Image Credit: srilankabrief

යුද්ධය දිනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. වඩාත් වැදගත් සාමය සංවිධානාත්මක කිරීමයි
– ඇරිස්ටෝටල්
#
සත්‍ය තම ඇඳුම ඇඳගැනීමටත් පෙර අසත්‍ය ලෝකය වටේ අඩක් ගමන් ගොස්ය.
– වින්ස්ටන් චර්චිල්
#
බැටළුවන්ගෙන් සැදුම්ලත් ජාතිය උපද්දනු ලබන්නේ වෘකයින්ගෙන් සැදුම්ලත් ආණ්ඩුය
– එඩ්වර්ඩ් ආර් මුරෝ

වසර පහක් සම්පූර්ණ වීමට නියමිතය. ඒ රටේ නියම විපක්ෂය මුළුමනින්ම අතුගා දැමීම කරණ කොට ගෙනය. 80 දශකයේ මුල භාගයේ සිට රටේ නියම විපක්ෂය නිර්මාණය කරනු ලැබුවේ කොටි සංවිධානය හෙවත් දෙමළ සන්නද්ධ ව්‍යාපාරය බව අමුතුවෙන් තර්ක කළ යුතු කාරණයක් නොවේ. නමුත් මේ වන විට එහි සෙවනැලි පමණක් ඉතුරු කරමින් බල රහිත කොට වසර පහකි. පාලක ආණ්ඩුව පමණක් නොව සෑම අයෙකුටම එහි සැබෑ දේශපාලන බලය තේරුම් ගැනීමට අපහසු වූ මුලික කාරණයකි.

වීරත්වය පිළිබඳව අළුත් වංශ කතාවක් ලිවීමට තරම් රටේ සාහිත්‍යකරුවා යොමු වූයේ ලෝක ඉතිහාසයේ බරපතල සිදුවීම් සහ මහා පුරුෂයින් සමඟ රටේ නායකත්වය ගලපමිනි. යුද්ධය නිමාවීමත් සමඟ සියලුම දෑ වල තිබූ පරාමිතීන් වෙනස් වූයේ ඒවායේ අර්ථයද වෙනස් කරමිනි. කෙසේ වෙතත් වසර පහක් යන්නටත් මත්තෙන් තමන් නොදුටු නමුත් අත්‍යාවශයෙන්ම දැකිය යුතුව තිබූ යතාර්ථය සියලුම දෙනා හමුවේ පෙනෙන්නට තිබේ. වසර පහක් අභිමුඛව ඉතුරු කර දී ඇති ඇත්ත එයයි.

නිතීමය, භාෂාමය මෙන්ම දේශපාලනික වශයෙන් පමණක් නොව සංස්කෘතික වශයෙන් මහත් බරපතළ වෙනස්කම් රැසක් සිදු වූ අතිශය වැදගත් වසර පහක් වූ මෙම කාල පරිච්ඡේදය මෙරට මෑත ඉතිහාසය තුළ රටේ සිදු වූ වැදගත්ම දේශපාලන සහ සංස්කෘතික වෙනස්කම බව අමුතුවෙන් කිව යුතු නැත. දශක ගණනාවක් තිස්සේ විවිධාකාරයෙන් රටේ සමස්ථ ව්‍යුහය වෙනස් කරනු ලබූ “වාර්ගික වශයෙන් බෙදී” සිදු කළ සිවිල් යුද්ධය නිමා වීම යළි යළිත් කියවීමක් ලබාදිය යුතු කාරණයක් වන්නේ මේ නිසාය. මෙය අතිශය පරෙස්සමින් ලිහා බැලිය යුතු කාරණයක් වන අතර ඒ වටා ගෙතුණු බොහොමයක් දෑ ක්‍රමානුකූලව ගෙන හැර දැක්වීම වැදගත් වේ.

අතීතය ගැන විශාල ප්‍රමාණයකින් කතා ලිය වී ඇති බැවින් ගැටලුවේ මූලයන් සහ එකල තත්ත්වය ගැන විමසීම වැදගත් නොවේ. අඩුම තරමින් වේළුපිල්ලේ ප්‍රභාකරන් සුදුමලේදී කියූ කතාව සහ ඔහුඑ වීරදින කතා, කුට්ටුමනී සිරගෙදරදී කළ කතා සේම තිලීපන් උපවාසයෙන් මියැදීමට පෙර කියූ කතා පමණක් නොව ඇන්ටන් බාලසිංහම් කළ කතාද පද්ධතිය තුළ වැළලී ගොස් ඇති යථාර්ථය බව සැබෑය. එය අභිබවා විමසා බැලිය යුතු කාරණා රැසක් ඉස් මතු වී තිබේ.

සටන්කාමීත්වය සඳහා එනම් තම යුධ බලය කෙරෙහි සීමා රහිතව විශ්වාස කරනු ලැබූ අරමුණ සහ එය ඇත්ත භූමිය හමුවේ සාක්ෂාත් කරගැනීමට නොහැකි වීම කාගේ වරදක්ද? කාගේ පරාජයක්ද යන්න? එකිනෙකාගේ අත්දැකීම මත සිදුවන තක්සේරුවක ප්‍රතිඵලයකි. අප සතුරාගේ කතාව දන්නේනම් ඔහු හෝ ඇය තවදුරටත් අපේ සතුරෙක් නොවේය, නමැති මනෝ විශ්ලේෂණය මීට කදීමට ගැලපේ.

යුද්ධය නාමයෙන් දෙපාර්ෂවයන් විසින් සඟවා තැබීමට උත්සහ කරන යතාර්ථය වන්නේද මෙයයි. මාධ්‍යයේ මෙන්ම, පර්යේෂණ ක්ෂේත්‍රවල සේවය කරන සහ අධ්‍යාපනය ලබන අයවලුන් විසින් පිරවිය යුතු හිඩැස වන්නේද මෙයයි. නමුත් එය කෙතරම් දුරට සිදු වූයේද යන්න බරපතළ ගැටලුවකි. මීට ප්‍රභල හේතුවක් ලෙස බල පා ඇත්තේ ආණ්ඩුවේ හෝ අනෙක් පාර්ශවය විසින් භීතීයට පත් කිරීම හෝ වාරණයට ලක් කිරීම නොව එනම් මෙම අතිශය සංවේදී ක්ෂේත්‍රවලට රිංගු ආත්මාර්ථකාමී වුවමනාවන් ඇති අයවලුන් සිදුකරණ විනාශයයි. මොවුහු මෙම ක්ෂේත්‍රවලට අනන්‍ය වූ ගරුත්වය තම පෞද්ගලික අභිලාසයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා කෙළසනු ලැබුහ.

රටේ නායකයා පමණක් නොව සංස්කෘතික වශයෙන් සමස්ථ රටේ වෙසෙන සියලුම අයවලුන් ඥාතී සංග්‍රහය, තැන දුටු තැන වල ඉහ ගැනීම, අනෙකාව කෙසේ හෝ පාගා දැමීමට ඇති උවමනාව ආදී වූ හුදූ තාවකාලික මානසික අභිලාෂයන් විසින් මෙහෙයවනු ලබති. රටේ නායකයා එය වඩාත් ඝන ලෙස සහ කාටත් පෙනන ලෙස භාවිතා කොට අපේ සමාජ ක්‍රමයේ ඇති අවුල ජාත්‍යන්තරීකරණය කරණු ලැබුවේය.

අපේ කුහකකම සහ පෞද්ගලික අනාරක්ෂාව ලෝකය හමුවේ පෙනවමින්, අපට කළ හැක්කේ රටේම මිනිසුන් මරා ඒ සියල්ල යටගැසීම සහ අනෙකාගේ අයිතිය කොල්ල කමින් තම බලය වැඩිකරගැනීම පමණක් බව පෙන්නුවේය. මේ වන විට ශ්‍රී ලංකාව වූ කලී ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වූ රටක් වන අතර රටේ සාමාන්‍ය මිනිසෙකු සතු ගමන් බලපත්‍රයට තිබු වටිනාකම තවදුරටත් බයාදු කොට ඇත. රටක සංවර්ධය වූ කලී මුළු ලෝකෙටම ණය වී තෙත්බිම්වල විවේකස්ථාන තැනීම හෝ මහපාරවල් හැදීම පමණක් නොවේ.

සැබෑ සංවර්ධනය වූ කලී රටේ මිනිසුන්ට අනෙක් සහෝදර ජනතාව පෙන්වන ගරුත්වය සහ විශ්වාසය කෙතරම්ද යන්නය. ජාතියක් නිර්මාණය කිරීමේ භාරදූර කාර්ය ලියවෙනේ එම මුලික අභිලාශය කරන කොට ගෙනය. එය කළ හැක්කේ සැබෑ නායකයින්ට පමණි. මෙය තවමත් ලංකාව පොරබදිමින් සිටින විසඳුමක් පේන තෙක් මානයේවත් නැති අභියෝගයකි. විශ්වාසයක් ඇති කිරීම අතිශය බැරෑරුම් කාරණයක් වන අතර මළ දේශයකට පණදීම කළ හැක්කේ ඒ සඳහා අවංකව කැප වූ අයවලුන්ට මිස නියම අර්ථයෙන් ගත් කළ හොරුන්ට නොවේ. න්‍යායික හොරුන් සහ භෞතික වස්තු තණ්හාවෙන් පෙලෙන හොරුන් යන දෙපාර්ශවය විසින්ම එක හා සමාන හානියක් රටකට කරන ආකාරයට වූ හොඳම උදාහරණය අපේ මාතෘ භූමියයි.

දෙදරා යෑම

යුද්ධය ආරම්භය කෙසේ සිදු වූයේද, ඊට සැබෑ වූ හේතු කාරණා මොනවාද යන්න ගැන විවිධාකාරයේ මත සහ පිළිගැනීම් පවතින අතර එම සියල්ලම පාහේ ඓතිහාසික වශයෙන් අන්දමන්ද බාවයකට තල්ලු කොට ඇත. අර්බුදය සම්බන්ධයෙන් ලියවුණු සිදුවීම් ඇතුළත් රචනා බොහෝය. ඒවායින් බොහෝමයක් එක් ස්ථීර පූර්ව-විනිශ්චයක් මත පිහිටා රචනා කරනු ලබූ දෑ වේ. මෙය ගැටුම් පැවති සෑම තැනකම දක්නට ලැබුණු කාරණයක් වූ බව සැබෑය. එමඟින් සමස්ථ අර්බුදය පිළිබඳ වූ චිත්‍රය බරපතළ අන්දමන්ද බාවයකට තල්ලු කිරීමටද සමත් වී ඇත. අර්බුදය සම්බන්ධයෙන් පීඩාවට පත් අයවලුන්ගේ සත්‍ය තොරතුරු සමස්ථ සමාජයට තවමත් සම්පූර්ණයෙන් පැමිණ නැත. ඇතැම් ඒවා කිසිම කලෙක ප්‍රසිද්ධියට පත් නොවිය හැකිය. එය ඕනෑම සමාජයක පවතින තත්ත්වයයි.

වසර තිහකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධයේ අවසන් වීමෙන් පසු ඇති වූ තත්ත්වය දේශපාලනික වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් ගැඹුරින් ලිහා බැලුයේ නම් එම රචනාවන් හුදෙකලා රචානාවන් පමණක් බවට පත් විය. නමුත් එවැනි රචනා හෝ ඉතා අවම වීම අවාසනාවකි. බොහෝ දෙනෙකු උත්සහ කරනු ලැබුවේ විපතට පත් වූ අයවලුන් ගැන සලකමින් ලිවීමට නොව තම පෞද්ගලික මැදිහත්වීම ගැන උදම් ඇනීම කෙරෙහිය. එසේම ඇතැම් දෑ හුදූ ඒකපාර්ශවීය චෝදනා බවට පත් විය.

පසුගිය වසර කිහිපය පුරාම දැක ගත හැකි වූයේ සිදු වූ දෑ පිළිබඳව අතිශෝක්තියෙන් කරුණු දැක්වීම සහ ගැටුම හේතුවෙන් සැබෑ ලෙස විපතට පත් වූවන් තවදුරටත් හුදෙකලා කිරීමය. ඒ වෙනුවට දකුණේ දේශපාලන කලබගෑනියත්, උතුරේ සිදු වූ වාර්ගික සංහාරය ගැන සිදුකරණ මරලතෝනියත්, ඒවායේ බලපෑම් වලින් තම වගකීම පැහැරහැරීම සඳහා වගකිව යුතු පාර්ශවයන් සිදුකරන අප්‍රසන්න විවාදත් හැරුණු විට අප හමුවේ සැබවින්ම ඉතුරු කොට ඇත්තේ කුමක්ද යන්න ගැටලුවකි.

මා පෙර සඳහන් කළ ආකාරයෙන්, යුද්ධය අවසන් වීම වූ කලී රටේ නියම විපක්ෂය නැති වීමය. මෙය සමස්ථය දරාගත නොහැකි මට්ටමකට තල්ලු වීමකි. වසර ගණනවක් තිස්සේ රටේ ප්‍රධාන ප්‍රතිපත්ති තීරණය කරන්නා හිටි අඩියේම නැති වීම මඟින් විශාල දේශපාලන හිඩැසක් නිර්මාණය විය. මෙම හිඩැසට මුහුණ දීම සම්බන්ධයෙන් වූ අභියෝගය පෞද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් හෑල්ලු විය. එසේම බොහෝ දෙනෙකු විස්වාශ නොකළ දෙයක් හිටි අඩියේම සිදුවීම වූ කලී බරපතල කම්පනයක්ද ඇති විය. මේ නිසා රටේ සෑම ක්ෂේත්‍රය තුළම සැකයක් සමඟ සතුටක් ඇති වුණි. “එය ඇත්තටම සිදු වූයේද?” යන්න එහිදී මතු වූ කාරණය විය. උතුරාගිය සතුට මෙන්ම බරපතල ලෙස ඇදවැටුණු පරාජිතයා වෙනුවෙන් පෙනී සිටි අයවලුන් මුහුණ දුන් කම්පනය විසින් කාරණය හරි හැටි අවබෝධ කර ගැනීම සහ ඊට මුහුණ දීමට අවශ්‍ය දැනුම උත්පාදන වළක්වනු ලැබීය. නායකයින් විසින් මහත් පරිශ්‍රමයක් දරා කළ යුතුව තිබු මෙම මහඟු කර්තව්‍ය පයිසයකට මායිම් නොකරමින් කිසිඳු පැකිලීමක් නොමැතිව නව-වැඩවසම් සංස්කෘතියක් රාජ්‍ය බලය අතට ගත් කල්ලිය හෙවත් වරිගය විසින් බිහි කළේය. පළමු ගැටලුව අපට නායකයෙකු නැත, දෙවැන්න නායකයෙකු තැනීමට අවශ්‍ය සමාජ ක්‍රමයක් බිහි වී නැත. සමාජ ක්‍රමය වූකලී සාමුහික වශයෙන් සිදුකරණ කැපකිරීමක ප්‍රතිඵලයකි.

මහින්ද චින්තනය හෙවත් යමක් සම්පූර්ණයෙන් කඩා නොදමා එය විකෘති කිරීම

සමාජ ක්‍රමය කුණු වී ගිය තැනක උත්පාදනය කරන්නේද කුණු කන්දල් බව අමුතුවෙන් කිව යුතු නැත. මදක් කල්පනා කර බලමු. රටේ නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහත් පරිශ්‍රමයක් දරා ජනධිපති ධූරය දක්වා ගමන් කළ අයෙකි. ඔහුට නායකයා වූ පසු රටේ වගකීම් වෙනුවෙන් කටයුතු කිරීමට වඩා වැදගත් වූයේ ඊයේ දවසේ ඔහුගේ සතුරාගෙන් පළිගැනීම කෙරෙහිය. මෙය තම පක්ෂයේ හිටපු නායිකාවගේ සේයාරුව පවා ප්‍රසිද්ධ වේදිකාවෙන් සහ පක්ෂ ඉතිහාසයෙන් ඉවත් කිරීමෙන් ඔහු කළේය. එය එනම් තම පෞද්ගලික ගූඪ අසාවන් වින්දනය වසා දැමීම සඳහා ඔහු, සමස්ථ රට සාමුහික වශයෙන් සිදුකළ යුද්ධය ආයුධයක් කර ගත්තේය.

රටේ පැලපදියම් කොට ඇති ක්‍රමය විසින් තනනු ලබන්නේ මෙවැනි පෞද්ගලික අමනාපකම් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ලබාගත් බලය මඟින් තම පෞද්ගලික තරහ සහ ආසාවන් පිරිමසාගන්නා පුද්ගලයින්ය. යුද්ධයෙන් පසු ගෙවී ගිය වසර පහ තුළ රටේ සෑම අයෙකුටම වඩාත් හොඳින් දැක ගත හැකි වූ කාරණය එයයි.

මෙහි ඇති අවාසනාව නම් මීට සාධාරණත්වයක් ලබා දීම සඳහා සම්ප්‍රදායික වශයෙන් ලබාදී ඇති අර්ථ නිරූපණයයි. එනම් ලබා ගැනීමට නොහැකි වූ අතිශය දුෂ්කර කටයුත්තක් අප ඉදිරියේ ලබාදුන් අයෙකුට තම පෞද්ගලිකත්වය වුවද හොරාකෑමට ලබා දී ඇති සංස්කෘතික අයිතියයි. රාජපක්ෂ ජනාධිපතිවරයා මෙය අතිශය සූක්ෂමව සහ හැකි උපරිමයෙන් භාවිතයට ගත්තේය. ඊට ඔහු කාලාන්තරයක් තිස්සේ සැලසුම් සකස් කළේය. එම සැලසුම පළමුවරට පෘථුල වශයෙන් වචනයට පෙරලුවේ පාර්ලිමේන්තුවේදී තම විජයග්‍රාහී කතාවේදීය. එහිදී ඔහු රට පාර්ශව දෙකකට බෙදනු ලැබීය. එනම් ජාතියට ආදරය කරන සහ ජාතියට ද්‍රෝහිකම් කරන අයවලුන් ලෙසය. මෙහිදී ජාතිය යනු රාජපක්ෂ බව ඔහු නොකියා කිව්වේය. මෙය රටේ ජනතාවට ලබාදුන් අණක් නොව. එය ඔහු වක්‍රාකාරව ලබා දුන්නේ ඔහුගේම දේශපාලන පක්ෂයටය. ඔහු මෙහිදී නොකියා කියනු ලැබුවේ “දේශපාලන පක්ෂය” නමැති ප්‍රතිපත්තී මූලමය ප්‍රජාවන් තවදුරටත් රට තුළ වලංගු නොවන බවය. එය හුදූ එකතුවක් බව ඒත්තු ගැන්වීම ඔහුගේ අපේක්ෂාව විය. එය පසුව 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඔහු නෛතික රාමුව යටතට දැමීමට සමත් විය. රාජපක්ෂගේ ෆැන්ටසිය කේන්ද්‍රගත වන්නේ මෙම රාමුව ඉලක්ක කරගනිමිනි.

ඔහුට කොටි සංවිධානය නොමැති පරිසරයක් කියවීමට නොහැකි වූ බවට විවාදයක් නැත. එසේම ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අවදියේදී යාපනයට දුම්රියෙන් ගොස් යාපනයේ පුරපති දොරේ අප්පාගේ නිවසට යන බවත් ඔහුගේ සහයෝගයට මෙකල ආරක්ෂක ලේකම් එකල ශ්‍රී ලංකා යුධ හමුදාවේ සන්නිවේදන අංශයේ නිලධාරීයෙකු වූ වූ නන්දසේන රාජපක්ෂ සිටිමින් දෙදෙනා එකල කළ කී දෑ ඔහුගේ ඉතිහාසය තුළ තිබේ. නමුත් කොටි සංවිධානය සිටීමට පෙර තත්වය සහ කොටි සංවිධානය ඇති වී නැති කළ පසු ඇතිවන තත්ත්වය වූ කලී හාත් පසින්ම වෙනස් දෙයකි. දෙයක් නොමැති වීම සහ දෙයක් තිබී නැතිවීම අතර ඇත්තේ බරපතළ වෙනසක් බව අපි සියල්ලෝම දනිමු. රාජපක්ෂ සහ ද්‍රවිඩ එකසත් විමුක්ති පෙරමුණේ නායක සම්බන්ධන් අතර ඇති බරපතල වෙනස්කම දැක ගත හැක්කේ මෙහිදීය.

රටක විනිවිදබාවය හෝ ස්වාධීනත්වය රාජ්‍ය පාලනයේ යාන්ත්‍රනය බල ගන්වන න්‍යායික ඥානය කඩා බිඳ දමමින් රාජපක්ෂ, රාජ්‍යයට සහ එය දරා සිටින ආයතන වලට ඇති ගරුත්වය කෙළසීම සඳහා උපරිම උත්සහය ගනු ලැබීය. මන්ද රාජපක්ෂ බුද්ධිමතකු හෝ දේශප්‍රේමියෙකු නොවන අතර ඔහු හුදූ පෞද්ගලික ආසාවන් දේශපාලනය ලෙස ගෙන ඒ මත ඇවිදින පුද්ගලයෙකි. මේ නිසා ඔහුට, රාජ්‍යයක පිළිගත් සම්ප්‍රදාය වෙනත් වචනවලින් කියන්නේනම් රාජ්‍යයක් විනයෙහි පිහිටුවන මුලිකාංග, සම්පූර්ණයෙන් කඩා බිඳ දැමීමට වඩා ඒවා විකෘති කිරීම වැදගත් විය. යමක් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට වඩා එය විකෘති කිරීම මඟින් පාලකයාට වඩාත් ක්‍රමෝපායික වැඩපිළිවෙලකට තල්ලු විය හැකිය. ඒ වූ කලී විකෘතිය, ව්‍යකූලතාවයේ ප්‍රභවය වන නිසාය. මහින්ද චින්තනය වූ කලී මෙයයි. මහින්ද චින්තනය ලියනු ලැබුවේ රාජපක්ෂ නොවන බව සැබෑය. නමුත් එය එනම් මහින්ද චින්තනය වූ කලී රාජපක්ෂ නමැති මනෝමුලික ආසාවන් මුලික කරගත් අයෙකු බිහිකළ කුණු වූ සමාජයක් විසින් දායාද කර දුන් “ත්‍යාගයක්” වසා දමා ඇති සළුව වේ. එහි එකම අරමුණ විකෘතිය පවත්වාගෙන යාමය.

සමාජයක ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීම වෙනුවට එය විකෘතියක් බවට පත්කිරීමෙන්, සාමාන්‍ය ජනතාව අතර සැකයක් ඇති කළ හැකිය. එම සැකය විසින් තවමත් නැති වී නැති යමක් සම්පූර්ණ කරගැනීමට වඩා ඒගැන සතුටු වීම සඳහා සහ ඒ කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීම සඳහා මිනිසා ස්වභාවයෙන්ම තල්ලු වේ. ඔබ කිසිවෙකුගෙන් හෝ රටේ නිතීයක් ක්‍රියාත්මක වන්නේ දැයි ඇසුවහොත්, “එහෙම නෑ කියලම කියනන් බෑ, යුක්තිය ඉෂ්ඨ වෙන සමහර අවස්ථා තියෙනවා,” යනුවෙන් ඔබට පිළිතුර ලෙස ලැබෙනු ඇත.

බැලුබැල්මට කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකි තත්වයක් තැනීම පාලනයේදී වැදගත් වේ. රාටේ නායකයා බලාපොරත්තු වන්නේ මෙයයි. යමක් විකෘති කළ පසු ඇතිවන ව්‍යාකූලභාවය වන්නේ මෙයයි. බැලූ බැල්මට රටේ ආයතන තිබේ. ඒවායේ මිනිසුන් ද කටයුතු කරනු පෙනේ. ඒවා නඩත්තුව සඳහා අපෙන් බදු ද අයකරනු ලබයි. නමුත් තීරණාත්මක අවුලකදී එම ආයතන කෙසේ හැසිරෙන්නේ ද යන්න මඟින් ඒවා වැටී ඇති තත්වය පැහැදිලි කර ගත හැකිය. මෙයින් පැහැදිලි කරන එක යථාර්තයක් තිබේ. එනම් අපි විසින් හඳුනාගෙන ඇති සංකල්ප වල නියම ශාරය අපට අවබෝධ වී නැති බවයි. ආදරය යැයි බදාගත් දෙය සැබෑ අදාරය නොවන තැන, නිදහස යැයි වැළඳගත් දෙය නිදහස නොවේ යැයි අවබෝධ වූ තැන අරගලය බිහිවේ. ජාතිකත්වයේ සිට නිදහස දක්වා දේශපාලනයේදී කෙටිකාලීන දේශපාලන අභිලාශයන් ලෙස හැඩගන්වමින් භාවිත කරනු මෙම බොහොමයක් දෑ අපට නිවැරදිව කියවීමට ලැබුණේ නම් වත්මන් තත්ත්වය මීට වඩා හත් පසින්ම වෙනස් විය යුතුව තිබුණි.

කළ හැක්කේ කුමක්ද?

මෙම තත්ත්වයෙන් ගොඩ එමට නම් කළ හැක්කේ කුමක්ද? ගැටලුවද ඊට අදාළ පිළිතුරුද සංකීරණ වේ. එසේම ගැටලුව එකක් වූ පමණින් ඊට එක නිශ්චිත පිළිතුරක් තිබේ යැයි සිතීම මුලාවකි. එය එසේනම් රාජපක්ෂව එළවා දැමූ දාට පසුදා ශ්‍රී ලංකාවට හිමි , නමුත් රාජපක්ෂ සහ ඊට පෙර සිටි අයවලුන් නැති කරනු ලැබූ අත්මගරුත්වය නැවත ලැබෙනු ඇත. එය එසේ වන්නේ නැත. රාජපක්ෂ කළ හානිය පමණක් නිවැරදි කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත. කොටින්ම කිවහොත් ඔහු අයාලේ යැවූ ඉතිහාසය නිවැරදි කිරීමට පමණක් මෙරට බුද්ධිමතුන්ට විශාල කැපකිරීමක් කොට අගතියට පත් පර්ශවයන්ට යුක්තිය ඉටු කිරීමට සිදුවනු ඇත. එසේම රාජපක්ෂ විසින් ඇති කළ විකාරය, යළිත් ඛේදවාචකයක් බවට පත්කොට මිස ඔහු තම බලය අත්හරිනු යැයි සිතීමද උගහටය. මෙය අප හමුවේ ඉතුරුකොට ඇති බරපතළ අභියෝගයකි. මෙම සියලු තත්වයන්ට සමාජය හුරු විය යුතුය. එසේම සූදානම් විය යුතුව ඇත. ආසියාවේ අශ්චර්ය එක මොහොතකින් ලෝකයේ අපාය කිරීමට රාජපක්ෂ විසින් මිරකාගෙන සිටින බලයට හැකියාව තිබේ.

මෙම අතිශය තීරණාත්මක ගැටලුවේදී රටේ සෑම මිනිසෙකුටම අතිශය වැදගත් කාර්ය භාරයක් කළ යුතුව තිබේ. එනම් තම විමුක්තිය සහ ආත්ම ගරුත්වය වෙනුවෙන් පෙනී සිටීමය. එය කළ හැක්කේ කුමන ආකාරයෙන්ද? කළ යුත්තේ කෙසේද? යන්න එකිනෙකා පෞද්ගලිකව වටහාගත යුතු වැදගත් කාරණය වේ. එය එසේ නොවුන හොත්, රාජපක්ෂ චුත වූ තැනට විමුක්ති කාමියෙකු ලෙස වෙස්වලා ගත් අයෙකු පැමිණ රාජපක්ෂ ලෙසම කටයුතු කරනු ඇත.

ගෙවී යන හැම තත්පරයක දීම අපි ගෙවා දමන්නේ අපට සැබෑ විමුක්තියක් වෙනුවෙන් සටන් කිරීමට, පෙනී සිටීමට ඇති හැකියාව සහ කාලයයි. අප කාලය කා දමන්නේ කෙතරම්ද එපමණකට අපි ආඥාදායකයාට ඉඩ ලබා දෙන්නේය. මීට එරෙහිව පෙනී සිටීම කිසිවෙකුගේ බල කිරීමට කළ නොහැකිය. කිසිවෙකු විසින් ලබා දෙන ආර්ථික වාසියක් තකා කළ නොහැකිය. මෙවැනි දෑ වෙනුවෙන් සටන් කිරීම වූ කලී තමන්ගේ ජීවිතයට තමන් විසින් අර්ථයක් සැපයීමය. අපි විසින් කුමන ආගම අනුගමනය කළ ද වත්මන් ජීවිතය යනු එකකි. එය ඇති තැන ඇත. නැති තැන නැත. ඔබට යළිත් ඔබ විය නොහැකිය. ඔබ යනු වර්තමානයේ ජීවත් වන ඔබ මිස, මරණින් පසු වෙනත් ලොවකට ගොස් හෝ මේ ලොවේම වෙනත් පළාතක හෝ එම පළාතේම උපදින කෙනා නොවේ. තම ආත්ම ගරුත්වය රැකගැනීමේ මුල් අවබෝධය ලියවෙන්නේ මම මුලික සත්‍ය හරහාය. වසර පහක් අවසානයේදී යළි යළිත් අපි සියලු දෙනාටම මතක් කර දෙමින් ඇත්තේ එම අමතක කළ නොහැකි සහ නොකළ යුතු යතාර්ථය සහ අභියෝගයයි.

ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියූ ආමේණියන් වරුන්ගේ උපමාකතාවකින් එන කොටසක් උපුටාගැනීම ලිපිය අවසානය සඳහා වැදගත් යැයි සිතේ. එය පහත පරිදිය;

ඇපල් ගෙඩි තුනක් ස්වර්ගයේ සිට පොළවට වැටුණි..
එකක් කතා කරුවාටය…
අනෙක ඇහුන්කන් දෙන්නාටය…
අනෙක කතාව අවබෝධ වූ කෙනාටය…

20 වැනි සියවසයේ සිදු වූ විශාලතම මනුෂ්‍ය සංහාරය ලෙස සැලකෙන ආමේණියන් වරුන් මිලියන 1.5 ක් මරා දැමුණු ඛේදවාචකය මඟින් ඔවුහු සතු වූ සියල්ලම විනාශ කරනු ලැබීය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී කුමන හෝ වර්ගයකට අයත් වුවද අපි සියලු දෙනාම මුහුණ දී සිටින යතාර්ථයක් තිබේ. ඒ වූ කලී පෞද්ගලික නිදහස සහ ආත්ම ගරුත්වය පිළිබඳව වන ගැටලුවයි.

රාජපක්ෂ ජනාධිපතිවරයා, සාමුහික වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වූ යුධ ජයග්‍රහණයේ එකම ජයග්‍රාහී පියා ලෙස පෙනී සිටිමින් රටට ලබා දී ඇති පළමු අභියෝගය එයයි. එය විසින් මුළු ජාතියටම ගමන් කළ යුතුව ඇති මාර්ගය දීර්ඝ සහ දුෂ්කර එකක් කොට ඇත. එවැනි තීරණාත්මක වැඩ පිළිවෙලකට රට තල්ලු වුවහොත්, පළමුව එම ජනතාව පරෙස්සම් විය යුත්තේ රාජපක්ෂගෙන් නොව, එම අවස්ථාව මංකොල්ල කෑමට බලාගෙන සිටින මංකොල්ල කාරයින්ගෙනි. පොදු අපේක්ෂයා වෙනුවෙන් රටේ පවතින විවාදය සහ රටේ දේශපාලන පක්ෂවල හැසිරීම මඟින් පෙන්නුම් කරන්නේ එවැනි අවසනාවන්ත දෙයක් සිදු නොවේ, යැයි ස්ථීරවම කිව නොහැකි බවයි. අපි, ජනතාව ලෙස වෘකයින්ගේ ආණ්ඩු තනන බැටළු ජාතියක් ද යන්න එහිදී තීරණය වනු ඇත.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ සටහනට ද පිවිසෙන්න.