Image Credit:thetimes

දේශපාලන ප‍්‍රශ්නවලින් උපන් උතුරේ දෙමළ විමුක්ති අරගලය නන්දිකඩාල් කලපුව රතු රුහිරෙන් පුරවාලමින් චප්ප කරදමා වසර පහකි. ‘කුරිරු ත‍්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තාය යි උදම් වූ දකුණේ බහුතර සිංහලයා මහපාරේ කිරිබත් උයා කා ප‍්‍රීති වී වසර පහක් ගතවී ගොසිනි. රට මුහුණ දී සිටින සකල සියලූ රෝග ව්‍යාධීන්, කාලකන්නිකම්වලට එක ම හේතුව ලෙස උතුරේ ‘ත‍්‍රස්තවාදය’ පෙන්වූ රාජ්‍ය මතවාදය ගෙඩිය පිටින් ගිලදැමූ සිංහලයාට සශී‍්‍රක, සමෘද්ධිමත්, වාසනාවන්ත පින්බිමක් වූ මව්බිමක් වෙත යන රන් දොරටුව හැරී වසර පහකි.

දැන් ඉතින් අපි මොහොතකට ආපසු හැරී බලමු. වරු ගණන් ආපසු හැරී බලාඉන්නට, හිස කස කස කල්පනා කරන්නට ඇවැසි නැත. එක ම එක බැල්මක් සෑහේ. අවුරුදු පහකට පසු අපට උරුම වී ඇත්තේ කෙබඳු රටක්ද?

යුද්ධයක් නැතිනම් හත්තක් සේ පිපී එතැයි කී ආර්ථිකය තව තවත් හැකිලී පරවී ගොසිනි. මහබැංකුවේ මැජික් ඉලක්කම් පොදු මිනිහා ගේ බත්පතේ හෝ පොකැට්ටුවේ නැත. සාමාන්‍ය මිනිහා යුද්ධය වෙනුවෙන් බඩ හරහා තදකරගත් පටිය තව තවත් තදවුණා මිස මේ පස් අවුරුද්දටත් බුරුල් වුණේ නම් නැත. එහෙත් ඉතා ම සුළු පිරිසක ගේ නම් යුද සමයේත් පසු යුද සමයේත් කරල් පැසී, හතු පිපී, සමෘද්ධිය ඉහින් කනින් වැගිරී ඇති සැටි පෙනේ.

වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා පාරට බැස සටන් කරන, ජීවිකාව සපයාගැනීමට ඉන්ධන සහනාධාරයක් ඉල්ලා වීදි බසින, පිරිසිදු පානීය ජලය වෙනුවෙන් අරගල කරන සාමාන්‍ය මිනිහාට, උතුර සුන්නද්දූලි කරද්දී මහනෙල් මල් පළන්දා පිරිතෙන් බෝධි පූජාවෙන් සෙත් සාන්ති සැදූ රණවිරුවෝ වෙඩිතබති. උණ්ඩයත් තුවක්කුවත් පාලකයාගේ වුව ගිනිබිඳින අත මහනෙලින් සැරසූ රණවිරුවාගේ ය. වෙඩිකන්නේ මහනෙල් පැළැන්දූ දෑත් හිමි මිනිසා ය. එසේ මරාදමන ලදවුන් සැමරීමත් තහනම් කර තිබේ.
‘මේ රණවිරුවන් අපිට සලකන්නේ මෙහෙම නම් උන් උතුරේ මිනිසුන්ට කොහොම සලකන්නට ඇත්දැ’ යි යුද සමයේ බෝධිපූජා මැතිරූ මුවින්ම කියැවෙන්නට ගතවූයේ වසර පහකට අඩු කාලයකි.

මහතැන් නොරුස්සන ජනාධිපති උපදේශකයෝ පවා මහමග මහදවල් වෙඩිකති. ඝාතකයා මහතැන්වල සුරතලෙක් නම් නැති උණ්ඩ උගේ ඔළුවට යයි. නැති අසනීපවලට බෙහෙත් ගන්නට රාජ්‍ය අනුග‍්‍රහයෙන් ම ලෝ වටා යැවෙයි. ඇති මතක නැතිවෙයි. අන්තිමේ දී යහතින් පංචතන්ත‍්‍රය කියවන්නටත් හැකිවෙයි.

ආණ්ඩු පක්ෂයේ ම ප‍්‍රාදේශීය සභා ලොක්කෝ සුදුවෑන්වලින් පැහැරගෙන යන්නට හදති. වෙඩි කා ඝාතනය වෙති. ඒ අතර ම මහතැන්වල සුරතලූන් වන ප‍්‍රාදේශීය සභා ලොක්කෝ සංචාරක සුද්දන් මරා, සුද්දියන් දූෂණය කර යෙහෙන් වැජඹෙති.
දේශපාලන අනුග‍්‍රහය සහිත පාතාල මැර සංස්කෘතිය කොතරම් උග‍්‍ර ව පවතින්නේ ද යත් සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව පොලීසියටත් ඉන් ගැලවීමක් නැති සෙයකි. මෙහි උත්ප‍්‍රාසය වන්නේ සුදුවෑන්වලින් පැහැරගෙන ගොස් මරාදැමෙන, අතපය කඩාදැමෙන පොලීසිය මේ ඊයේ පෙරේදාත් විපාක්ෂිකයන්ට සේ ම සුළු ජාතීන්ට ද දේශපාලන හයිකාරකම් සහිත මැරයන් අඩන්තේට්ටම් කරද්දී කටබලියාගෙන බලාසිටි පොලීසියක් වීම ය.

යුද්ධය පැවැති වකවානුවේ දරුණු භීෂණයකින් ත‍්‍රස්තකර හිරිවට්ටා තැබීමට අමතර ව, ජනමාධ්‍යයට වැටබැඳීම මහජන අවකාශය තුළ සාධාරණීකරණය කළේ ජනමාධ්‍යවල ‘වගකීම් විරහිත භාවය’ ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් බව කියමිනි: යුද්ධය අවසන් වූ කල එළැඹෙන දිව්‍යලෝකමය අනාගතයක කුරුලූ නිදහසක් සහතික වෙමිනි. එහෙත් යුද්ධය අවසන් වී වසර පහකට පසුත් ජනමාධ්‍යයට එරෙහි යුද්ධය නිමවී නැත. අලූත් මුහුණුවරකට පමණක් මාරු වී ඇත. ඝාතනයන්, පැහැරගෙන යාම්, ප‍්‍රහාරයන් නිතර වාර්තා නො වෙතත් අති බහුතරයක් මාධ්‍යවේදීන් පමණක් නොව මාධ්‍ය ආයතනත්, ඒවායේ හිමිකරුවනුත් හිටගෙන ඉන්නේ ඒ හෝ මේ ආකාරයෙන් ආණ්ඩුව සමඟනි. වෙනතැනක හිටගන්නා අයට ඉන්නට වෙන ම අපායවල් නිර්මාණය කැරී තිබේ. කොටින්ම ‘මහින්ද චින්තනය’ නම් රෙජීම මතවාදයෙන් මිදී චිත‍්‍රපටියක්වත් හදන්නට බැරි ය.

චීන හුළංවලින් පිම්බූ සංවර්ධන ඇස්බැන්දුම් යට ආර්ථිකය ගිලාබැස තිබේ. අධිකරණ පද්ධතිය නායගොසිණි. පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකි. ඇමැති මණ්ඩලය දෙ තුන් දෙනකු අත නැටවෙන රූකඩ පිරි කැබිනෙට්ටුවකි.

යුද්ධයක් නැතිනම් කේතුමතියක් වන්නට නම නියම ව තිබූ අපේ මව්බිමට යුද්ධයෙන් වසර පහක් ඇවෑමෙන් මෙ වැනි විනම්බෑසියක් සිදුවී ඇත්තේ ඇයි?

අනිවාර්ය පූර්විකාව

මෙතැනින් එපිටට ලියැවෙන දේ ගැන කෙටි පූර්විකාවක් ලියා තැබීම උචිතය යි හඟිමු. මේ ලියුම්කරු සිය අදහස් පලකරන්නේ ලියන්නේ සිංහලෙනි. ඔහු අමතන්නේ සිංහල සමාජයට ය. කවුරු පිළිගත්තත් නැතත් ඔහු ගේ ඇමතීමේ අවිඥානක ස්වරය සිංහලයකුගේ බව ඔහු දනී. ලියුම්කරු මේ කියන්නේ සිංහලයකු වශයෙන් සිංහල සමාජයට ඔහුට කියන්නට ඇති දේ ය. ඒ ටික කියන්නට දෙමළා කි‍්‍රයාකළ හැටි, කි‍්‍රයාකාරමින් සිටින හැටි, දෙමළා ඉගෙනගත යුතු පාඩම්, ඒ අනුව දෙමළා ඉදිරියේ වැඩකළ යුතු හැටි ආදිය මෙහි ඔබන්නට ඔහුට ඇවැසි නැත. ඔහුට අනුව ඒවා බලෙන් ඔබ්බා ආමන්ත‍්‍රණය බැලන්ස් කරන්නට අවශ්‍යවන්නේ ව්‍යාපෘතිවාදීන්ට ය. සකලවිධ වින්දිතයන්ට සාධාරණය ඉටු වී රටේ සංහිඳියාව ඇතිවීම යනු ලියුම්කරුට නම් විප්ලවීය දේශපාලන වෙනසක් මිස ව්‍යාපෘතියක් නොවේ.

ඉතින් අප මේ කියන දේවල් කටුක වන්නට පිළිවන. කෙනෙකුට ඒවා අන්තගාමී අදහස් සේ පෙනෙන්නටත් පිළිවන. ඊනියා බැලස් කිරිල්ල හා එහෙටත් නැති මෙහෙටත් නැති මැදින් යාම නො පිළිගන්නා අප මෙහි සාරාංශ කොට තබන්නේ අපට යුද්ධයෙන් වසර පහකට පසු ලංකාව ගැන ඇති දැක්මෙන් අංශුවකි. ඒ ගැන තමන්ගේ ම වූ විග‍්‍රහයන් හදාගැනීම ඒ ඒ අයට බාර ය.

අපට මෙහෙම වුණේ ඇයි?

යුද්ධය ජයග‍්‍රහණය කළාය යි නිවේදනය කළ තැනින් ඇරැඹි වසර පහකට පසු අපට මෙ බඳු රටක් හිමිවූයේ ඇයි? අහිමිකර දමන ලද සිය අයිතිවාසිකම් ඉල්ලා සටන් කළ අපේ ම සහෝදර ජාතියක් සහමුලින් වනසා දමන්නට වර්ගවාදී ආණ්ඩුවකට ආවැඩූ හෙයිනි. දකුණේදීත් සිය නග්න යථා ස්වරූපය මහා සංහාරවලින් පෙන්වා සිටි රාජ්‍යයේ මර්දන යන්ත‍්‍රයන් සෙත්පිරිත් මැද ඒ වැනසීමට පිටත්කළ හෙයිනි. අප විසින් කරන ලද්දේ වරදක් බව තාමත් අප එළිපිට නොපිළිගන්නා බැවිනි. ඒ වරදට වන්දි ගෙවන්නට සූදානම් නැති බැවිනි.

දේශපාලන මූලයන් සහිත, ක‍්‍රමික විකාශයක් ඔස්සේ යුද්ධයක් දක්වා දිග්ගැස්සුණු දේශපාලන ප‍්‍රශ්නයක් දේශපාලනමය සූත‍්‍රයන්ගෙන් නො විසඳා හුදෙක් ත‍්‍රස්තවාදය, බෙදුම්වාදය හෝ අනෙකා ගේ ලේ පිපාසිත උන්මාදය ලෙස ලේබල් අලවා උණ්ඩයෙන් විසඳීමට ඉඩදී බලාගෙන සිටි හෙයිනි. බලාසිටීමෙන් නො නැවතී ආවැඩූ හෙයිනි.

වෙනත් පීඩිත ජනකොටසක ගේ සාධාරණ දේශපාලන ප‍්‍රශ්න දේශපාලන විසඳුම්වලින් විසඳනවා වෙනුවට ගල්රෝලෙන් තලාදමන්නට පාලකයාට උඩගෙඩි දුන් සමාජයකට ඒ ගල්රෝලට ම මුහුණදෙන්නට සිදුවීමේ අරුමය කිම? සිදුවූයේ ඒ ඇත්ත එදා ජාතිආලයෙන් ඔදවැඞී සිටි අපට නො තේරීම ය. අප අතර සිටි තේරුම්ගත් එකා දෙන්නා හෝ එය පෙන්නා දෙන්නට හැදූ විට උන් ද්‍රෝහීන් ලෙස දැක ඝාතන යන්ත‍්‍රයට ම බිලිදීම ය, නැතිනම් දූපතෙන් එලවා දැමීම ය.

දෙමළ අරගලය මහා මනුෂ්‍ය සංහාරයකින් සමූලඝාතනය කර දමා පස් වසරකට පසුත් රටක් ලෙස අප වෙලී සිටින කාලකණ්ණිකමෙන් මිදී, සොරුන්ගෙන් ජාවාරමුන්ගෙන් මිනීමරුවන්ගෙන් රට මුදාගන්නට අපට ඇවැසි නම් අප විසින් තේරුම් ගත යුතු එක් කටුක සත්‍යයක් තිබේ. එ නම් අප දෙමළා ගේ ප‍්‍රශ්නය විසඳා ඇත්තේ එය විසඳිය යුතු ව තිබූ හොඳ ම, සාධාරණ ම, යුක්ති සහගත ම ආකාරයට නොවේය යන්න ය. අප සියල්ලන්ගේම සම්මාදමෙන් දෙමළාගේ ප‍්‍රශ්නය යටකර දමා ඇත්තේ කිසියම් ජනකොට්ඨාශයක් පෙළනු ලබන දේශපාලන ප‍්‍රශ්නයක් අවසන් කළ හැකි නරක ම ආකාරයෙන් බව ය.

කොටින් ම කියනවා නම් දෙමළා ගේ ප‍්‍රශ්නයට අප සොයාගත යුතුව තිබුණේ යුදමය විසඳුමක් නො වන්නේ ය, ඊට අප විසින් සාමූහික ව සයොගත යුතු ව තිබුණේ දේශපාලන විසඳුමක් ය යන්න වසර පහකට පසු හෝ තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.
එසේ තේරුම් ගෙන ඒ වරද ප‍්‍රසිද්ධියේ පිළිගෙන, දෙමළ සමාජයට අප විසින් සිදුකරන ලද බරපතල අපරාධයට වන්දි ගෙවීමට සූදානම් වීම ය.

මෙය බරපතල යථාවකට තිගැස්සී ඇහැරීමක් බඳු වන්නට පිළිවන. ‘ඇත්තට ම අපි දෙමළාට කළ දේ හරිදැ’ යි මෙය කියවන ඔබේ හෘදය සාක්ෂිය පසුගිය පස් වසරට එක ම වතාවක් හෝ ප‍්‍රශ්න කළ බව අපට සහතික ය. (එ වැනි හෘදය සාක්ෂියක් නැත්තකු මෙය නො කියවන බවත්, කියවන්නට පටන්ගත්තේ නම් මේ වනවිටත් අත්හැර දමා ඇති බවත් අපට ඒ තරමට ම සහතික ය.) එහෙත් අපට විප්ලවීය වෙනසක් අවශ්‍ය නම්, නීතිය යුක්තිය සාධාරණත්වයට ඉඩක් ඇති ප‍්‍රජාතාන්ත‍්‍රීය රාජ්‍යයක් එහි හරයාත්මක ස්වභාවයෙන් ම මෙහි ස්ථාපිත කරගන්නට අප බලාපොරොත්තු වන්නේ නම් මේ යථාවට ඇහැරීම අනිවාර්ය කොන්දේසියකි. දශක ගණනාවක් නො තකා හැරි දෙමළා ගේ ප‍්‍රශ්නය දරුණු අවිගැටුමක් බවට වර්ධනය කිරීමට මහ ජාතිය හැටියට අප දායක වූ බවත්, එයට දේශපාලනමය විසඳුමක් සොයාගනු වෙනුවට යුද්ධයෙන් ඒ නැගිටීම තලාදැමීමට අප ගත් තීරණය සාධාරණ එකක් නො වන බවත් ප‍්‍රසිද්ධියේ පිළිගැනීමට, අපට අවබෝධයත්, ධෛර්යයත් තිබිය යුතු ය. ඒ තේරුම් ගැනීම ඔස්සේ අප විසින් දෙමළ සමාජයට කරන ලද බරපතල අපරාධයට වන්දි ගේවීමට අප සූදානම් විය යුතු ය. ඒ අභියෝගාත්මක යථාව, ඒ හෘදය සාක්ෂියේ නිහඬ කරන ලද හඬ පිළිගැනීම විසින් තනි තනි මිනිසා පවා ඔහු ගේ අභ්‍යන්තරයෙන් ම වෙනස් කරනවා ඇත. ඒ තනි තනි මිනිසා ගේ වෙනස්වීම සමාජමය වෙනසකට මඟකියනවා ඇත. විප්ලවීය දේශපාලන වෙනසකට පාර කියනවා ඇත.

කවුද සූදානම්?

දැන් අපට බලන්නට සිදුවන්නේ මේ භයංකර යථාව ප‍්‍රසිද්ධියේ පිළිගැනීමට මේ මොහොතේ, වසර පහකට පසු අපේ මහපොළොවේ කි‍්‍රයාත්මක වෙමින් පවතින දේශපාලන – සිවිල් බලවේග සූදානම් ද යන්න යි.

ප‍්‍රධාන දහරාවේ දේශපාලනය කරමින් සිටින කිසිදු සිංහල දේශපාලන පක්ෂයක් මේ යථාව මේ ලෙසින් ප‍්‍රසිද්ධියේ පිළිගැනීමට මේ මොහොතේ ඉදිරිපත් නො වන බව පැහැදිළි ය. නිදසුනකට ප‍්‍රධානතම විපක්ෂය වන එජාපය ගනිමු. සටන්කාමී බලවේගයක් රටේ කොයි මුල්ලක හෝ සිටීම එජාපයේ සැනසීමට කාරණයක් නොවේ. එය ඔවුන් ගේ වරදක් නොව ඔවුන් නියෝජනය කරන දේශපාලන ආර්ථික දහරාවේ උපන්ගෙයි ස්වභාවයකි. එබැවින් ඒ සටන්කාමී බලවේගය කොයි විදියෙන් හෝ විනාශවනු දැකීම ඔවුන්ගේ අභිලාශය යි. ඔවුන් සියතින්ම ඒ විනාශය සම්පූර්ණ කරන්නට බොහෝවර මැළිවුණේ දේශපාලන ප‍්‍රතිපත්තිමය ආර්ථික කොල්ලකාරයන්ට පවා සුළුජාතික රුධිරය දැකීම යනු විශාදයක් වන බැවිනි. මන්ද ඒ විසින් ප‍්‍රතාතන්ත‍්‍රවාදී, ලිබරල්වාදී සලූපිළි අන්දා කරන නිර්දය කොල්ලකෑමේ ම්ලේච්ඡු බව එළිපිට පෙනීයාමෙන් කොල්ලය අනතුරට ලක්වන්නට ඉඩඇති බැවිනි. එහෙත් කිසියම් ම්ලේච්ඡ බලවේගයක් පැමිණ තමන්ට කරන්නට අමාරු ඒ ලේ වැකි විසඳුම ලබාදෙන්නේ නම් ඔවුන් තරම් ප‍්‍රීතියට පත්වන තවත් කිසිවෙක් නැත. මන්ද ඒ ම්ලේච්ඡ විසඳුම විසින් විනාශකර දමන්නේ ඒ මොහොතේ සිටින සටන්කාමී බලවේගය පමණක් නොව නුදුරු අනාගතයේ පැනනැෙඟන්නට ඉඩඇති සකල සියලූ සටන්කාමී බලවේගවලට ම හැදෙන්නට තිබූ පොළොව යි. ඉදින් දෙමළ අරගලය යුද්ධයෙන් තලාදැමීම ඓතිහාසික වරදක් බව ප‍්‍රසිද්ධියේ කියාසිටින දේශපාලනයක් අප ඔවුන්ගෙන් බලපොරොත්තු වන්නේ කෙසේද?

ජවිපෙ ස්ථාවරය මීට වඩා වෙනස් ලෙස පෙනුණත් ඵලය වශයෙන් ඊට ම සමාන්තර ය. සටන්කාමී බලවේගයක් රටේ කොයි මුල්ලක හෝ සිටීනම් වඩාත් ම සතුටු විය යුත්තේ ද ඒ සටන්කාමී බලවේගය හා සබඳතාවක් ගැන, ඊට ඇති අවම හෝ ඉඩකඩ ගැන සිතාබැලිය යුත්තේ ද ඔවුන් බව බැලූ බැල්මට පෙනේ. විප්ලවීය සමාජ වෙනසක් කුළුගැන්වීමට සමාජයේ කොතැනක හෝ පැනනඟින එ බඳු සටන්කාමී අරගලයක් හේතුභූත විය හැකි බව, එවැන්නක් ඒ දිසාවට යොමුකරගැනීමට උත්සාහ කළහැකි බව, සමාජයේ කොයියම් ම හෝ මුල්ලක අරගලයක් මෝදුවීම සමස්ත අරගලයේ කොටසක් බවට පත්කරගත හැකි බව හා එ වැනි අරගලයක් මර්දනකාරී පාලන යන්ත‍්‍රයක් විසින් තලාදැමීම සමස්ත සමාජයේ අරගල උපදින පොලොව වැනසීමක් බව තේරුම්ගත යුතු ව තිබුණානම් ඒ ඔවුන්ය යි ඒ බැලූ බැල්මට පෙනේ. එහෙත් බැලූ බැල්ම කොතරම් වැරදිදැ යි ජවිපෙ ඓතිහාසික ව ඔප්පු කළේ පීඩිතයකු ගේ අරගලයක් ලෙයින් යකඩින් මඩින්නට ඒකාධිකාරී, අර්ධ වැඩවසම්, නිර්ප‍්‍රජාතන්ත‍්‍රීය පාලකයකුට උඩගෙඩි දීමෙන් හා ඒ පාලකයා ගේ ම්ලේච්ඡ මර්දන යන්ත‍්‍රයට මහනෙල් මල් පලන්දා ඒ සංහාරයට යන පාර හදා දීමෙනි. තමන් මහනෙල් මල් පලන්දන්නේ ඉතිහාසයේ දෙ වතාවක් තමන්ගේ ම සහෝදර සහෝදරියන් හැට හැත්තෑ දාහක් තිරශ්චීන ලෙස මරාදැමූ ම්ලේච්ඡ ඝාතන යන්ත‍්‍රයකටය යන්න පවා ඔවුන්ට අමතක විය. එහෙත් මාක්ස්වාදී ව්‍යාපාරයක් වාම ව්‍යාපාරයක් වනවා වෙනුවට එහි මතුපිට අංශු මාත‍්‍රයක් පමණක් උග‍්‍ර ජාතිවාදයට කලවම් කරගත් ජවිපෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි ය.

ජාත්‍යන්තර ප‍්‍රජාවේ රුජාව

තමන් ගේ දුක්ගැනවිල්ලට සාධාරණ විසඳුමක් සපයා දෙනු ඇතැයි අද වනවිට දෙමළා ද බලා සිටින්නේ ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාව දෙස ය. එහෙත් අප මේ කියන විප්ලවීය වෙනසට මේ ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් උපකාරයක් වේය යි කිසිවකු විශ්වාස කරන්නේ නම් එය මුලාවකි. මන්ද උක්ත විප්ලවීය වෙනස මේ කියන ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවට වහ කදුරු මෙන් වන බැවිනි. ශ‍්‍රී ලංකාවේ 2005 දී පහළ වූ ගෝත‍්‍රවාදී පාලකයා දෙමළා ගේ ප‍්‍රශ්නය විසඳන්නට යන්නේ එය විසඳිය හැකි නරක ම ආකාරයෙන් බව, එනම් කුරිරු යුද්ධයකින් බව ඔවුහු හොඳාකාරව ම දැන සිටියා පමණක් නොව ඊට අවශ්‍ය තාක්ෂණය, දැනුම, අවි ආයුධ පමණක් නොව ඔත්තු ලබාදුන්නේ ද, ලෝක මතය ඒ සංහාරයට ගැලපෙන පරිදි පාලනය කළේ ද මේ කියන ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාව හැර වෙන කවුද?

එය සහේතුක ය. මේ ලෝක ක‍්‍රමය මුළුමනින් ධනවාදයේ ගෝලීයකරණ අවදිය සපුරාගනිමින් සිටින ක‍්‍රමයකි. ලෝක ගෝලයේ කොයියම් ම හෝ තැනක මානව අරගලයක් දියත් වනවාට මේ ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාව කැමැති නැත. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වන්නේ ලෝකයේ කොයියම් ම හෝ මුල්ලක පැනනැෙඟන එ වැනි අරගල කොයියම් ම ආකාරයකින් හෝ තලාදැමීම ය. ඒ සඳහා ඔවුන් ඕනෑ ම ම්ලේච්ඡුයකු හා එකතු වන බවට ඉතිහාස සාක්ෂ්‍ය අනන්ත ය. එසේ තලාදැමීම දුෂ්කර සටනක් වේ නම්, ඒ සටන තමන් ගේ කරගෙන සටන තුළ තමන් ගේ ඉත්තන් ස්ථාපිත කිරීම මේ කොල්ලකාරී ගෝලීය ධනවාදයේ උපක‍්‍රමය නො වන්නේද? අවසන් මොහොතේ උතුරේ සිදු වූ දැවැන්ත මිනිස් සංහාරය හෝ නවතාලීමේ බලවත් හැකියාවක් හා ඉඩකඩක් මේ ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවට තිබිණි. එහෙත් ඔවුහු එය හිතාමතා පැහැර හැරියහ. ඒ පැහැරහැරීම ඔවුන් විසින් කරන ලද්දේ මේ රටේ පාලකයා ගේ දැනුවත් භාවය ඇතිව ය. ඔවුන් මේ ප‍්‍රශ්නයට යුද්ධයෙන් අනතුරුව හෝ පලදායක ලෙස මැදිහත්වීමේ තාර්කික අවස්ථාව නැතිකරගත්තේ මේ ‘අතයට ගේම’ ඔස්සේ ය. අද මේ මොහොතේ, මේ ගෝත‍්‍රික පාලන තන්ත‍්‍රය ඉදිරියේ ජාත්‍යන්තර ප‍්‍රජාව ද හුළං ගොස් හෑල්ලූ වූ බැලූමකි.

ඒ බැලූම හළි ය ගුලියක් වන්නට ඉඩ තිබේ. එසේ වී, මේ ගෝත‍්‍රික පාලන තන්ත‍්‍රය මත කඩාවැටෙන්නට ද ඉඩ තිබේ. එහෙත් ඒ දෙමළා හෝ මුසල්මානුවා හෝ පොදුවේ පීඩනයට පත්වන ලාංකිකයා ඒ ගෝත‍්‍රිකයන්ගෙන් බේරාගැනීමේ අභිලාශයෙන් නොව සිය ගෝලීය ධනවාදී කි‍්‍රයාවලියේ අවශ්‍යතා මතුව එන හැටියට ය. අද මේ මොහොත වන තුරුත් රාජපක්ෂලා යනු ගෝලීය ධනවාදය විසින් ඉල්ලාසිටින සම්පත් කොල්ලය රටතුළ මොනොවට කි‍්‍රයාත්මක කරමින් සිටින පාලක රොත්ත ය. 21 වැනි සියවස ඇරැඹුමේ රනිල් ලවා කරගන්නට බැරි වූ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ කොල්ලකාරී ව්‍යාපෘතිය දෙගුණ තෙගුණ කර කිසිදු ප‍්‍රතිවිරෝධයකින් තොරව කරගෙන යන්නේ ජාතිවාදයෙන් ගෝත‍්‍රවාදයෙන් බහුතර ජනයා මුසපත් කළ රාජපක්ෂයානු ආශ්චර්යයට අනුව බව උහු දනිති. ඉදින් සුළු සුළු ප‍්‍රතිසංස්කරණ මිස බරපතල වෙනසක් කුමකටද? එහෙත් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට රාජපක්ෂලා අසමත් වූ දිනෙක ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාව ය ගුලියක් ව ඔවුන් මත කඩාපාත්වනවා ඇත.

එසේනම් යෝජනා පිට යෝජනා ගෙනෙමින් ජාත්‍යන්තර ප‍්‍රජාව ලාංකේය රෙජීමය හා හැප්පෙන්නේ ඇයිදැ යි කෙනකු අසන්නට පිළිවන. ඔවුන් ඉල්ලා සිටින්නේ සරල දෙයකි. ‘අපේත් සහභාගීත්වයෙන් අනුදැනුමෙන් කරන ලද යුද්ධයෙන්, ඕනෑ ම තැනක විය හැකි පරිදි, දුගඳ හමන මළකුණු ටිකක් හා අශෝභන ලේ පැල්ලම් ටිකක් ඉතිරි වී තිබේ. ඒ මළකුණු ටික හරිහැටි මිහිදන් කර ලේ පැල්ලම් ටික සෝදා හැර ම්ලේච්ඡ සංහාරයේ කැතකුණු වසාගනිල්ලා.’ මේ කැතකුණු හැකි හැම විට ම වසාගැනීම ගෝලීය ධනවාදයේ මර්මස්ථානවල අභිලාශය යි. මන්ද අනන්තවත් කැතකුණු ලෝකය වටෙන්ම තව තවත් එකතු වන බැවිනි. වසන්නට බැරි ඒවාත් ඒ අතර තිබෙන බැවිනි. ඉදින් වසන්නට බැරි ම ඒවා එකතු වන්නට ඉඩ ලබාගැනීමට නම් වසාගත හැකි ඒවා වසන්නට සිදුවේ. නැතිනම් එකතුවන මහා කැතකුණු කන්ද විසින් කඩාවට්ටවන්නේ සමස්ත ක‍්‍රමය යි.

රාජපක්ෂලා මේ ටික ඉටුකරන්නට ඉදිරිපත් වූ දිනෙක ඔවුන්ට මහලොකු කරදරයක් කරන්නට ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවේ කවුරුත් නැත.

උතුර තලාදැමීමෙන් අපට අහිමි වූයේ මොනවාද?

උතුරේ සටන තලාදැමීම විසින් අපට අහිමි කරන ලද්දේ මොනවාදැ යි නිශ්චිත ව තේරුම් ගැනීම මේ බැරෑරුම් වූ ද, භයංකර වූ ද යථාව අවබෝධ කරගැනීමට අපට යම්කිසි හෝ ආධාරයක් වනු ඇත.

ඒ විසින් සමාජයක් හැටියට අපට අහිමි කරන ලද්දේ පොදුවේ එක් වී සටන් කිරීමට තිබූ ඉඩකඩ යි. අරගල කිරීමේ හැකියාව යි. දෙමළා ගේ අරගලය විනාශ කරන්නට උඩගෙඩි දෙනවිට අප විසින් විනාශ කරගනු ලබන්නේ අපේ ම අරගල අවකාශය බව, අපේ ම අරගල විභවය බව අපි එදා ද දැන සිටියෙමු. එහෙත් එදා එය සුළුතර මතය විය. දේශද්‍රෝහී පාවාදෙන්නන්ගේ මතය විය. බහුතරය ගත් මග දිගේ වේගයෙන් දිවගොස් වසර පහකට පසු සම්මුඛ වී ඇති ලංකාව දෙස බලා අපට ආයෙත් අර ටික ම අතීත කාලයට යොදා කියන්නට සිදු වී ඇත. උතුරේ දෙමළාට මළවුන් සැමරීම තහනම් වනවා පමණක් නොව දකුණේ මරාදැමුණු ධීවර සහෝදරයා ඇන්ටනී සැමරීම ද අපට තහනම් ය. රොෂේන් චානක ගේ අවමඟුල පැවැත්වීම ද රෙජීමයට අවශ්‍ය විදියට කරන්නට අපට සිදුවිය. ඒ යුද්ධයට ආවැඞීමේ ප‍්‍රතිඵල යි. මේ ටික තේරුම් ගන්නේ නැතිව, අප විසින් කරන ලද ඓතිහාසික වරද පිළිගන්නේ නැතිව, එයට වන්දි ගෙවා විනාශ කරන ලද දෙමළා ගේ ජීවිතයෙන් සමාව ගන්නට සූදානම් වන්නේ නැතිව අපට ම කියා අරගල භූමියක් පවත්නා තතු යටතේ නිර්මාණය කරගැනීම උගහට ය.

මේ අමාරු ම දේ ප‍්‍රසිද්ධියේ පිළිගන්නේ නැතිව, දෙමළාගෙන් සමාව ඉල්ලන්නේත් නැතිව අපට වෙනසක් කරන්නට හැකියාවක් නැතිදැ යි කෙනෙක් අසන්නට ඉඩ තිබේ. ඔව් අතිමහත් බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ එය යි. අතිමහත් බහුතරය කරන්නට හදන්නේ ද එය යි. එජාප ජවිපෙ ඇතුළු බහුතර සිංහල දේශපාලන ව්‍යාපාරත්, බහුතර සිවිල් සංවිධානත් වඩා කැමැති වන්නේත් උත්සාහ කරන්නේත් අඩුවැඩි වශයෙන් මේ විසඳුමට යි.

එහෙත් අපට කියන්නට ඇත්තේ එය මේ වෙනස කිරීමට ඇති හොඳ ම විදිය නොවේ ය යන්න යි. එයින් අපේ සමාජයේ ප‍්‍රධාන කොටස්කාරයකු වන දෙමළා ගේ තුවාල මුළුමනින් සනීප නොවේ. මේ ‘උගුරට හොරා බෙහෙත් කෑමේ’ වෙදකමෙන් දෙමළා ගේ තුවාල අමතක කරවන්නට හෝ හැකිදැ යි බලන්නට දිගුකාලීනව ඉවසීමෙන් යුතු ගමනක් යන්නට සිදුවනු ඇත. වඩාත්ම ශිෂ්ට සම්පන්න හෝ සාධාරණ ක‍්‍රමය නොවෙතත් කාලාන්තරයකට පසු හෝ දෙමළාගේ තුවාල මේ ක‍්‍රමයෙන් ද යම් තරමකට වැසීයන්නට බැරිකමක් නැත. එහෙත් පැලැස්තරයක් යට දිගුකාලීන ව ඔඩුදුවන, මෝරන තුවාලය ගිනිකන්දක් ව දෙමළා ගේ සම නම් පොළෝ කබොල්ල කඩාගෙන සැරව නම් ලෝදිය උතුරුවාගෙන පුපුරා යන්නට පුළුවන. ‘මොකුත් වුණේ නෑ වගේ ඉඳීමේ’ විසඳුම කි‍්‍රයාවට නඟන්නට කැමැති මහත්තුරුන්ට මේ අවදානම දරාගන්නට සිදුවීම අනිවාර්ය ය.

සනත් බාලසූරිය | Sanath Balasooriya

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ සටහනට ද පිවිසෙන්න.