Image: oneislandtwonationsblogspotcom

අපේක්ෂා කළ පරිදිම ආණ්ඩුව තම පරාජය වසා ගැනීම සඳහා ලංකාවේ ජංගම දුරකථන ජාලයට තම ගණිතමය උපක්‍රමය ඉදිරිපත් කළේය. එය කාලයක් තිස්සේ ජනාධිපති රාජපක්ෂ රටේ ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් සිදුකරන තවත් එක් උප්පරවැට්ටියකි. ඛේදජනක විහිලුවක දුගඳ මුලු රට පුරාම පැතිරේ. කදිමය, ආණ්ඩුවේ මතයට අනුව ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 25 වන සැසිවාරයේදී ඉදිරිපත් කළ තෙවැනි යෝජනාවලීයට සාර්ථකව මුහුණ දී ඇත. අතිශය කැපකිරීමක් කරනු ලැබූ ලංකාවේ විදේශ අමාත්‍යංශය තම නව අවුරුදු රබාන තළමින් සිටින ආකාරයෙන්ම ආණ්ඩුවේ සැබෑ අසමත් භාවය සහ අමනකම මුළු ලෝකයම දන්නේය.

ලෝකයටම ණයකාර වී සිටින රටක් මේ වනවිට ලෝකයේම අපකීර්තියට ලක් වී තිබේ. තම වෙළඳ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඇතැම් රටවල් රටේ ආණ්ඩුව ගැන විවිධ මුසාවන් ඉදිරිපත් කළද ඇත්ත හමුවේ රාජපක්ෂ හිරවී ඇත්තේ අතිශය බැරෑරුම් උගුලකය. ඔහුට කිරීමට ඇති එකම විකල්පය මීට මුහුණ දීම හෝ රට තව දුරටත් හුදෙකලා කිරීම පමණි. ඔහුට මැතිවරණ කැබලිවලට කඩමින් මැතිවරණ සියගණනක් පැවැත්විය හැකිය. එසේම තමන් වටා සිටින දේශප්‍රේමී, දේශහිතෛශීන් පිරිස සමඟ ඕනෑම කටයුත්තක් කළ හැකිය. පළාත් සභා එකිනෙක වෙන් කොට පමණක් නොව එකම පළාත් සභාවද කඩමින් මැතිවරණ පවත්වා “රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය” ගැන ලෝකයට බණ සිංහලෙන් කීමට හැකිය. කෙසේ වෙතත් මෙවැනි විකාර රූපයන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීතියට අදාළ නැත. එසේම, මින් ගැලවීම සඳහා රාජපක්ෂට, ආණ්ඩුව තුළ හෝ මිලිටරිය තුළ පාවාදීමට හැකි චරිතයක්ද නැත. මේ සියල්ල රාජපක්ෂලාගේ ලකුණු දමාගැනීමේ උමතුව සහ ධනය “දේශප්‍රේමීව” මංකොල්ලකෑමේ පෞද්ගලික විපාකයන්ය. මුළු රටක් අනතුරේ හෙලා ඇත්තේ ඔවුන්ගේ එම පටු අභිමතාර්ථයක් ඉටුකර ගැනීමට ගොසිනි.

අදාළ යෝජනාවලීයෙන් ඉදිරිපත් කරන මූලික හරයන් මඟහරවා ගැනීම සඳහා රාජපක්ෂ ආණ්ඩුවේ අන්තවාදීන්, යුද්ධයේ අවසන් වූ අදියරේ පමණක් නොව 1983 සිටම පරීක්ෂණ පැවැත්විය යුතු බව කියති. ඉන් පසු එහිම සාමාජිකයින් ලන්දේසීන් මෙරටට පය තැබූ දිනයේ සිටම සිදු වූ මානව හිමකම් උල්ලංඝණය වීම ගැන වාර්තා සැකසිය යුතු බව කියන්නට වූහ. සැබවින්ම ලන්දේසීන් ආ දා පටන් නොව, කුවේණිට අතවර කළ විජය නමැති හිතුවක්කාර පුත්‍රයා කළ සල්ලාලකම හෙවත් ජාතියට පුහු මානයක් සහ මෝඩකමක් ජනිත කළ සිදුවීමේ සිටම තම තමන්ගේ වාර්තා සකස් කරගන්නේ නම් මනාව වටින්නේය. එවිට බොහොමයක් දේශප්‍රේමය බදාගෙන සිටින අයවලුන්ගේ මෝහය නමැති වස්ත්‍රය ඉවත් වී උවමනාවක් තිබේනම් මෙරට වෙසෙන සාමාන්‍ය මිනිසුන් අතර සමඟිය ඇති කිරීමට මොළය කළඳක් හෝ පෑදෙනු ඇත.

කෙසේ වෙතත් අදාළ යෝජනාවලීයේදී සිදු වූ බොහොමයක් සාමාන්‍ය කාරණා ගැන මා විසින් ඊයේ සඳහන් කරනු ලැබීය. නමුත් මෙහිදී තවත් විශේෂ කාරණය දෙකක් සැලකිල්ලට ගැනීම වැදගත් වේ. පළමුවැන්න නම් ඉන්දියාව අදාළ යෝජනාවලීයට තම මතය ඉරිදිපත් කිරීමෙන් වැළකී සිටිමයි. එය ජනාධිපති රාජපක්ෂ, අගමැති මන්මෝහන් සිං සමඟ ඇතිකරගත් පූර්ව දේශපාලන එකඟතාවයකි. එය සිදුවූයේ මීට සති කිහිපයකට පෙර ඔහු අගමැතිවරයා බුරුමයේදී හමු වූ අවස්ථාවේදීය. පළමුව එය ඉදිරිපත් වූයේ සලකා බැලීමට හැකි උදව්වක් ලෙසය. ඉන්පසු ඉන්දියාව යෝජනාවලීයට ඡන්දය දීමෙන් වැලකී සිටීම ගැන ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂ ඉන්දියාවේදී නිල වශයෙන් දැනුම් දෙනු ලැබූ බව, එරට විදෙස් කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ගය සඳහන් කළේය. කෙසේ වෙතත් ඒ වන විටත් සියලුම පාර්ශවයන් අදාළ යෝජනාවලීයෙන් ලංකාව පාරාජය වන බව දැන සිටියහ.

ඉන්දියාව සමඟ ඇතිකර ගත නිරුවත් දේශපාලන ගනුදෙනුවේ ප්‍රතිඵලය ලංකාවේ දේශප්‍රේමී නායකයා අද සිදු කළේය. එනම් ඉන්දීය ධීවරයින් සියල්ලම නිදහස් කරන බව දැනුම් දීමයි. නමුත් ඉන්දියාවේ සිරගත කොට සිටින ලාංකීය ධීවරයින් ගැන ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව සේම ප්‍රාන්ත ආණ්ඩු අතිශය ක්‍රමෝපායිකව කටයුතු කරනු ලබයි. රටේ ධීවර ගැටලුව, පරාජය වූ යෝජනාවලීයේ එක් ඡන්දයකට බාල්දු කිරීම රටේ නායකයාගේ ඇති සැබෑ සංවේදී නායකත්වය කදිමට පෙන්වීමකි. මෙවැනි දෑ සරලව හැඳින්වෙන්නේ කණාපල්ලම් දේශපාලන ගනුදෙනු ලෙසය. සියලුම රටවල් තමන්ට එරෙහි වුණත් ගැටලුවක් නැතිබව කියන රාජපක්‍ෂ සැබෑ සන්දර්භය තුළ කොටු වී සිටින ආකාරය මෙවැනි දෑ වලින් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

එමඟින් අදාළ යෝජනාවලීය සම්මත කරගත් දිනයේ වූ අනෙක් සිදු වීම ගැන විමසිය හැකිය. එය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේදී සිදුවිය. එය ක්‍රිමියාව සම්බන්ධයෙන් ඇති වූ තත්වය (පැවැත් වූ ජනමත විචාරණය) මුලික කොට ගනිමින් යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාවය ගැන යෝජනාවක් ගෙන එනු ලැබුවේය. ඒ සඳහා ඡන්දය ඉදිපත් කිරීමට සාමාජික රටවල් ඉතා විශාල ප්‍රමාණයක් සහභාගී වූහ. ලංකාව එහිදී ගත් ස්ථාවරය කදිමය. එනම් අදාළ යෝජනාවලීයට ඡන්දය දීමෙන් වැළකී සිටීමය. රුසියාවට එරෙහි යෝජනාවලීයක් වූ එය, රුසියාවට පක්ෂව ඡන්දය දෙනු වෙනුවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ලංකාව තීරණය කළේය. මෙය මීට දින කිහිපයකට පෙර ක්‍රිමියාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි ආණ්ඩුව සහ මෙන්ම ලංකාවේ යෝජනාවලීයට පක්ෂව ඡන්දය දුන් රුසියාව සම්බන්ධයෙන් ලංකාව දක්වන සැබෑ දෙබිඩි පිළිවෙතයි. ලංකා ආණ්ඩුවට තම මිතුරා වෙනුවෙන් හෝ පෙනීසිටීමට නොහැක්කේ, ආණ්ඩුව වැටී සිටින සැබෑ ආරවුල ගැන ක්‍රමයෙන් ආණ්ඩුවට අවබෝධ වෙමින් සිටින නිසා විය හැකිය.

කෙසේ වෙතත් ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයකට ලංකාව තල්ලු වී ඇත. මෙය ජනතාවගේ පැත්තෙන් සුභ වාදී බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එහි ඇති සුභාවාදීභාවය තීරණය වන්නේ තනි පුද්ගලයින් ලෙස රටේ ජනතාවට ගත හැකි තීරණය සහ එම තීරණය වෙනුවෙන් සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව මතය. ආඩම්බරකාර බාප්පාලා හෝ තාත්තාලා පළාත් සභා මැතිවරණයෙන් පසු තම “ප්‍රජාතන්ත්‍රවාදය”, නමැති සුපුරුදු දේශප්‍රේමී සංගායානාව සිදු කරනු ඇත. නමුත් ඇත්ත හමුවේ මෙකී තාත්තලා ද , බාප්පලා ද තනමින් සිටින්නේ, ඉරාකයේ සදාම් හුසේන් අල් ටික්‍රිට් හී තැනූ මීගුල සහ ඒවාට සුරක්ෂිතව රිංගා ගැනීමේ වැඩපිළිවෙලයි.

indexනිලන්ත ඉලංගමුව ‍| Nilantha Illangamuwa