‘‘රැකි ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය තීව්ර කිරීමක්‘‘ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ, ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ඉන්ෆොර්ම් ආයතනයේ උපදේශක රුකී ප්‍රනාන්දු සහ සාමය හා ප්‍රතිසංධානය පිලිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රවීන් පියතුමා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීම දැඩිලෙස හෙලාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිඳු හිරිහැර කිරීමකින් තොරව ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අවධාරණය කරන්නෙමු.‘‘

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරැ, සුනිල් ජයසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම සම්පූර්න මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ඉන්ෆොර්ම් ආයතනයේ උපදේශක රුකී ප්‍රනාන්දු සහ සාමය හා ප්‍රතිසංධානය පිලිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රවීන් පියතුමා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීම දැඩිලෙස හෙලාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිඳු හිරිහැර කිරීමකින් තොරව ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අවධාරණය කරන්නෙමු .

රුකී ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උනන්දුවකින් යුතුව මැදිහත් වන ප්‍රමුඛ පෙලේ ක්‍රියාධරයෙකු වන අතරම මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා නිරන්තර කැපවීමකින් කටයුතු කරන්නෙකු ලෙස තම සහෝදර ප්‍රජාවගේ ගෞරවයට පත් අයෙකි. එමෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමීපතම හිතවතෙකි. ඔහු සමග අත්අඩංගුවට ගෙන ඇති ප්‍රවීන් පියතුමා උතුරේ ආගමික හා මානව හිමිකම් උදෙසා සිදුකරන කැපවීම හේතුවෙන් ජනතා ප්‍රසාදය දිනාගත් ආගමික නායකයෙකි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර තලයේ දැඩි අවධානයක් යොමුව ඇති වකවානුවකදී රට තුළ සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය තීව්ර කිරීම මෙම සිදුවීම මගින් තවදුරටත් සනාථ කර තිබේ. රටේ දේශපාලන හා අනෙකුත් බලධාරීන් විසින් සිදුකරමින් සිටින මෙවන් අදුරදර්ශී ක්‍රියාවන්හි ප්‍රතිවිපාක හේතුවෙන් රට හා රටේ ජනතාවට බලවත් අනතුරුදායක තත්වයකට මුහණ දීමට සිදුවිය හැකි අවදානමක්ද මතුව ඇති පසුබිමක මෙවැනි සිදුවීම් හරහා රටක් ලෙස අප ලෝකයට ලබා දෙන පණිවිඩය අතිශයින්ම බිහිසුණුය.

එබැවින් අප මේ මොහොතේ ශ්‍රී ලංකා රජයෙන් හා අදාළ බලධාරීන්ගෙන් ඉතාම බලවත් ලෙස ඉල්ලා සිටින්නේ රුකී ප්‍රනාන්දු හා ප්‍රවීන් පියතුමා වැනි මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන් වහාම නිදහස් කරන ලෙසය. එමෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව එල්ලවන මර්ධනය වහා නතර කරමින් ශ්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

සුනිල් ජයසේකර,
කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.