මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම යන අන්තවාදියෙක්මි.

දැන් එල්.ටී.ටී.ඊ. සංවිධානය මියගොස් ඇති තත්වය තුළ, බලකාමයෙන් මත්වූ පාලක පංතියේ අනුග‍්‍රහය ලබන ජාතිවාදී බලවේග, මේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ මිථ්‍යාව නිර්මාණය කොට ඇත. ඒ, මහජන මුදල් ඩොලර් ප‍්‍රකෝටි ගණනින් සොරකම් කරගනු ලැබීමෙන් සහ වෙනත් දේවල් අතරේ අධිකරණය අපහරණයට ලක්කරනු ලැබීමෙන් මහජන අවධානය වෙනතකට හරවනු පිණිස ය. බලය සිය සන්තකයේ තබා ගැනීම පිණිස ය. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තව පරම්පරා දහයකට අවශ්‍ය ධනයෙන් සජ්ජිත වීම පිණිස ය.

බටහිර ලෝකයා විසින් නොපවතින හතුරෙකු නිර්මාණය කොට ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්’ (තෙල් සහ වෙනත් හේතු පෙරදැරිව) නිර්මාණය කළා සේ, රාජපක්ෂ මහතා ද, ලංකාවේ මෝඩ ජනයාගේ ඇස් ඉදිරියේ (නොපවතින) ‘රකුසෙකු’ නිර්මාණය කොට, ‘මුස්ලිම් අන්තවාදය’ නමින් එය භෞතීස්ම කොට තිබේ. පාලකයන් සිය සුජාත භාවය සඳහා පූජකයන්/භික්ෂූන් මත යැපෙන අතර, පූජකයන්/භික්ෂූන් තමන්ගේ ආරක්ෂාව සහ නඩත්තුව සඳහා පාලකයන් මත යැපෙන බව ඉතිහාසය අපට කියා දෙයි. රටේ ජනතාවගෙන් බහුතරයකගේ මානසිකත්වය ගැන හොඳින් දන්නා මහින්ද රාජපක්ෂ, දෛනික ජීවිතයේ දී දිළිඳු ජනයා මුහුණදෙන, දරිද්‍රතාව, අල්ලස, අපහරණය සහ අසාධාරණය ආදියෙන් අවධානය වෙනතකට හැරවීම සඳහා බොදුබල සේනාව, හෙළ උරුමය සහ රාවණා බලය වැනි සංවිධාන කපටි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට පටන් ගත්තේය.

ජනධිපතිවරයාගේ මේ වක‍්‍ර ක‍්‍රියාකලාපය සහ ඔහුගේ පෙරකලාසිකරුවන්ගේ සක‍්‍රීය සහභාගීත්වය හරහා, ‘වැටහීමක් නැති’ සිංහල බෞද්ධ බහුතර ජනතාවක් අතරේ වපුරන, හින්දු ක‍්‍රිස්තියානි සහ (විශේෂයෙන්) මුස්ලිම් ‘පරදේසක්කාර ප‍්‍රජාවක්’ විසින් තමන්ගේ මාතෘ භූමිය වහා ගිල ගනිති යි යන භීතිය සහ අනාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය, ඔවුන්ගේ පවුල්වලට සහ දරුවන්ට උණුසුම් කෑම වේලක් සැපයීමේ ප‍්‍රශ්නයට වඩා ‘හදිසියේ විසඳිය යුතු’ ප‍්‍රශ්නයක් බවට පත්කොට තිබේ.

එසේ හෙයින්, සැබවින් නොපවතින භීතියක් සහ සතුරෙකු ගැන ජාතිවාදී දෘෂ්ටිවාදයන් හරහා අහිංසක සුළුතර ප‍්‍රජාවන්ට එරෙහිව අන්ධ අනුගාමිකයන් මෙහෙයවනු වෙනුවට, මොහොමඞ් ෆසල් නැමැති ‘ශ‍්‍රී ලාංකීය මුස්ලිම් අන්තවාදියෙකු’ වන මම, පිට කොන්දක් නැති, බොහෝ සෙයින් දූෂිත, නීතිය ක‍්‍රියාවේ යොදවන නිලධාරීන්ටත්, කහ සිවුරු හැඳගත් ජාතිවාදී නඩයටත්, ඔවුන්ගේ පාලක හාම්පුතුන්ටත්, ‘අන්තවාදයේ තර්ජනය‘ යටතේ මට එරෙහිව ‘පිරිහුණු’ අධිකරණයක හෝ වෙනත් අධිකරණයක නඩු පවරන ලෙස අභියෝග කරමි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අභිප‍්‍රායයන් සහ ජාතිවාදී කෝලාහලයක් හෝ ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට එම ආණ්ඩුව දක්වන අපසහායකත්වය ගැන හෙළිදරව් කිරීම වැදගත් වෙතත්, වෙනත් ප‍්‍රශ්න අතරේ ඊට ප‍්‍රමුඛත්වය දීම, ආණ්ඩුව අපේක්ෂා කරන උගුලට විපක්ෂය හසු කර ගැනීමක් වනු ඇත. එවැනි ජාතිවාදී කෝලාහල හෝ ජාතීන් අතර විරසක ඇති වේ නම්, මුස්ලිම් පල්ලි කිහිපයක්, ක‍්‍රිස්තියානි පල්ලි කිහිපයක් හෝ සුළු ජාතික ප‍්‍රජාව සතු ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ගිනිගත්තාවේ. සමහර විට, ජීවිත කිහිපයක් නැති වන්නටත් බැරි නැත. එහෙත්, ඒ සියල්ලට වඩා, මේ ඒකාධිපති පාලනය හැකි සෑම මාර්ගයකින්ම ඉවරයක් කර දැමීම කෙරෙහි තත්පර වීමෙන් පමණක්ම, ‘විනාශයේ ගිනිදැල්වලින්’ මේ රට ගලවා ගැනීමට හැකි වනු ඇත.

‘මුස්ලිම් අන්තවාදියෙකු’ වීමේ සුදුසුකම් ගැන කියන්නේ නම් ඒ මෙසේ ය: ජනතාව එක්සත් කිරීමට, දූෂණය හෙළිදරව් කිරීමට, අසාධාරණයට එරෙහිව සටන් කිරීමට, අපරාධකරුවන්ට දඬුවම් කිරීමට සහ මේ රටේ සංවර්ධනය සඳහා වන නව දිශානතීන් වෙනුවෙන්, ජාතිවාදයකින් හෝ ආගම්වාදයකින් තොරව, නීතිමය ක‍්‍රියාමාර්ගයන්ගෙන් අන්තයටම යාම අදහස් කෙරේ, හොඳින් සිහියට ගන්න: වෙනසක් ඇති කිරීම සඳහා බලය හෙබවිය යුතුම නැත. මෙරටේ වෙසෙන සිහිබුද්ධිය ඇති සෑම පුරවැසියෙකුම තම තමන්ගේ දායකත්වය මේ සද්කාර්යය සඳහා සපයන්නේ නම්, එම ‘ජනතා බලයම’ වෙනසක් කිරීමේ තීරණාත්මක සාධකය වනු ඇත.

මොහොමඞ් ෆසල්

| 2014 මැයි 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ I Am A Sri Lankan Muslim Extremist! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන් | Image Credit: news.xinhuanet