තගේ ඝාතකයන්ට නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවහම, මට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුනේ නෑ..‘‘ ලාල් වික්‍රමතුංග වැඩිදූරටත් කීවේ ය. ලාල් වික්‍රමතුංගගේ එම ප්‍රකාශය සහ එයට අදාල අනිකුත් අදහස් පසුගිය ජනවාරි 09වනදා ‘විකල්ප‘ වෙබ් අඩවියේ පළ කල අතර එම වීඩියෝ සටහන පහතින් දැක්වේ.

දැන් ලාල් වික්‍රමතුංගට, ජනාධිපතිවරයා කියූ ප්‍රකාශයත්, සරත් ෆොන්සේකා සම්බන්ධයෙනුත් මෙන්ම, දැන් සරත් ෆොන්සේකාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ විසින් සරත් ෆොන්සේකා උපුටා දක්වමින් කියනු ලබන ප්‍රකාශත් තුළ ලසන්ත මරා දැමූවන් සොයාගැනීමට අවශ්‍ය නම් රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු වන්නේය. නමුත් ලාල් වික්‍රමතුංගගේ ප්‍රකාශයෙන් මාස දෙකකට ආසන්න වෙමින් තිබියදී පවා එම ප්‍රකාශයන් ගැන කිසිදු සැලකිල්ලක් දක්වන බවක් මේ දක්වා පෙනෙන්නට නැත. එම තත්ත්වයන් තුළදී දැන් සරත් ෆොන්සේකාගේ, හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක, සංජීව සමරසිංහ විසින් සිදුකරන මෙම ප්‍රකාශය පිළිබදවත් වඩා සැලකිල්ලක් දක්වනු ඇතැයි විශ්වාස කළ නොහැකි වන්නේ, මෙයට වඩා ප්‍රභල ප්‍රකාශයක් ලසන්තගේ සහෝදරයා විසින් සිදුකල විටදී පවා ආරක්ෂක අංශ හොරට නිදා සිටිය බැවිනි.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ලංකාවේ ජනමාධ්‍යට එල්ල කරන ලද සියලු ප්‍රහාරයන් වල පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නැති තත්ත්වයක් තුළ, ඒ පිළිබදව සිදුවන ‘දේවල්‘ පිලිබදව ඉතා කෙටියෙන් මෙසේ පැවසිය හැකිය. ‘හොරැ විසින් හොරකම් පිළිබදව පරීක්ෂණ කරන තාක් කල් හොරැ අල්ලා ගැනීමට නොහැකි බවයි.‘