Image Credit: Azzam Ameen ‏@AzzamAmeen

හැරි හැරී සිටීමට කාලයක් නොමැත. මහා නායක ස්වාමින් වහසේලා මෙන්ම වග කිව යුතු එසේත් නොවේනම් තමන්ට පැවරුණු තත්වය නිසා වගකීමට බැඳ ඇති පිරිස මෙම පිස්සුවට වහාම ප්‍රතිකාර කළ යුතුව ඇත. පිස්සු බල්ලන් මෙන් අනෙකාව හපා කෑම වළක්වා ලීම සඳහා සියලුම දෙනාගේ කඩිනම් අවධානය වහාම යොමු විය යුතුය. මෙය බෞද්ධයින් අන්‍යාගමිකයින්ගෙන් බෙරාගැනීම පිළිබඳ වූ ගැටලුවක් නොව. මෙය බෞද්ධයින්, “බෞද්ධයින්ගෙන්” බේරා ගැනීම පිළිබඳ වන ගැටලුවකි. මෙම බරපතළ ගැටලුවට පිළිතුර සොයාගෙන කඩිනම් විනයානුකූල වැඩපිළිවෙලකට තල්ලු විය හැකි නම් බෞද්ධයින්ට අන්‍යාගමිකයින්ගෙන් එල්ල වී ඇතැයි කියන ගැටලු වලට පිළිතුරු සෙවිම අපහසු දෙයක් නොවේ. ඊට පෙර අභ්‍යන්තරයේ තියෙන දුර්ගන්ද පිළලය ඉවත් කළ යුතුව ඇත.

මෙය මලවතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා දෙපල තම බුද්ධිය වහාම මෙහෙයවා කළ යුතුව ඇත්තාහ. එසේ නොමැතිව තමන් වහන්සේලා වැඳ පුදාගෙන ඒමට පැමිණෙන සෑම දෙනාගේම පිරිත් නූල් බඳිමින් මරණින් මතු ලබන ජීවිතය ගැන ඉගැන්විය හැකිය. නමුත් මෙම ජාතියට අවශ්‍ය වන්නේ එවැනි ප්‍රතිපත්තියක් නොවේ. තම අනුගාමිකයින් අයාලයේ හැසිරෙන විට ඔවුහු විනයෙහි පිහිටුවීම හෝ ඔවුන්ගේ සිවුරු ගලවා මුල්ලකට ගාල් කිරීම කළ නොහැකිනම් තම නායකත්වයෙන් ඇති ඵලය කුමක්ද? ජාතිය වඳ වීම පිළිබඳ ගැටලුව ඇත්තේ මෙහි මිස වෙන අයෙකුගේ කුමන්ත්‍රණයක් මත නොවේ.

ජාතියට මොළයක් නැත. තිබු මොළය පවුල් කිහිපයක දේශපාලන අවශ්‍යතාවයන් සඳහා කාබාසිනියා කොට ඇත. විකෘති කොට ඇත. බුද්ධිය ඇතිවුන් සියල්ලම රට හැරගොස් වෙන රටවල්වලට තම ජීවිතයේ වටිනාකම දායාද කොට ඇත. දැනුම එම රටවලට බෙදා හැර ඇත. අපට ඉතුරු වී ඇත්තේ පුහුමානය සහ වෛරය පමණි. රට තුළ බුද්ධියෙන් හීන වී ඇති තකතීරුවන් පිරිසක් බිහි කොට ඇත.

මෙහි වැඩි වගකීමක් ගත යුතුව ඇත්තේ මහනායක හිමිවරුන්ය. උන්වහන්සේලා ජාතියෙන් සමාව අයැදිය යුතුව ඇත්තාහ. තම නිල තලයෙන් වගතුවක් නොවන්නෙන් නම් තම පෞද්ගලික ගරුත්වය තබාගෙන බෞද්ධාගමේ හරය විනාශකරන කල්ලි වලට තවත් එය විකා විනාශ කිරීම සඳහා විවෘත ආරාධනාවක් කොට සියලුම වගකීම් වලින් ඉවත්න්වන්නේ නම් එය මේ සියල්ලටම වඩා වටින්නේය.

සිදුවෙමින් පවතින ආරවුල හමුවේ කළ හැක්කේ කුමක්ද යන්න විමසීමට පෙර බොදු බදු බල සේනාව නමැති සංවිධානය යළිත් මේ ආකාරයෙන් පිස්සු වැටීම සඳහා බලපෑ ප්‍රධානා කාරණයක් තිබේ. එනම් මේ වන විට ඔවුන්ට එරෙහිව විභාග වෙමින් පවතින නඩු විභාගයයි. ඒ බෞද්ධ භික්ෂුවක් විසින් එම සංවිධානයට එරෙහිව කළ පැමිණිල්ලයි. අදාළ සිදු වීමේදී අදාළ සේනාව මහත් වියරු වැටීමකට ලක් වී ඇත.

නමුත් අධිකරණය තව දුරටත් හෑල්ලු කොට එහි ස්වාධීනත්වය නැති කිරීම සඳහා වන වැඩපිළිවෙලක් මෙම සේනාව සිදු කරමින් තිබෙන බවද පෙනේ. ජනාධිපති රාජපක්ෂ මෙරට නීතී ක්‍රමය කාබාසිනියා කොට ඉතුරු වූ අළු ටික ගිල දැමීම සඳහා බොදු බල සේනාව උසාවි නැග්ගුවේද යන්න දන්නේ මෙම සිදුවීම් වල අවසාන වාසීය ලබන්නා පමණි. නැති ගරුත්වයක් බලෙන් ලබාගැනීමට යෑම සහ රටේ නීතියට ගරු නොකරන බව අදාළ සේනාවේ මහ ලේකම්වරයා ඇතුළු අයවලුන් උසාවී භුමියේ සිටම පෙන්වීම පිළිකුල් සහගතය. ඔහුට හැකි උපරිමයෙන් රටේ වෛරය පැතිරීමට ඉඩ දී ලංකාව තවත් අන්තවාදයේ මර්මස්ථානායක් බවට පත් කිරීම සඳහා ඉඩ ලබා දීම අතිශය කණගාටුදායකය. මෙය වහාම රටේ සෑම දේශපාලන පක්ෂයක්ම තේරුම් ගත යුතුව ඇත. ඊට එරෙහිව කුඹුල් කඳුළු හෙලීමෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලකට තල්ලු විය යුතුව ඇත. මෙය පොදු ප්‍රශ්නයකි.

රටේ ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම රටේ ආගම බවට නීතිගත කොට ඇති බව සැබෑය. නමුත් ඉන් ඥානසාර හිමි බෞද්ධාගමේ උරුමක්කාරයා යැයි සිහිනයකිඳු සිතීමේ වුවමනාවක් රටේ සාමාන්‍ය ජනතාවට නොමැත. ඔහු වපුරන්නේ වෛරයයි. ඔහු බොන්නේ අනෙකාගේ රුධිරයයි. දේවදත්ත සේ හැසිරෙන මොහු මෙම මුළු රටේම ජනතවාට නැති ගැටලුවක් මුලික ගැටලුවක් බවට පත් කොට ඇත. රටේ අන්‍යාගමිකරණය ඇතුළු ප්‍රශ්න තිබේනම් එය විසඳිම සඳහා බේබද්දන් සේ හැසිරෙන අයවලුන්ට නොහැකිය. ඉන් සිදුවන්නේ තව දුරටත් ගැටලුව සංකීරණ වීම සහ ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියකට ලක් වීම පමණි.

83 සිදු වූ කලු ජූලිය නිසා මුළු ජාතියටම සිදු වූ වන්දිවලින් තවමත් ගැලවීමක් නොමැත. සිංහලයින් මිනීමරුවන් කොට අනෙක් සහෝදර ජනතාව සමඟ සමඟියෙන් සිටීමට නොහැකි මට්ටමට පත් කොට මෙම සිදු කරණ අලුගේත්තේරු කටයුත්ත දැන්වත් නැවැත්විය නොහැකි නම්, වැඩි කලක් යන්නට මත්තෙන් 83 කලු ජූලියට වඩා අතිශය බරපතළ ලේ ජූලියක් ඇති වනු ඇත. බෞද්ධාගම රැක ගැනීමට යැයි පොරකන මෙම සිවුරු පොරවාගත් මුදලාලිලාට සිදු විය යුත්තේ එයද? ඔවුහු කියන ආකාරයේ ලිංගික හිංසා කුඩා දරුවන්ට හෝ ගැහැණු ළමයින්ට වෙනත් ආගමිකයින්ගෙන් සිදුවන්නේ නම් ඊට පිළිතුරු ලබා දිය යුත්තේ උසාවිය මිස වෙන තැනක් නොවේ. එසේම අමතක නොකළ යුත්තේ ඇතැම් බෞද්ධ භික්ෂූන් ද මෙවැනි හිංසාවලට වගකිව යුතු බවයි. ඇතැම් අවස්ථාවලදී රටේ බෞද්ධ බික්ෂුන්ගේ වික්‍රමවලින් අධෝප්‍රදේශය තුවාළ වූ කුඩා පිරිමි දරුවන් ගැන වාර්තා වී ඇත. මොවුහු සියලු දෙනාටම දඬුවම් කළ හැක්කේ රටක ශක්තිමත් නීති ක්‍රමයක් අත්තේනම් පමණි. එය එකිනෙකාගේ පෞද්ගලික වුවමනාකම් වලට වෙන්දෙසී වන ක්‍රමයක් වූ විට ඉන් යුක්තිය අපේක්ෂා කළ හැකිද?

කෙසේ වෙතත් මෙම අවුල විසඳීම සඳහා මහනායක නාහිමිවරුන්ගේ ඍජු මැදිහත්වීම අත්‍යවශ්‍යය. දේශපාලනයෙන් වියුක්ත කරනු ලැබූ සියලුම බෞද්ධ ස්වාමින් වහන්සේලා එක තැනකට කැඳවිය යුතු වැඩපිළිවෙලකට වහාම තම අවදානය යොමු කළ යුතුව ඇත. එනම් මහා සංඝ සංගායනාවක් පවත්වා රටේ පවතින සැබෑ ගැටලු සහ බෞද්ධ භික්ෂුව මුහුණ දෙන ගැටලු ගැන දීර්ඝ වශයෙන් සංඝායනා කොට බෞද්ධ භික්ෂුව විනයෙහි පිහිටවිය යුතු වැඩපිළිවෙලකට යා යුතුව ඇත. එසේම ධර්මයට අදාළ ව්‍යවස්ථාවක් තිබේ නම් එය වහාම අලුත් කොට එහි ඇති හිඩැස් මකා යළිත් සම්මත කර ගත යුත්තේය. එවැන්නක් නොමැතිනම් නිර්මාණය කළ යුත්තේය.

බෞද්ධ ආගම නාමයෙන් සියලුම පන්සල් සහ සේනා ලබන ආධාර සහ මුදල් ස්වාධීන විගණනයක් යටතේ තැන්පත් කරණ මණ්ඩලයක් වෙත පැවරිය යුතුය. එමඟින් රටේ වෛරය වපුරා මිනිසුන්ගේ ලේ උරාබොන භික්ෂුවටත් ඈත ගමක භාවානුයෝගීවය සිය දිවිය ගෙවන භික්ෂුවටත් එක හා සමාන සම්පත් ගලා යාමේ යාන්ත්‍රණයක් සහතික කර ගැනීමට හැකියාව ලැබේ.

බෞද්ධ ආගමික පන්සල් සහ නොයෙකුත් ආකාරයේ අසපු ලෙස තනා පවත්වා ගෙන යන දෑ සියල්ලම ස්වාධීන භික්ෂු මණ්ඩලයක් යටතට පත් කොට ඒවායේ මුල්‍යමය විනය, බුද්ධිය සහ අනෙකුත් කටයුතු සියල්ල නීරීක්ෂණයට ලක් කළ යුතුව ඇත. පන්සල සහ අසපු වල සිදුවන ලිංගික හිංසනයන් වැනි දුරාචාර වලට මෙමඟින් පිළියමක් සොයා ගත හැකිය. මහා නායක ස්වාමින් වහසේලා වහාම තම ගරුත්වය රැක ගැනීම උදෙසා මෙවැනි වැඩපිළිවෙලකට නොයන්නේ නම් වැඩිකල් නොගොස් මෙම සේනා විසින්ම බෞද්ධාගම විනාශකරනු ඇත. ඊට ඇති ගරුත්වය කෙළසනු ඇත.

අලුත්ගමදී සිදු වූ අතිශය අවසනාවන්ත කාරණය මුළු ජාතියටම සිදු කළ විලි ලැජ්ජාවකි. මෙහි එකම වග උත්තර කරුවා වන බොදු බල සේනාව සම්බන්ධයෙන් වහාම බෞද්ධාගමිකව ගත යුතු වැඩ පිළිවෙල ගත යුතුව ඇත. ඊට අමතරව ජනාධිපතිවරයා තම ට්විටර්, දේශපාලනය ක්‍රියාවේ යෙදවිය යුත්තේය.

මොවුහු මෙතරම් නැටීම සඳහා ඉදිරිපත් කරණ කාරණා කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න සිංහල ජාතිය වඳ වීම පිළිබඳ ගැටලුවයි, අනෙක රටේ බෞද්ධාගම නැති කිරීම සඳහා ඇති “හම්බයන්ගේ” කුමන්ත්‍රණයයි. අදාළ සේනාවේ මහා ලේකම් අදාළ ධර්ගා නගරයේ නමද වෙනස් විය යුතු යැයි සඳහන් කළහ. මෙහි මීළඟ වැඩපිළිවෙල හම්බන්තොට ප්‍රදේශයේ නමද වෙනස් කිරීමට යෝජනා කිරීමයි. එය වෙනස් කොට ඊට මිහිඳුපුර හෝ රාජපක්ෂ වෙල හෝ රාජපක්ෂ වගුර යැයි නම් කළ යුතු යැයි කිවහොත් පුදුමයක් නොවේ.

රටේ නීතිය සහ රාජ්‍ය ආයතනවලට හිමි ස්වාධීන බලය විනාශ කිරීමේ විපාකය මෙයයි. රටක අන්‍යාගමිකරණය හෝ ජාතිය වඳ වීම පිළිබඳ ගැටලුවක් තිබේනම් ඒවා විසඳා ගත හැක්කේ ඔලු කුහරය ඇතුලෙහි ඇති මොළය පාවිච්චි කිරීමෙන් මිස මුළු ලෝකය ඉදිරියේ මිලේච්ඡයින් ලෙස කටයුතු කිරීමෙන් නොවේ. රට මුළු ලෝකෙටම ණයකාර ජාතියකි. ඉපදෙන දරුවාද ඉපදෙන්නේ ණයකාරයෙකු ලෙසය. මෙම වඳ වෙමින් පවතින ණයකාර ජාතියට ඉන් ගොඩ ඒමටනම් වැදගත් වන්නේ මොළය භාවිතා කිරීම මිස හැම අස්සක් මුල්ලකටම රිංගා අනෙකාගේ ලේ සෙලවීම හෝ අනෙකා මහත් වීරියෙන් උපයාගත් දෑ විනාශ කිරීම නොවේ. අපි මෙය යළි යළිත් සිදු කරන්නෙමු. 83 කලු ජූලියේදීත් ඊට උල්පන්දම් දුන් හොරුන් සිදු කළේ එයයි. ඉන් සිදු වූයේ ජාතිය තව දුරටත් හිඟමනට ඇද දැමීම පමණි. දැන් සිදුවන්නේත් එයයි. මෙය වහාම නතර කළ යුතු නොවේද?

මෙය වළක්වා ලීමටනම් මෙම පිස්සු නටන සේනා විනයෙහි පිටුවා තැබීමේ වැඩපිළිවෙලක් බෞද්ධ පන්සල්, ආරාම සහ අසපු ඉලක්ක කරගමින් සිදු විය යුතුය. රටේ කිසිවෙකු හෝ වරදක් කරන්නේනම් ඊට නිතී මාර්ගයෙන් කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඊට රාජ්‍ය ආයතන හෝ ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කළ යුතුය. වාර්ගික ගැරහීම්, ආගමික පළිගැනීම් සහ නොයෙකුත් ආකාරයේ හිංසනයන්ට එරෙහිව විසඳුම් සෙවිය හැක්කේ එමඟිනි.

රාජපක්ෂ උසාවිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන තමන්ගේ අල්ලට ගෙන නැටවීමේ ඛේදවාචකය මෙයයි. මෙය තවදුරත් සිදුකොට කොට ඔහුට ඔහුගේ බලය තහවුරු කොට ලංකාව අන්තවාදීන්ගේ තිත්පොලක් කොට, සියලු දෙනාගේම මහත් පරිශ්‍රමයෙන් ලබාගත් නාමික සාමය ඔහු චුත වෙන විට මෙම භූමියෙන් අතුරුදන් කළ හැකිය. යළිත් යුධ ගිනි අවුළුවා තම හොරකම් සියල්ලම වසා ගත හැකිය. නීතියෙන් මුක්ත වී සිටිය හැකිය. නමුත් ඊට ඉඩ දෙන්නේද නැද්ද යන්න අපි සතු මොළය පිළිබඳව වන කාරණයකි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa