මහනායක, අස්ගිරි පාර්ශවය, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින් වහන්ස;

මහනායක, මලවතු පාර්ශවය, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්ස;

මිනිසෙකු ලෙස ඉපිද, මිනිසෙකු ලෙස ජීවත් වී , මිනිසකු ලෙස මිය යාමේ භාග්‍ය අපට අපේ මාතෘ භූමිය තිළිණ කොට දී ඇත. අපට ඒ සඳහා විශාල මඟ පෙන්වීමක් ඔබ වහන්සේලා මේ වන විට මඟ පෙන්වන නායකයින් ලෙස අතිශය බැරෑරුම් වගකීමක් භාරගෙනගෙන කටයුතු කරණ, බෞද්ධ ධර්මය විසින් ත්‍යාග කොට ලබා දුන් බව කිසිඳු සැකයකට තුඩු දෙන කාරණයක් නොවේ.

අප මහා අමාමෑණි ලොවතුරා සම්මා සම්මුදු පියාණන් වන, ගෞතම බුදු පියාණන් වහන්සේ මනුෂ්‍යකුට කළ හැකි ඉහළම සහ වටිනාම කටයුත්ත ගැන අපට අවබෝධ කරදුන් සේක. එම බෞද්ධ ධර්මය සතු ගුණාංග, එය අපේ මාතෘ භූමියට කළ සේවය, ඒ නිසා අප ජාතියක් ලෙස මුළු ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වූ ආකාරය, අපි එකිනෙකා අතර ඇති විවිධත්වය හඳුනා ගනිමින් එම විවිධත්වයට ගරුකරමින් ජීවත් වූ ආකාරය, ආදී කාරණා රැසක් මෙහිදී මතක් කළ හැකිය. අපට පවුලක් පිළිබඳව මෙන්ම ගමක් කේන්ද්‍ර වූ කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවිකාව කරගන්මින් ගෞරවාන්ත්විතව ජීවත් වීමට අවශ්‍ය මානසික මෙන්ම කායික සහනය සැබෑ කර දීමට මෙම උතුම් ධර්මයට හැකි වූ බව මා අමුතුවෙන් පැවසිය යුතු නොවේ. මන්ද මෙය අපට ඉතිහාසයේ උගන්වන පාඩමය. සම්ප්‍රදාය තුළින් හමුවෙන අභිමානයය.

මේ සියලුම සුභ වාදී කාරණා මෙන්ම ඒ හා සමානව මෙම උතුම් ධර්මය අයාලයේ යවා තම තමන්ගේ පෞද්ගලික අරමුණු සහ ආසාවන් ඉටුකර ගැනීමට සහ තෘප්තිප්මත් කර ගැනීමට කටයුතු වූ කාරණාද මේ අතර සිදු වූ බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. අපි ජාතියක් ලෙස අතිශය වාසානාවන්ත වූ නමුත් එම සියලු වාසනාවන් අයාලයේ යොදා, තම තමන්ගේ ආත්මගරුත්වය පාවාදුන් ජාතියක් බවට පත් වීමට හේතු වූයේ නම් ඒ සඳහා බලපෑ සියලුම කාරණාද ඔබ වහන්සේලා මනාව අවබෝධ කරගෙන ඇති බව මට සිතේ. ඒ නිසා කිසිවෙකුට රැවටිය නොහැකි, කිසිවෙකුගේ ධන පරිත්‍යාග, වාචික උත්ප්‍රේරක සහ අල්ලස් වලට හෝ අනෙකාගේ බලයට නොරැවටෙන, නොනැමෙන සහ දීන මෙන්ම නිවට නොවන අති පූජ්‍ය ඔබ වහන්සේලා දෙනම, අපේ මාතෘ භූමියේ සිටින සියලුම මනුෂ්‍යයින්ගේ, සතා සිව්පාවාගේ සහ ගහකොළ ආදී සියලුම දෑ වල ගරුත්වය ආරක්‍ෂා කිරීම සඳහා තම උතුම් ජීවිත කැප කරණ බව මාගේ විස්වාශයයි. මෙම මුලික කාරණා වලට ගරු කරමින්, මෙම විවෘත සංදේශය මා ලිවීමට තීරණය කළෙමි.

ලංකාවේ අනෙකුත් බොහෝමයක් රාජ්‍ය ආයතන මෙන් තැපැල් සේවාවද ගරා වැටී ඇති හෙයින් සහ ඇතැම් විට ලැබෙන ලිපි සොරකම් කිරීම එම සේවාවේ රාජකාරියේ නියුතු අයවලුන් සහ ඊට සම්බන්ධ නොයෙකුත් පිරිස්වලින් කරණ බව මා හට පෞද්ගලික අත්දැකීම් ඇති නිසා මෙම සංදේශය තැපෑලෙන් එවීමට නොහැකි බව අවධාරණය කරන්නේ කණගාටුවෙනි. එසේම කෙතරම් අවශ්‍ය වුවද වියදම් කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් මා සතුව නොමැති බැවින් මෙම සංදේශය පෞද්ගලික කූරියර් සේවාවක් ඔස්සේ එවීමටද නොහැකිය. ඉතිහාසයේ සඳහන් ආකාරයට මෙම ගද්‍ය සංදේශය එවීම සඳහා මා හට කීකරු පක්ෂියෙක්ද පේන තෙක් මානයකවත් නොමැත. නමුත් මාගේ කැපකිරීමේ ප්‍රමාණයට සහ එම කැපකිරීමට අපේ මාතෘ භූමියේ වෙසෙන මා වැනිම මිනිසුන් ලබාදෙන සහයෝගය මත මෙය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නෙමි.

අතිගරු ස්වාමීන් වහන්ස;

මෙය මා විසින් කිසියම් හෝ කාරණයක් අළලා ලියනු ලබන පළමුවැනි විවෘත සංදේශය බව මතක් කරනු ලබන්නේ මිශ්‍ර හැඟීමෙනි. එනම් කණගාටුවක් මෙන්ම සතුටක් මා සතුව ඇත. එම සතුට සැබෑ සතුට නොවන නමුත් අඳුරේ වෙසෙන මිනිසාට කණාමැදිරියෙකු ලබා දෙන ආලෝකයද ඉතා වටිනා හෙයින්, මාගේ සතුටද ඒ හා සමානය. කණාමැදිරියෙකුගේ ගුද ප්‍රදේශයෙන් නිකුත් වන ආලෝකය හා ගලපන කල්හී ඔබ වහන්සේලා මෙම මාතෘ භූමියට විදුලි ආලෝකයකි.

ඒ අනුව මෙම පළමු විවෘත සංදේශයට මුලික වන සතුටුවිය හැකි කාරණා අතර මූලික වන්නේ මාතෘ භූමියේ සියලුම ජනතාව, මෙන්ම බෞද්ධ ජනතාව සහ ඒහා බැඳුණු ස්වභාවික පරිසරයට ඔබ වහන්සේලාගේ ඍජු සහ අවංක ප්‍රෞඪ නායකත්වයට හිමිකම් කීමට අපේ මාතෘ භූමිය වාසනාවන්ත වීමයි. මෙය මේ ලෝකයේ මිනිසුන්ට ඉතා දුර්ලභ නමුත් වාසනාවට මෙන් අපේ මාතෘ භූමිය අත්කරගත් ජයග්‍රහණයකි. ඊට රටේ ව්‍යවස්ථාවෙන්ද විශාල නිතීමය අවකාශයක් තිළිණ කොට දී ඇති අතර , බෞද්ධ ධර්මය රාජ්‍ය ආගම බවට නීතීගත කොට තිබේ. ඒ ඔබවහන්සේලාගේ මෙන්ම මීට පෙර ඔබවහන්සේලගේ වගකීම ජීවිතය කොට ගත් අතිගරු සංඝරත්නය විසින් කාම මූල ධාතූන් පිනවීමේ තණ්හාව මුලික කොට ගත් වාසී නොතකා සිදුකළ පරාර්ථකාමී කැපකිරීමේ ප්‍රතිඵලයයි. ඒ ගැන පළමුව මම ඔබ වහන්සේලාට ගෞරව පූර්වකව නමස්කාර කිරීමට කැමැත්තෙමි. එම නමස්කාරය කිසිඳු හිරිකිතකියක් නොමැතිව මා සිදු කිරීමට කැමති අතර එසේම එය කිසිඳු හිරිකිතයකින් තොරව ලැබීම සඳහා ඔබ වහන්සේලාගේ හෘදසාක්ෂිය සුපිරිසිදු බව මාගේ විස්වාශයයි. එය එසේ නොවන්නේනම් නමස්කාර කිරීම භාරනොගන්නා ලෙස මා බැගෑපත්ව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

ලංකාව සම්බන්ධයෙන් මා විසින් කොතෙකුත් රචානා ලියා ඇතත් මෙවැනි සංදේශයක පෞද්ගලික අවශ්‍යතාවයක් මීට පෙර ඇති නොවූ බව මා ඍජුව ප්‍රකාශ කළ යුතුය. නමුත් කාලය සහ අපේ මාතෘ භූමියේ අඩුවක් නොමැතිව සිදුවන අතිශය කණගාටුදායක කාරණා නිසා මෙවැනි සංදේශයක් ලිවීම අවශ්‍යතාවයක් ලෙස මතු විය. මෙය හුදු පෞද්ගලික වැළපීමක් ලෙස කිසිවෙකුට පෙනී යා හැකිය. නමුත් රටේ සිදුවන සිදුවීම් දැකීමෙන්, බෞද්ධයෙකු ලෙස මුහුණ දී සිටින ව්‍යාකූලභාවය වචනයෙන් විස්තර කිරීමට නොහැකි මට්ටමින් බරපතළය.

අපට මේ ආකාරයෙන් සිදුවන කාරණා දෙස බලා හඬා වැළපිය හැකිය. පෞද්ගලිකව දුක් පීඩා වලට මුහුණ දී රහසේම මියැදිය හැකිය. කිසිවෙකු හෝ අපගේ මළ කඳ මේ මහපොළවේ මිහිදන් කොට දමනු ඇත. එසේ නොවුන හොත් ලක්ෂයකට ආසන්න පිරිසකට සිදු වූ ආකාරයෙන් මාගේ මළ කඳද සොයා ගැනීමට නොහැකි ඉසව්වකට ගෙන් ගොස් කිසිවක් සිදු නොවුණා සේ එය කළ වුන් ඔබ වහන්සේලාගේ අභියසටවිත් පාදමත දෙඅත් තබා නමස්කාර කොට රටේ බෞද්ධ පුනරුදය ගැන උදම් අනනු ඇත. ඔවුන්ගේ පාදයේ කෙසේ වෙතත් එක් අතක පිරිත් නූලක් ගැටගැසීමටද ඔබ වහන්සේලා අමතක නොකරනු ඇත.

කෙසේ වෙතත් එක් අයෙකුගේ ජීවිතය වූ කලී බිලියන ගණනක් වෙසෙන ලෝකයක එක අංශුවක් පමණි. මේ නිසා එක් අයෙක් අතුරුදන් කළ පමණින් මේ ලෝකය වෙනස් වන්නේ නැත යනු බොහෝ දෙනෙකු ඉදිරිපත් කරන අදහස වේ. නමුත් එලෙස වෙනස් නොවන්නේ යැයි කියන ලෝකය ව්‍යාකූල සහ විකෘති නොවන්නේ යැයි කිව නොහැකිය. වර්තමානයේදී අපි දකින ශ්‍රී ලංකාව වූ කලී මෙම ව්‍යකූලභාවයේ සහ විකෘතියේ සංකේතයකි. අපගේ මාතෘ භූමිය බොහෝ අයෙකුට තම ධනය වැඩිකර ගැනීම සඳහා වූ ඉල්ලමක් පමණක් වී ඇත. ඔවුහුගේ පෞද්ගලික ජීවිත ස්ථානගත කොට ඇත්තේ, ඔවුන්ම කියන බෞද්ධ ධර්මයට එරෙහිව කුමන්ත්‍රණය කරන රාජ්‍යන් වලය. අපේ මාතෘ භූමිය මුහුණ දී සිටින ව්‍යාකූල භාවය තේරුම් ගැනීම සඳහා මෙම කාරණයම ප්‍රමාණවත් වේ.

අතිගරු ස්වාමීන් වහන්ස;

රටේ ව්‍යාකූලභාවය ඇති කිරීම සඳහා ඔබවහන්සේලා නායකත්වය දෙන බෞද්ධ ධර්මය නියෝජනය කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා වගකිව යුතු බව කණගාටුවෙන් නමුත් අවධාරණයෙන් මතක් කිරීමට කැමැත්තෙමි. මා හට පෙනෙන ආකාරයට රටේ විනය පිරිහීම සඳහා බෞද්ධ භික්ෂුව වගකිව යුත්තේ, ව්‍යවස්ථාපිත රාජ්‍ය ආගම බෞද්ධ ධර්මය ලෙස මෙම රටේ සම්මත කොට ඇති බැවිනි. එය හුදූ අයිතියක් පමණක් නොව සුවිශාල වගකීමකි.

යම් ප්‍රජාවක් තුළ විනය පිරිහී ව්‍යාකූල වීම සඳහා ඍජුව බලපානු ලබන්නේ එම ප්‍රජාවට නායකත්වය ලබා දෙන නායකයින් බව ඔබ වහන්සේලා කුඩා කළ පටන් ඉගෙන ගන්නට ඇතැයි මට කිසිඳු සැකයකින් තොරව කිව හැකි කාරණයකි. මන්ද එය අපේ මව්පියන් විසින් උගන්වනු ලබන එක් මුලික පාඩමකි. ඉන්පසු පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය තුළින් මෙය වඩාත් මැනවින් උගන්වනු ලබයි. මේ සියලුම දෑ අපි වැඩිහිටියන් බවට පත්වන විට ව්‍යාජයක් බවට පත්වන්නේ මන්ද? අපි උතුම් යැයි පිළිගෙන වන්දනාමාන කළ අය, අයාලයේ යන වංචාවන් වලින් හිත පුරවාගත් අනෙකාගේ අයිතීන් පාගා කෙසේ හෝ තම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගන්නා අයවලුන් බවට පත්වන්නේ මන්ද?

එකළ බෞද්ධ පන්සල වූ කලී ප්‍රඥාවේ සංඛේතයක් ලෙස හැඳින් වූ බව මා අසා ඇත්තෙමි. නමුත් මාගේ පෞද්ගලික ජීවිතය තුළ එවැනි අත්දැකීමක් නැත. රටක පාලනයේ මර්මස්ථානායක් වන පන්සල දේශපාලනික වශයෙන් මහඟු දායකත්වයක් ලබා දුන් ආයතනක් බව ඉතිහාසය උගන්වා ඇත. මේ සියල්ල ක්‍රමිකව ව්‍යාජයක් බවට පත් විය. ඊට හේතුව විදෙශකයින්ගේ ආක්‍රමණ, අන්‍යාගමිකයින්ගේ කුමන්ත්‍රණ, දේශපාලනඥයින්ගේ දුෂිත වැඩපිළිවෙල ආදී නොයෙක් කාරණා ඉදිරිපත් කරමින් විස්තර කළ හැකිය. නමුත් සත්‍ය ඊට හාත්පසින්ම වෙනස් බව මගේ හැඟීමය.

එනම් බෞද්ධ පන්සල නමැති ආයතනය ව්‍යාකූල වීම සඳහා මෙන්ම විකෘති කරනු ලැබූ රාජ්‍ය පාලනයේ මෙවලමක් බවට පත් වූයේ එහි පැවති බරපතළ අභ්‍යන්තර අරගල නිසාය. පළමුව කුලය වැනි ගූඨ කාරණා විෂයෙහිලා බෙදනු ලබූ බෞද්ධ පන්සල ඉන් පසුව එක් එක් දේශපාලන මතිමතාන්තර අනුව බෙදී ගියේය. ඉන් පසු මූල්‍යමය වටිනාකම සහ පෞද්ගලික ස්වාධීනත්වය මුලික කරගනිමින් කණඩායම් ලෙස බෙදී ගියේය. මෙය බෞද්ධ ධර්මය භාවිතා කොට තම පෞද්ගලික වාසී ලබා ගන්නන්ට පුළුල් අවස්ථාවක් ලබා දුන්නේය.

මෙම අභ්‍යන්තර බෙදීම් හමුවේ අප මහා අමාමෑණි ලොවතුරා සම්මා සම්මුදු පියාණන් වන, ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට හාත් පසින්ම වෙනස් කණගාටුදායක වැඩපිළිවෙලකට ලංකාවේ බෞද්ධ ධර්මය මුහුණ දුන්නේය. මෙම බරපතළ ආරවුල විසඳීමට තබා ඒ ගැන තම අදහස ඍජුව ප්‍රකාශ කිරීමටවත් ඔබ වහන්සේලා කටයුතු නොකිරීම කණගාටුවට කාරණයකි. ඒ වෙනුවට අභ්‍යන්තර ආරවුල තවදුරටත් සංකීරණ වීමට හේතුවන කාරණා කටයුතු සිදු විය. එය පිළලයක් බවට පත් වී තමන් විසින් තමන්ම අනුභව කරණ තත්වයට පත් වී ඇමීබාකරණයට ලක් විය. මේ වන විට ඔබ වහන්සේලාගේ නායකත්වයට ඇති බලය සහ එමඟින් සිදුවන සේවය පවා අතිශය කණගාටුදායක තත්වයකට ලක් වී තිබේ. මෙම අභ්‍යන්තර ආරවුල විසඳීමට නොහැකිනම් රටේ පවතින අනෙක් ගැටලු වලට විසඳුම් බලාපොරොත්තු වීම අපි සියල්ලෝම දකින දවල් හීනයක් පමණි.

අතිගරු ස්වාමීන් වහන්ස;

අපේ මාතෘ භූමිය මීට පෙර පැවති ආණ්ඩු සේම වත්මන් ආණ්ඩුව විසින්ද විනාශ මුඛයට ඇද දමා ඇත. ඒ හුදූ පෞද්ගලික අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි. අපේම රටේ අපේ මිනිසුන් මරා දමා ඔවුන්ට සාදාරණ යුක්තියක් ඉටු කිරීම වෙනුවට එම මරා දැමීම විජයග්‍රහණයක් ලෙස විස්තර කරමින් අපි ලෝකය හමුවේ හුදෙකලාවට ලක් වී සිටිති. ත්‍රස්තවාදයට එරෙහිව හෝ වෙනයම් කාරණයකට එරෙහිව නීතිමය වශයෙන් ඇති වටපිටාව ප්‍රයෝජනයට ගනිමින් යුධ වැදීම එක් කාරණයකි. ලෝකය හමුවේ අපකීර්තියට සහ හෑල්ලුවට ලක්වීම තවත් කාරණයකි. අපි මුහුණ දී සිටින අර්බුධය වූ කලී ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වීමය. අපේ මාතෘ භූමිය සහ අපේ ආදරණීය ජනතාව තම ආත්ම ගරුත්වය රැක ගැනීම පිළිබඳ බරපතළ අර්බුදයටක මුහුණ දී සිටින්නෙමු. මීට නිශ්චිත විසඳුමක් ලබා ගැනීම දිගු කාලීන සංකීර්ණ වැඩපිළිවෙලකි. ඊට ඔබ වහන්සේලාට පැවරෙන යුතුකම සහ වගකීම අතිශය සුවිශාල එකකි.

මෙහි මූලික පියවරක් වශයෙන් මහා සංඝ සංගායනාවක් පැවැත්වීමට කාලය දැන් උදා වී ඇත. එම මහා සංඝ සංගායනාව කිසිඳු දේශපාලන සහභාගීත්වයෙන් හෝ කිසිඳු ධන පරිත්‍යාගයකින් තොරව සිදු කළ යුතු වැඩපිළිවෙලකි. ඊට අවශ්‍ය අහාර පානාදීය ලබාගත යුත්තේද බෞද්ධ පන්සල සතු මුල්‍යමය හැකියාවෙන් මිස වෙන කිසිඳු ආකාරයක බාහිර පරිත්‍යාගයකින් නොවේ. ඊට අපේ මාතෘ භූමියේ වෙසන භික්ෂුන් වහන්සේලා සියලුම දෙනා පමණක් නොව විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියල්ලමද අනිවාර්යෙන්ම සහභාගී කර ගත යුතුය. එම මහා සංඝ සංගායනාව මඟින් බෞද්ධ පන්සල මුහුණ දී සිටින සියලුම අභ්‍යන්තර අර්බුධ දීර්ඝ විමසීමකට ලක් කිරීමෙන් පසු මුළු සංඝ සමාජය යළිත් ඍජු නායකත්වයකට සහ ඊට උචිත ව්‍යවස්ථාවකට යටත් කළ යුතුව ඇත. එමඟින් ඕනෑම අයෙකුට භික්ෂුවක් වීමට ඇති නිදහස, භික්ෂුවකට ලබා දෙන අධ්‍යාපනය, භික්ෂුව වත්මන් ලෝකයට අනුව තම විනය මෙන්ම ධර්මයේ විනය ආරක්ෂා කරගැනීමේ වැඩ පිළිවෙල, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය කෞශල්‍යය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල, මෙන්ම නීති සහ සාරධර්ම උල්ලංඝනය කරන භික්ෂූන් සඳහා වන ස්වාධීන වැඩපිළිවෙල ආදී සියල්ල සහතික කළ යුතුව ඇත. ඉන් පසු මෙම විස්වාශය රටේ සාමාන්‍ය ජනතාව අතර ඇති කළ යුතුය.

එසේම සියලුම පන්සල්, අසපු ආදී වශයෙන් තනාගෙන ඇති ආයතන සියල්ලගේම මූල්‍යමය ශක්තිය සහ එය සතු මුදල් ස්වාධීන මණ්ඩලයක අධීකෂණය වෙත ලක් කොට මූල්‍යමය සමානාත්මතාවයක් සහ විනිවිදභාවයක් ඇති කළ යුතුව ඇත. එය අතිශය බැරෑරුම් කටයුතක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද එහිදී බොහෝ බික්ෂුන් වහන්සේලා තම විරෝධය ප්‍රකාශ කරනු ඇත. ඇතැම් භික්ෂුන් වහන්සේලාට මෙහිදී තම හෘදයසාක්ෂිය නිරාවරණය කිරීමට සිදුවනු ඇත. ස්වයං විවේචනයකට ගොස් ශ්‍රී සත්ධර්මය දිරාපත්වෙමින් පවතින අවකාශය නැතිකිරීමට හැකිනම් එය වත්මන් පරම්පරාවට පමණක් නොව ඉපදීමට සිටින පරම්පරාවට සිදු කරන උතුම් පුණ්‍ය කටයුත්තකි.

මෙම මුලික වැඩපිළිවෙළින් රටේ යළිත් බෞද්ධ පුනරුදයක් ඇති කිරීමේ මුලික වැඩපිළිවෙල සකස් වේ. එය එසේ නොවන තෙක් ව්‍යාකූල වූ බෞද්ධ භික්ෂුව හිංසාවේ සංඛේතයක් බවට පත් වනු ඇත. ලිංගිකත්වයේ පීඩිත ප්‍රකාශනයක් බවට පත් වනු ඇත. වෛරයේ ආයුධයක් බවට පත් වනු ඇත. දේශපාලනඥයින්ගේ අතකොළුවක් බවට පත් වනු ඇත. එහිදී සිදුවන විනාශයේ නිමක් නොමැත.

දශක ගණනාවක් තිස්සේ අපේ මාතෘ භූමියට සිදු වූයේ එයයි. එහි ප්‍රතිඵලය ලෙස, අභිමානයෙන් කතා කළ හැකි ඉතිහාසයකුත්, බොහොම කණගාටුවෙන් විමසිය හැකි වර්තමානයකුත්, දවල් හීන වලින් සැදුම්ලත් වර්තමානය අමතක කිරීම සඳහා වාසනාව සොයන අනාගතයකුත් අපට උරුම වී ඇත්තෙමු. අපි මායාව තුළ අතරමං වී වත්මන් ජීවිතය පරලොව ජීවිතය සඳහා තෙප්පමක් බවට පත් කර ගත්තෙමු. බෞද්ධ ධර්මය වූ කලී මේ ආකාරයෙන් වත්මන් ජීවිතය අතහැර සියල්ල පරලොවට බැර කිරීම යැයි සිහිනයකිඳු විස්වාශ කළ නොහේ. මෙය කාලාන්තරයක් තිස්සේ මවනු ලැබූ සංස්කෘතික වශයෙන් හැඩ ගැන්වූ දේශපාලන ගුණ්ඩුවකි. එමඟින් අනෙකාව පාලනය කිරීම සඳහා කෛරාටක පාලකයාට පුළුල් අවකාශයක් ලැබුණි. මෙය බෞද්ධ ධර්මය නොවේ යැයි මට සිතේ.

අතිගරු ස්වාමීන් වහන්ස;

ව්‍යවස්ථාවෙන් නිතීගත කොට ඇති රාජ්‍ය ධර්මය මුහුණ දී ඇති වර්තමාන තත්වය කණගාටුවට කාරණයකි. ලෝකයේ වෙසෙන සෑම අයෙකුගේම නිදහස සහ ගරුත්වය මෙන්ම ආරක්ෂාව වෙනුවෙන් බිහි වූ මෙම උතුම් ධර්මය මේ ආකාරයෙන් විනාශ වී යෑම සහ එය පෞද්ගලික අරමුණු උදෙසා අතකොළුවක් බවට පත් කර ගැනීම ඛේදවාචකයකි. මෙය වහාම නිවැරදි කිරීම සඳහා ප්‍රඥාව මෙන්ම එම ප්‍රඥාව භාවිත කිරීම උදෙසා වූ ශක්තිය ඔබ වහන්සේලාට ලැබේවා යැයි මා අවංකවම පතමි.

අපේ මාතෘභූමිය සහ මෙහි ජීවත්වන සියලුම දෙනාගේම ආත්ම ගරුත්වය, පෞද්ගලික නිදහස සහ ආරක්ෂාව සුරකින දේශයක් බවට පත් වේවා!

තෙරුවන් සරණයි!

මීට ඔබ වහන්සේලාට නමස්කාර පූර්වක ස්තූතිවන;

නිලන්ත ඉලංගමුව