මිනිහෙක් මැරෙන කං බලා සිට

ලියන්නට තටමන කවියකැයි

නො සිතන්න සොහොයුර

උපමා රූපක අලංකාරික

ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි

නොසිතන්න සොහොයුර

උපදුනොත් මැරෙනවා

සත්‍යකි ලොව දහම කියා කරබාගෙන

ඉන්නටත් පුළුවන්

දන්නා කියන හිතවතුන් ඥාතීන්

මැරෙන්නට පුළුවන්

ඔවුන් ගැන මොකවත් නොලියන්න පුළුවන්

සුළු දෙයක් සිදු උනත් දෙමෙළෙකුට

කිපෙන්නේ ඇයි මෙලෙස

නුඹලා චෝදනා කරන්නට පුළුවන්

සමාවෙන්න ආයෙත් හිත තැලුනොත්

දෙමෙළෙකුගේ මරණයක් ගැන

මතත් කර කියන කවියක හැඩ ගත් වැකිවලට

2007 අප්‍රේල්

චෛත්‍ය පාරේ චෛත්‍ය අභියස

ටී අයිඩී(TID) හිරගෙය

හිරු නොදකින බිංගෙය

බ්‍රොයිලර් කුකුල්ලු වගේ

ටියුබ් ලයිට්වලින් හම සුදුවෙන

හිරිහැර වධ බලාපොරොත්තුවක

මැරී නොමැරෙන අනේක මොහොතක

ගෙන යති කූඩුවෙන් බූස්සට

තහවුරු උනත් නැතුවත්

රැඳවුම් නියෝග අත්සන අරන් ඇවිදින්

ආරක්ෂක ලේකම්ගෙන්

ත්‍රස්තවාදී පණතට අනුව

ගෝපීදාස් ගෙනාවා කුදලා

අල්ලාගෙන කටුනායකින්

රතු කුරුසෙන් ද ආවා

එම්බසියෙන් ද ආවා

පුරවැසි එංගලන්තෙන්

අපි හිතුවා වැරදියි

එයා නම් ඉක්මනට පිට වෙයි

කෙමනකට අසුවුණ මෝරෙක්

ටීඅයිඩී කාරයන්නට

ගන්න පුළුවන් හැමදේම

අත යටින් අරගෙන

තද කර උන්ගෙ නීතීය

උන්ටම ඕන විදිහට

ලෙඩ උණා ආ හැටියේ

බෙහෙත් ලැබුනේ උන්ගේ කැමැත්තට

දාහේ කොළ එලියට

අදිනකං හිටියෝය සමහරු

අප්‍රෙල් 12

අපි ගියා බූස්සට

ත්‍රස්තවාදී වීසා ගසාගෙන

ගෝපිත් ආවේ

මාස තුනකුත් පසුකර



ජූනි 26

අපි ගියා කොළඹට

කොළඹින් වැලිකඩට

මැගසින් සීආර්පී(CRP) මැදුරට

බසය පුරවාගෙන

තුවක්කුද මානා

දෑතට දැමූ මාංචුවලට

බූස්සේ එකට හිටි

දකිනෙමු අපි ඉඳහිට

අලුත්කඩේ

පාතාල උසාවිය ඇතුල වැලිකඩ

වරක් දෙවරක් දුටුවා

ගෝපිත් ඇවිත්

බූස්සේ මායිම පැනලා

2014 පෙබරවාරි

මම කොම්පියුටරය අභියස

හෙඩිමකින් දුටිමි නුඹගේ මරණය

සැනසිල්ලක් නොදෙන

වරින්වර පොරවකින් පපුවට කොටන

මතකයන් ඇයි මෙහෙම අවුස්සන

2009- 2014 කාලය

අහන්නට ලැබෙන්නැති

වැඩිම තරමින් දෙවරක්

එහෙත් නොදනී නුඹ හිටිය වග තවමත්

ඉක්මනින් යයි කියා හිතුවත්

තේරෙන්න ගතවුනා කාලයක්

ඒත් උඹ ගෙනෙහින්

අරගෙන මිනී මරුවන්

2014 පෙබරවාරි 26

ප්‍රවෘත්ති එක එක මානයෙන්

පෙරල පෙරලා

කපා කෙටුවත්

හිරගෙදරක තරම

හිරකරුවෝ දනිති

නිලදරුවන්ගෙ තරම

හිරකරුවෝ දනිති

විනිසුරුවන්ගේ තරම

හිරකරුවෝ දනිති

වෙද මහතුන්ගේ තරම

හිරකරුවෝ දනිති

උන්ගෙනුත් දෙමළ කොටි

සිරකරුවන්ගේ තරම

හොඳටම දනිති

ගෝපි නුඹ මැරුවාද

මැරුනාද මරුවෝ දනිති

නීතියත් යුක්තියත් දනිති

ඇසුත් කටුත් ආත්මයත්

මුකවාඩමකින් බැඳපු

දෙමළෙකු ද කොටියෙකු ද බැවින්

මිනිස් අඩකි පවක් නොකළෙන්

ගෝපි නුඹ ද තවත් සිරුරකි

දහසක් මළ කඳන් අතරින්

udayaඋදය ආර්. තෙන්නකෝන් | Udaya R. Thennakoon