Image Credit: defence.lk/Jaffna glitters for Vesak

මේ මැයි මාසය ය. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක්ය. ඒ කුඩා කල වෙල් අයිනේ, දුවගොස් උණපදුරැ ගානේ උණ බට කැපූ හැටිය. රබර් වතු ගානේ දිවගොස් ඔට්ටුපාලු එකතු කල අයුරැයි. ඒ වෙසක් කූඩු සෑදිමටය. ලයිට් නොතිබුනු ඒ දවස් වල ඉටිපන්දමක් වෙසක් කූඩුවේ ගසා එය නිවෙන තුරැම කූඩුව දෙස බලා සිටීම තරම් සතුටක් එකල අපට නොවීය. හදිසියේ හුලගක් ඇවිත් වෙසක් කූඩුව පිළිස්සුනොත් ඒ තරම් නොදැනු දුකක් නැති තරම්ය.

ඒ කාලය ගෙවී ගියේ බොහෝ වේගයෙන්. ගමට ලයිට් ආවේය. උණබට හොයන් කැලෑවල බඩගාමීන් වෙසක් කූඩු සැදූ අපිට, පසුව අපට හමු වූයේ හදා නිමකල පැකට් කර, විකිණීමට තබා ඇති වෙසක් කූඩුය.

බොහෝ විට ඒවා පිළිස්සෙන්නේ නැත. හේතුව විදිලු බල්බයක් ඒ තුළට දමන නිසාවෙනි. ඒබැවින් දැන් ළමුන්ට දුකක් නොදැනෙනු ඇතැයි මට සිතෙයි.

එහෙත් අද මැයි මස කිව් සැනින් අප ඔලුතුළ මැවෙන්නේ වෙසක් වලට පුංචි සිත්වල මැවෙන සතුට නොවෙයි.

ඒ මහා වේදනාවකි. බුදුන් ගැන, අවිහිංසාව ගැන, පව්-පිං ගැන වැඩිපුරම කතා කරන මේ මාසයේදී ඒ මහා කාලකන්නි අමානුෂික තත්ත්වයක් උදා කලේය. එක් අතකින් බෞද්ධ කොඩියත්, අනෙක් අතින් තුවක්කුවත් රැගෙන සහෝදර දෙමළ මිනිසා පොළවටම සමතලා කරන ලද මාසයක් ලෙස වෙසක් මස අදුරැ කරන ලද්දේ අප නොවේ. යුද්ධය, ප්‍රචණ්ඩත්වය, මරා දැමීම් වලින් කිසිදු ශාන්තියක්, හොදක් සිදු නොවන බවට වසර ගණනාවක්ම ලෝකය පුරාම උදාහරණ දී තිබියදී, දේශපාලන ප්‍රශ්ණයකට දකුණේ ආණ්ඩුව ලබා දුන්නේ යුද්ධයයි. මහා මිනිස් ඝාතනයයි. ඇති වූ සෙතක් ඇත්තේ නැත. දෙමළ, සිංහල සහ මුස්ලිම් පමණක් නොව, ගැසූ ෂෙල් වෙඩි නිසා ගස්කොලන්ද කරටිය මුදුනෙන් බිමට පාත්විය. සතා සිව්පාවා සැගවීමට තැනක් සොයමින් අන්තිමට කුඩු පට්ටමි වී ගියේ ගුවනේ සිට අත්හරින ලද බෝම්බ නිසාය.

වේදනාවට පත් මිනිසුන් කෑ මොර දෙද්දී දකුණේ බොහෝ මිනිසුන් හිනාවෙවි කිරිබත් කා හැටි අයෙත් අමුතුවෙන් කිවයුතු නොවේ. මේ සියලුම දේ කළේ වෙසක් මසය.

අවසන, මිනිස් කැබලි පමණක් ඉතිරිවිය. අත් පා නැති මිනිසුන්ගේ විලාපය තවමත් උතුරින් ඇසෙයි. ඔවුන්ගේ ශරීරයෙන් ගලා ගිය රැධිරයෙන් තෙත් වූ පොළව මත අද ද බොහෝ දෙනා විනෝද ගමන් යන්නෙමු. ව්‍යසනයක්, අපරාධයක් මත විනෝද වන්නෙමු. අනෙකා මරා දමා, වසර 5ක් යමින් සිටියදී පවා ඒ වේදනාවන් මත විනෝද වන්නෙමු.

ඉදින් අපි බෞද්ධයෝද? අපි ඇත්තටම වෙසක් සමරන්නේ ද?

එතැනින් නොනැවතී ඉතිරි වූනු මිනිස් ආත්මයන් සුවපත් කරනවා වෙනුවට අපි ඔවුන්ගේ සංස්කෘතික අයිතීන් පවා කුඩු කර දමන්නට තැත්කරන්නේ නොවේද? අද යාපනය සරසවිය වසා ඇත. උතුරේ බහුතර මිනිසුන්ගේ විශ්වාසය දිනා ගත්, දෙමළ ජාතික සංධානයට මිය ගියවුන් සිහිකිරීමට අනේකවිද බාධා එල්ලවෙමින් තිබේ. ඒ අතර තුර යාපනය විශ්ව විද්‍යාල ආචාර්ය වරැන්ට ද තර්ජනය එල්ල වි ඇති බවට පැවසෙයි. ඒ අන් කිසිවක් නිසා නොව මිය ගිය සිය ඥාතීන් සැමරීමට සූදානම් වූ හෙයින් ය. ඒ නිසා යාපනය විශ්ව වද්‍යාලයේ ආචාර්යවරැන් සියලු ඥාතීන්ගෙන් මෙසේ ඉල්ලීමක් කර ඇති බවට දෙමළ මාධ්‍යක් වාර්තා කර තිබිණි.

මේ සටහන අවසන් කරන්නට මත්තෙන් එය නැවත මෙසේ සටහන් කරමි.

‘‘2014.05.18 වන දින සියළු දෙනා තම තමන් සිටින ස්ථානයන් වල සහ පොදු ස්ථානයන්හිදී, වන්නි සටනේදී ඝාතනය වූ අපගේ ඥාතීන්ගේ ආත්මයන්ට ශාන්තියක් වේවායි ප්‍රාර්ථනා කිරීමේ වැඩසටහන් වල නිරත විය යුතුය. නීති රීති කඩ නොකරන අන්දමින් සියළු දෙනා අපගේ ඥාතීන්ව සිහිකරන මෙන්, යාපනය විශ්ව විද්‍යාලයේ ගුරු සංගමය තම අනුස්මරණ නිවේදනයෙන් ඉල්ලීමක් කර ඇත. මැයි මාසය යනුවෙන් ප්‍රකාශ කරන විට අපගේ ඥාතීන් සමූහ වශයෙන් මියගිය දර්ශන අපට මැවී පෙනේ. බොහෝ දෙනෙකු අපගේ දෑස් ඉදිරිපිටත්, තවත් බොහෝ දෙනෙකු කෙලෙසද යන්න නොදැන මියයන ලදි. මෙම කුරිරුකම හදවතක් ඇති කිසිඳු පුද්ගලයෙකු අමතක නොකරනු ඇත. ශ්‍රී ලංකාවේදී මේ ආකාරයෙන් බොහෝ අවස්ථා වලදී බොහෝ දෙනෙකු ඝාතනය කර ඇත. එය සිංහල, දෙමළ සහ මුස්ලිම් යනාදී භේදයකින් තොරව සිදුවී ඇත. නමුත්, 2009 මැයි මාසයේදී වන්නියේදී සිදුවූවා මෙන්, කිසිඳු කාලයක සිදුවී නොමැත. අත දරුවන්, ළමා ලපටින්, කාන්තාවන්, වැඩිහිටියන්, රෝගීන්, තරුණයන් සහ තරුණියන් යනාදී වශයෙන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වී ඇත. අප නොයෙකුත් දුක්පීඩා අත්වින්ද මාස අතරින් එක් මාසයක් ලෙස මැයි මාසය සඳහන් කල හැකිය. ඔවුන්ගේ මියයෑම වෙනුවෙන් ඔවුන් සදහා වන අවසන් කටයුතුද අපට සිදුකිරීමට නොහැකි විය. අපගේ ජාතියේ පුද්ගලයෙකු මියගිය පසු, ඔහු වෙනුවෙන් වාර්ෂික පිංකම් සිදුකරයි. එය ඔහු මියගිය දිනයේදී සිදුකරනු ඇත. ඔහු මියගිය දිනය දැනගැනීමට නොලැබුනහොත්, ඒ ආසන්න දිනයක් නියම කරගෙන එම පිංකම් කටයුතු සිදුකරනු ඇත. වන්නියේදී ඝාතනය වූ අපගේ ඥාතීන් වෙනුවෙන් එක් දිනයක් වෙන්කරගෙන සිහිකිරීම කරන්නෙමු. එය ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි ක්‍රියාවක් නොවේ. අප ශ්‍රී ලංකාවේ නීති රීති වලට ගරු කරන්නෙමු. ශ්‍රී ලංකාවේ නීති රීති කඩ නොකරන අන්දමින් අපගේ ඥාතීන්ව සෑම ස්ථානයකදීම සිහිකල යුතුය. මියගිය සියළු ඥාතීන්ගේ ආත්මයන්ට ශාන්තියක් වේවායි ප්‍රාර්ථනා කිරීමේ ආගමික කටයුතු, නිවාස, කෝවිල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල යනාදී සෑම ස්ථානයකදීම සාමකාමී අන්දමින් සිදුකරමු. කිසිම අවස්ථාවක නීතියට පටහැනි කටයුතු වල නිරත නොවෙමු. අපගේ ඥාතීන් වෙනුවෙන් අප ප්‍රාර්ථනා නොකර වෙන කවුරු ප්‍රාර්ථනා කරන්නද? සියළු දෙනා එක්ව ඔවුන්වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.(උපුටා ගැනීම ලංකාටීනිව්ස්)

මියැදුනු අයව සිහිපත් කරන්නන්ට තර්ජනය කරන, ඔවුන්ව බිය වද්දන පාලනයක් කිසිදා අනෙක් මිනිසාගේ හිතසුව පිණිස කිසිවක් කරන්නේ නැත. තුන්පෝයටම සාදු කාර දී, දළදා කරඩුව, ශ්‍රී මහා බෝධිය ලග දිගාවී කුමන දේ කරත්, ඔවුන්ගේ හිත් තවමත් වෛරයෙන් පිරී තිබේ. කොහේ හෝ බෝ පැලයක් දුටු සැනින් බුදු පිලිමයක් තබා පහනක් දල්වන හමුදාව සත්‍ය ලෙසම බුදුන් සරණ යන්නේ නැත. ඔවුන් සරණ යන්නේ ප්‍රචණ්ඩත්වයයි. අනෙකාව මර්දනය කිරීමය. වෛරයයි.

එබැවින් එවන් සාමජයක් යුද්ධයෙන් වසර 5ක් ඉක්ම ගියත් යනු ඇත්තේ, ඉදිරියට නොව, ආපස්සටය. අශිෂ්ඨ සමාජයක් වෙතය.

ඒ අශිෂ්ඨ සමාජයට නායකත්වය දෙන පාලකයින් සුදු ඇදගත් පලියට අවම වශයෙන් ‘මිනිසෙක්‘ වන්නේ වත් නැත.
එම නිසා අවම වශයෙන් යුද්ධයෙන් වසර 5කට පසුව වත් ලංකාවට අවශ්‍ය කරන්නේ ‘මිනිසුන්ය‘. ‘මිනිසුන්ගේ පාලනයකි‘

වසන්ත බංඩාර | Wasantha Bandara

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ, විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක වරයාගේ සටහනට ද පිවිසෙන්න.