Image Credit: japantimes

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජානාවලීයේ දළ පිටපතක් නිකුත් වී ඇත. එය ලංකා ආණ්ඩුව සිංහලයින් මෝඩයින් කිරීමේ තවත් මෙවලමක් ලෙස පාවිච්චි කොට මැතිවරණය ජයගැනීමට යන්ත දැරීම එක් කතාවකි. රාජපක්‍ෂ සහ දේශප්‍රේමී “භාග්‍යවන්තයින්/පින්වතුන්” එය පැවැත්වීමට නියමිත නළු නිළි මැතිවරණයෙදී සිදුකරනු ඇත. කෙසේ වෙතත් අදාළ යෝජනාවලීය, සිතන තරම් භයානක නැත. නමුත් රාජපක්‍ෂ වැනි බොරුකාරයෙක් හමුවේ එය භයානක නොවන්නේද නැත. සෑම විටම සිංහලයින්ගේ අනුකම්පාව දිනාගෙන මහජන මුදල් නාස්ති කරමින් කැබලි කොට පවත්වන මැතිවරණ කෙසේ හෝ ජයගෙන වීරයින් වීමට යන්ත දරන රාජපක්ෂ සහ ඔහුගේ සහයින් මෙය කිසිඳු ආකාරයකින් බරපතල දෙයක් ලෙස සිතා කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඒ වෙනුවට අනෙකාට චෝදනාකරමින් තමන් විසින් තම ජනතාවට කළ අපරාධ වැසීමට යන්ත දරණු ඇත. මතක තබා ගත යුතු කාරණය වන්නේ මෙම චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා හමුදාව හෝ අනෙක් පාර්ශවයන් වෙනත් රටක සාම සාධක බලඇණියක් ලෙස හෝ වෙනත් කොල්ල කල්ලියක් ලෙස ගොස් කළ මිනිස් ඝාතන ගැන නොවේ. මෙම චෝදනාව නැගෙන්නේ මෙම රටේම ජීවත් වූ අපේම ජනතාව මරා දැමීමට එරෙහිවය.

අදාළ යෝජනාවලියෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද? එය තෙවන වරටත් ඉල්ලා සිටින්නේ ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවයයි. ඊට ජාත්‍යන්තර මැදිහත්වීමක් කළ යුතු යැයි තවමත් සඳහන් කොට නැත. නමුත් මෙම තුන්වැනි අවස්ථාවෙන් පසුත්, රාජපක්ෂ ස්වාධීන පරීක්ෂණයක් කොට යුක්තිය පසිඳ ලීමට නොහැකි නම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය අදාළ යෝජනාවලිය සඳහන් කරනු ලබයි. මෙය අතිශය වැදගත් සහ තම අභිමතය ලෙස කටයුතු නොකොට අවශ්‍යතාවය නීතියකට පෙරළීමට යන්ත දැරීමකි.

ජනාධිපති රාජපක්ෂ හෝ ඔහුගේ සහෝදරයෙකු මෙරට මංකොල්ල කෑමේ වරදට හේග් නුවර අපරාධ අධිකරණයට ගෙන ගොස් විදුලි පුටුවේ වාඩි කිරීමේ උමතුවක් ලංකාවේ රාජපක්ෂට සහ ආණ්ඩුවට හැර වෙන කිසිවෙකුට නැත. පළමුවෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව තවමත් අත්සන් කොට නැත. අනෙක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීම සඳහා පියවර ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට දැන්වීමට තවමත් අවස්ථාව උදා වී නොමැත. ඊට පෙර ජාත්‍යන්තර අපරාධ අධිකරණය පැත්තෙන් කෙන්යාව, උගන්ඩාව ඇතුළු අප්‍රිකාවේ රටවල් කිහිපයක නායකයින්ට එරෙහිව විභාග වන නඩු පවත්වාගෙන ගොස් අගතියට පත් පාර්ශවයට යුක්තිය සිදු කළ යුත්තේය. අනෙක් පසින් ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාව, සිරියාව සහ අනෙකුත් ප්‍රධාන පෙලේ රාජ්‍යන් වල පවතින තත්වය දැඩි සැලකිල්ලට ගත යුතුව ඇත. විශේෂයෙන්ම මේ දිනවල යුක්‍රේනයේ පවතින තත්වය ජාත්‍යන්තර දේශපාලනය තුළ මහත් සැලකීමට භාජනය වූ සිදුවීමකි. මෙම සන්දර්භය හමුවේ ශ්‍රී ලංකාවේ තත්වයට ජාත්‍යන්තර මට්ටමේ මැදිහත්වීමක් සිදු කිරීමට පෙර දේශීයව ගැටලුව විසඳා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

අදාළ අවස්ථාව ලබාදීම බොහෝදුරට කේන්ද්‍රගත වී ඇත්තේ LLRC වාර්තාව සහ එහි අඩංගු ප්‍රතිසංයෝජනා මතය. ආණ්ඩුව දිගින් දිගටම ආදාල යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම මඟහරිමින් සිටියි. එම මඟහැරීමට මූලික හේතුව, ආණ්ඩුවේ දේශාපලන බලය රඳා පවතින්නේ ‘ආණ්ඩුව විසින්’ ඇතිකරනු ලැබූ අන්තවාදීන් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ වීම නිසාය. ආණ්ඩුව කෙතරම් දුරට එම උගුලට හුසුවීද යත්, එක්තරා අන්තවාදී පක්ෂයක පුද්ගලයෙකුගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂය. එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් පමණක් නොව සදාචාරාත්මක වශයෙන්ද හිතාමතාම සිදුකළ නුගුණකි. එය පිළිගනුවෙනුවට අදාළ පක්ෂ සාමාජිකයා, සිදුකරනු ලැබුවේ තම රුපියල් සීයේ ව්‍යාපාරය සාර්ථක යැයි පණ්ඩිත කතා කියමින් රටට සහ මැතිවරණ කොමසාරිස්වරයාට නීතිය ඉගැන්වීමය. මෙවැනි විගඩම් මත ක්‍රියාත්මක වෙන පාලනයකට මෙම තෙවැනි අවස්ථාවත් හිස් කාලය කා දැමීමක් පමණක් වීමේ අවදානම තිබේ.

කෙසේ වෙතත් පවතින තත්වය අතිශය බරපතල වුවහොත් රාජපක්ෂ ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීම සඳහා වෙස් පෙරළා ගනිමින්, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉන්දියාවේ සහෝයෝගය මත සිදු කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ සම්භාවිතාවය අඩු නැත. මන්ද මේ වන විට ආණ්ඩුව විසින් තම අකටයුතුකම් වසාදැමීම සඳහා ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවේ ගත කළ කාලය ඉදිරියට ගෙන ඒම සහ ඒ වටා ගොඩ නැගෙන දේශාපලන සමීකරණය අවසානයේදී වෙනම හැඩයක් ගෙන කලාපයේ සෙල්ලම් කරනු ඇත.

එම සියල්ල තීරණය වීම සඳහා තවත් කාලයක් ආණ්ඩුවට ලබා දී ඇත. බෝලය තවමත් රාජපක්ෂ සතුය. ඔහු සහ ඔහුගේ කෞශල්‍ය මත ඔහුගේ පැවැත්ම මෙන්ම ජාතන්තර මැදිහත්වීම නමැති කාරණා කාලය විසින් තීරණය කරනු ලබන සිදුවීම් දෙකකි. ගෝටාස් වෝර් ( ගෝටාගේ යුද්ධය ), ගෝටාස් රෙස්පොන්සිබ්ල් (ගෝටාගේ වගකීම) බවට හැරෙමින් පවතී. වගකීම් දැක, දිවි බේරාගැනීම සඳහා රටින් පැන්නා සේ මෙම ජවනිකාවද එසේම අවසන් වේ යැයි කිව නොහැකිය. මන්ද මාර්කෝස් විසින් ගුවන් තොටුපලේදීම මරාදැමුනු අකිනෝගෙන් පසු මාකොස්ව මට්ටු කිරීමට, පිලිපීන ජනතාව එකතු වූ ආකරයෙන් සහ අකිනෝගේ බිරිඳ පෙරමුණ ගත් ආකාරයෙන් මෙරට සාමාන්‍ය ජනතාවට තම ඇස් අන්ධ කරවනු ලැබූ වශීය ගලවා ගැනීම සඳහා ගුරුකම් රැසක් සිදුකළ යුතුව ඇත.

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa