ත්‍රස්ථ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ගොනු නොකර නිදහස් කළ මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනෙක් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට කිසිදු දේශීය හෝ විදේශීය මාධ්‍යකට කතා නොකරන ලෙස බළධාරීන් උපදෙස් දී ඇතැයි අද(21) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජේ්‍ය්ෂ්ඨ නීතිඥ ජේ. සී වැලිඅමුණ මහතා පැවසීය. එම නියෝගය වන්නේ,

‘‘ඔබ, ත්‍රස්තවාදි විමර්ෂණ කොට්ඨාශය සිදු කරමින් පවතින විමර්ශණවලට අදාල තොරතුරැ හෝ ප්‍රකාශ දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයන්ට ලබා දීමෙන් මෙම නඩුවේ ඉදිරි විමර්ශණවලට බාධා විය හැකි බැවින් එයින් වැළකී සිටින ලෙස නියෝග කරමි.‘‘ යනුවෙනි.

කෙසේ නමුත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර බළධාරීන් බාරයට ගෙන ඇති බවත් ආරංචිමාර්ග පවසන අතර ඔවුන් භාවිතා කරන පරිඝණක ඇතුලු සංන්නිවේදන උපකරණ ද එසේ බළධාරීන් බාරයට ගැනීමේ සූදානමක් පවතින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ජනතාව නොමග යවන රජයේ නිළ ප්‍රකාශ

මානව හිමිකම් ආරක්ෂකයින් වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පසුගිය ඉරිදා(16) අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොන්දේසි හෝ ඇප රහිතව නිදහස් කරනු ලැබූහ. කෙසේ නමුත් ඔවුන් නිදහස් කිරීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවිය වාර්තා කර සිටියේ ඔවුන් ඇප මත මුදා හැරිය බවයි. මේ පිලිබදව අදහස් දැක්වූ, නීතිඥ වැලිඅමුණ මහතා, ‘‘ඔවුන් නිදහස් කලේ කිසිම කොන්දේසියක් රහිතවයි. ඒ නිදහස් කලාට පස්සේ විදේශ අමාත්‍යංශය මාර්තු 19වනදා නිළ නිවේදනයක් මගින් කියනවා, ඔවුන් දෙදෙනා නිදහස් කළේ ඇප මත කියලා. එහෙම ඇප මත කියලා එකක් නෑ. ඔවුන් නිදහස් කළේ සම්පූර්ණයෙන් කොන්දේසි විරහිතවයි. ඒ නිසා රජයේ නිළ අමාත්‍යංශයක් ජනතාව නොමග යවමින් කරන ලද මේ වගේ දේවල් වලටත් උත්තර දෙන්න අපිට සිද්ධ වෙනවා.‘‘

ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධානවල නියෝජිතයින් වන, ආචාර්ය පාක්්‍යසෝති සරවනමුත්තු, නීතිඥ ජේ. සී වැළිඅමුණ, නීතිඥ සුධර්ශණ ගුණවර්ධන, නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, මාධ්‍යවේදී සුනිල් ජයසේකර සහ ඉන්ෆෝම් ආයතනයේ උදය කලුපතිරණ මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් විය.

නිදහස් කරන ලද එහෙත් අනියම් ආකාරයෙන් විවිධ ආකාරයේ හිරිහැරවලට මේ වන විට ලක් ව ඇති මානව හිමිකම් ආරක්ෂකයින් වන රැකී ප්‍රනාන්දු සහ මහේසන් ප්‍රවීන් පියතුමන් සහ දැනට රදවා ගැනීමේ නියෝග යටතේ රදවා සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි යන අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ඉදිරියටත් ක්‍රියාකරන බවට එම මාධ්‍ය හමුවට පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේ අනිකුත් තොරතුරැ ඉතා ඉක්මනින් ‘විකල්ප‘ වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වන්න.

© Vikalpa