දේශපාලනය කියන්නේ පූර්ණ කාලීන ක්‍රියාවලියක්, මට නම් හිතාගන්නවත් බැහැ විශාල වශයෙන් තමන්ගෙ පුද්ගලි ව්‍යාපාරයක යෙදෙන කෙනෙකුට දේශපාලන සංවිධානයක් ජයග්‍රාහී මාවතකට ගෙනියන්න පුළුවන් කියා. මම අදහස් කරන්නේ දේශපාලන සංවිධානයකට මුදල් යෙදවීමයි, ඒ හා සමගාමිව සංවිධාන කටයුතු වල තනතුරු දැරීමයි කල හැකි දෙයක් නෙමෙයි. විශේෂයෙන් ජාතික සංවිධායක වගේ තනතුරු වගේ දෙයක් කිසි සේත්ම කල නොහැකි බවයි මගේ හැගීම.

එක්සත් ජාතික පකෂයේ දේශපාලන ඉතිහාසය ගත්තම සාමාන්‍යයෙන් ගැනෙන්නේ ධනවාදී දේශපාලනය පක්ෂයක් හැටියටයි . ඒක තමයි සාමන්‍ය දේශපාලන මතය. ධනවාදී රටක් නොවන ශ්‍රී ලංකාවේ හැබැයි ධනවාදී දේශපාලන පක්ෂයක රටේ පාලන බලය අතීතයේ අහිමි වෙන්නේ මීට වසර 18 ට කලින්. ඒ කියන්නේ චන්ද්‍රිකා යුගයට කලින්, චන්ද්‍රිකා ට කලින් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ප්‍රේමදාස සහ J.R. යුග වලදී එම පක්ෂය තුල ප්‍රධාන අය තමයි හ‍ර්ෂ අබේගුණවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ගාමිණී අතුකෝරල වගේ අය හා ඒ සමගාමිව අනෙකුත් අයත් මූලිකව ගත්තොත් පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදුණ අයයි. ඒ නිසා තමයි ඔවුන්ට නැවත නැවතත් බලය රැක ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වකවානුව තුල එක්සත් ජාතික පක්ෂය ධනවාදී පක්ෂයක් වශයෙන් පෙනිසිටියත් පුද්ගලික ව්‍යාපාර වල නම් දරපු අයට පක්‍ෂයේ ජාතික දේශපලානය තුලට පැමිණීමට හා ප්‍රසිද්ධ තනතුරු ලබන්න හා ලබාගැනීමට ඉඩ කඩක් තිබුනේ නැහැ.

J.R. යුගයේදී යම්කිසි රාවයක් තිබුනා මහා ධන කුවෙරෙයෙක් වන උපාලි විජේවර්ධන පවා මුදල් ඇමතිකම හරහා තනතුරු දේශපාලනයට සම්බන්ද වෙන්න. එත් J.R. ජයවර්ධන ජනාධිපති ඒ දෙය කෙලින්ම ප්‍රතික්ෂේප කලා කියලයි කියන්නේ. මොකද ව්‍යාපාරිකයෝ හිටියේ තිරය පිටිපස්සේ. පිටි පස්සේ තියාගෙන ඉදලා තමයි උදවු ගත්තේ හා උදවු කලේ. එය ඉතාමත් සාර්ථක ක්‍රමයක් බව ඉතිහාසය මේ වෙනෙකොට අපිට උගන්වලා තියනවා.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ මෙම ක්‍රියා කලාපයේ යම්කිසි වෙනසකට ලක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ කාලය තුලයි කියන එක තමයි මගේ හැගීම, මොකද ඔහුට සිද්ද වෙනවා එක දිගටම සිදු වෙන පරාජයන් හමුවේ තිරය පිටිපස්සේ හිටපු ව්‍යාපාරිකයෝ ඉස්සරහට ගෙනල්ලා ක්‍රියාකාරී දේශපාලනයට සම්මාදම් කරගන්න. හරියට ඔවුන් එන්නේ පැරිෂුට් එකකින් වගේ. අඩුම ගානේ ගේන්නේ ප්‍රාදේශීය නායක මට්ටමින් වත් නෙමෙයි කෙලින්ම පර්ලිමෙන්තුවටම හෝ ආසන සංවිධායක මට්ටමටම ගෙනාපු හා ගේන ප්‍රවනතාවයක් තමයි දකින්න තියෙන්නේ.

උදාහරණයක් හැටියට කරු ජයසූරිය, රවී කරුණානායක, දයා ගමගේ වගේ අය ගන්න පුලුවන. මෑතකදී මහර සංවිධායක දුන්නෙත් රාජපක්ෂ ඉදලා ආපු ව්‍යාපාරිකයෙකුට.

ව්‍යපාරිකයා කෙසේවත් තම ව්‍යාපාරය දේශපාලනයට පාවලා දෙන්නේ නැති වුනත් දේශපාලනය නම් ව්‍යාපාරයට පාවලා දෙන ප්‍රවනතාවය වැඩියි.

මිලින්ද මොරගොඩ වගේ දේශපාලඥයෝ කලේ ඒ දේ තමයි මොවුන් ජාතික දේශපාලනයට ගෙනල්ලා රනිල් කලේ ඓතිහාසික වැරද්දක්, එකම වැරැද්ද නැවත නැවතත් කරන එක නවත්වන්න ඕනි. ඒ වැරැද්ද ඔහු නිවැරදි කල යුතුයි කියා දැනුවත් කිරීම විනා රනිල් වික්‍රමසිංහ ව දේශපාලනයෙන් එලව දැමීම නොවෙයි මේ ලිපියේ අබිලාශය.

ඉහත කාරනා නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණට පුලුවන් වෙන්නේ රවි කරුණානායක ගැන හා දයා ගමගේ ලාගේ ක්‍රියා කලාප ගැන දේශපාලන වේදිකාවේ පතුරු ගහන්න. ව්‍යාපාරිකයන් ගෙන් වැඩ ගන්න නමුත් ඔවුන්ව ජාතික දේශපාලනයට හදුනවා දීම හරියට දැලි පිහියෙන් කිරි කනවා හා සමානයි.

ඔවුන් ගේ අභිලාෂයන් රැදී තිබෙන්නේ මුදල් මතයි. ඔවුන් ඕනම වෙලාවක විකිණෙන්න, විකුණන්න ලැහැස්ති වෙලා ඉන්නෙ. මුදල නිසා ආත්ම අභිමානය, ගෞරවය කියන දේවල ඔවුන් හිතන්නේ මුදල් මත රදා පවතින බවයි.

ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය හෝ පාලක රාජපක්ෂ පෙරමුණේ දේශපාලකයෝ ඡන්දෙන් පස්සේ පෙන්න නැත්තේ, මොකද ඔවුන් පූරණ කාලීන දේශපාලකයෝ නොවෙන නිසයි .

ඒ වගේම ඉහත වැරැද්දම පාලක රාජපක්ෂ පක්ෂය වැඩිය හොදින් මේ වෙනකොට කරමින් සිටිනවා වුනත් එහි ප්‍රතිවිපාක නොවිදෙන්නේ තවමත් ඔවුන් බලයේ සිටින නිසයි. අනාගතයේදී එහි ප්‍රතිවිපාක ඔවුන් නිසැකවම බුක්ති විදියි එහි කිසිම සැකයක් නැහැ. ව්‍යාපාරිකයන් දේශපාලනයට එන්නේ කුමකටද කියා අමුතුවෙනේ හිතන්න විශාල බුද්ධියක් අවශ්‍යද?

මොවුන් කුමන සුවරූපයෙන් ආවත් සිද්ධ වන්නේ සිදුනොවිය යුතු දෙයමයි. ඒ සැකය මේ වෙනකොට ඔප්පු වෙලා තියනවා හා තව දුරටත් ඔප්පු වෙමින් පවතිනවා. හේතුව ඔවුන් කිසිම කෙනෙක් ව්‍යාපාර වලින් විශ්‍රාම අරගෙන ක්‍රියාකාරී දේශපාලනයට සමබන්ධ නොවෙන නිසා. එය තමයි කටුක සත්‍ය.

ව්‍යාපාර හෝ ක්‍රියාකාරී දේශපාලනය හෝ වේවා වෙන් වෙන් වශයෙන් ගත්තොත් දෙකම පූර්ණ කාලීනයි. පූර්ණ කාලින දෙකක් කොහොමද එකට කරන්නේ අනිවාර්යෙන් එකකට හෝ දෙකටම කරන්නේ වංචාවක් නැත්නම් දෙකටම කරන්නේ වංචාව.
ඒ වගේම අපේ රට තුල තවත් ඇති වී තිබෙන කතා බහක් තමයි යම් යම් වුර්තකයින් දේශපාලනයට ආදගැනීම මේ වරද්දත් විශාල වශයෙන් සිද්ද වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කියන එකයි මගේ හැගීම. ජාතික ලැයිස්තුවෙන් ඔවුන් පාර්ලිමේන්තුවට නොගෙන ඔවුන් ඡන්දෙකට මුහුණ දීලා පාර්ලිමේන්තුවට එන්න නොදී කරන්නෙත් වෙන්නෙත් වැරද්දක්. බැරි වෙලාවත් ඡන්දෙකට මුහුණ දීලා ඔවුන් පැරදුනොත් එහෙම හොයාගන්නවත් බැහැ, හේතුව ඔවුනුත් පූර්ණකාලිනයෝ නොවන නිසා, මොකද ඔවුන් දේශපාලනයේ යෙදෙනවා කියල හිතන්නේ රුපවාහිනී සාකච්ඡාවකට සහභාගිවීමයි හෝ සම්ම්න්ත්‍රණ පැවැත්වීම කියලයි. මොකද දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තුවට කතා පවත්වන එකවත්ම නෙමෙයි. පාර්ලිමේන්තුව වෙන දේවල් හා කරන දේවල ජනගහනයෙන් කීයෙන් කී දෙනාද දන්නේ හා දැනුවත්, මේ වුර්තිකයන්ට ඇයි බැරි ඔවුන් ගේ දැනුම අවශ්‍ය නම් තිරය පිටි පස්සේ ඉදලා කරන්න. ඒ වගේම අනිකුත් ප්‍රසිද්ධ චරිත ජාතික දේශපාලනයට ගෙනාවම වෙන්නෙත් ඉහත දේමයි. හැබැයි කනගාටුව ඒ දෙය නැවත නැවතත් වීමයි.

මෑතකදී ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී Paul Krugman කියන මහාචාර්ය වරයා දේශනයකදී කරුණු සහිතව පෙන්වලා දෙනවා ඉහත තත්වය. ඔහු ගේ ඒ දේශනයේ මාතෘකාව තමයි “රටක් කියන්නේ වෙළද ව්‍යාපාරයක් නෙමෙයි” කියන එක Country is not a company ඔහු උදාහරණයක් හැටියට ගන්නවා ඇමෙරිකාවේ ජෙනේරල් මෝටර් කොම්පැණි එක ජෙනේරල් මෝටර් කොම්පැනි එක කියන්නේ ඇමෙරිකාවේ ලක්ෂ ගණනක් රැකියා කරන අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ලාබ ලබන ව්‍යාපාරයක්. නමුත් මෙම මහාචාර්වරයා කියනවා මෙම කොම්පැනි එක මුලු ඇමෙරිකාවේම ආර්ථිකය ගත්තම ඔවුන් ඉන්නේ ඇමෙරිකාවේ මුළු ආර්ථිකයේ යේම ඉතාමත් සුලු තැනක, ඉහත උදාහරණයෙන් මෙම මහාචාර්යවරයා පෙන්වන්න උත්සහ කලේ රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට කොයි තරම් විශාල ව්‍යාපාරිකයෙක්ගේ වුනත් රටක් තුල ඔව්හු දායකත්වය ඉතාම සුලුයි කියන එකයි.

ඒ නිසා අපිට කියන්න තියෙන්නේ රටක දේශපාලනය කියන්නේ ඔබ වැඩ කරන අයතනයවත්, ඔබ පාලනය කරන ආයතනය වත්, ඔබ නඩු අහන උසාවියවත්, ඔබ වැඩ කරන බැංකුවවත්, ඔබ ලියන පත්තෙරෙවත්, ඔබ හසුරුවන රූපවාහිනී සම්මුඛ සකච්ඡාවවත් නෙමෙයි.

දේශපාලනය කියන්නේ නිරත්තර හැදෑරීමකින් පූරණකාලීන ක්‍රියාවලියක්. එහෙම දේශපාලකයෝ හදුනා ගැනීම හා හදුනා ගෙන ඔවුන්ව දේශපාලනට හදුන්වා දීම යි නායකත්වයේ හා අවංක දේශපාලකයාගේ වගකීම හා යුතුකම.

කිත්සිරි ලේල්වල | Keeth Lelwala