සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ.

මෙහි එක් ප‍්‍රතිපලයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංහ මහතා සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් හමුවිය. එසේ හමුවී සාකච්ජා කළේ ව්‍යවස්ථා වෙනස් සිදු කර ගැනීමට බව සෝභිත හිමියෝ එම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේය.

උන්වහන්සේ කියා සිටියේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ක‍්‍රියාත්මක කර ගැනිමට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනිමට, තමන්වහන්සේ කටයුතු කරන බවත්, ඒ සදහා විමල් වීරවංශ මහතාගෙන් සහය ඉල්ලා සිටි බවත්ය.

උන්වහන්සේලා පිහිටුවාගත් ගත් සංවිධානයේ අරමුණ වී ඇත්තේ් ද මෙම කරුණුමය.
86960_ (1)

එහෙත් සෝභිත හිමිට දෙමළා සහ 13 ව්‍යවස්ථා සංශෝධනය ද අමතක වී ඇත. අදටත් මේ රටේ ප‍්‍රධානතම දේශපාලන ප‍්‍රශ්නය වී ඇති බලය බෙදීම සම්බන්ධ ප‍්‍රශ්ණය උන්වහන්සේට අමතකවී ඇත. ඒ පිළිබදව සදහනක්වත් නැත.

සිංහල ජාතිවාදි පෙරමුණේ ප‍්‍රධානතම ලකුණක් වන විමල් විරවංශ සමග එක පෙළට හිටගන්නට පුලුවන් වන්නේ ද ඒ නිසාමය. දෙමළා අමතක කර දමා සාධාරණ සමාජයක් සාදන්න යන්නේ කාටද? විමල්ලා වැනි ජාතිවාදින්ටද? එම සාධාරණ සමාජය දෙමළාට අහිමිද?

උන්වහන්සේව ජානාධිපති පොදු අපේක්ෂකයා කල යුතුයැයි කතාබහක් දැන් රට පුරාම ඇවිලෙමින් තියෙන යුගයක දැන් සිටින මහින්දගේ රේජීමය ගැනද උන්වහන්සෙට ප‍්‍රශ්නයක් නැත. ඒ නීසාම උන්වහන්සේ මෙසේද ප‍්‍රකාශ කරන්නේය .. ‘‘මුළු රටක්ම විරුද්ධ වුණු ව්‍යවස්ථාවක් තියෙන්නේ අපේ රටේ විතරයි. ජනාධිපතිතුමාගේ පක්ෂයත් විරුද්ධයි. වාමාංශික පක්ෂත් විරුද්ධයි. ව්‍යවස්ථාව හදපු එක්සත් ජාතික පක්ෂයත් විරුද්ධයි. සියලූදෙනාම ප‍්‍රසිද්ධියේම විවේචනය කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටේ කි‍්‍රයාත්මක වන්නේ. එය රටට අහිත කරයි. එම නිසා මෙය වෙනස් විය යුතුයි. එය වෙනස් කිරීමට හොඳම කෙනා තමයි ජනාධිපතිතුමා. එතුමා මේ මතය දැඩිව අල්ලගත්ත කෙනෙක්. එතුමාට තුනෙන් දෙකක බලයක් තියෙනවා. නිකන් තුනෙන් දෙකේ බලයක් නෙවෙයි. තියෙන්නේ මේකට විරුද්ධ වෙච්චි පිරිසක් එතුමා සමග ඉන්නවා.‘‘

මේ ප‍්‍රකාශය බැලුබැල්මටම හැගෙන්නේ උන්වහන්සේ මහින්දට කොටස්කාරයෝ සොයමින් යන බවය. මහින්ද හොදනම් උන්වහන්සේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු නැත.

උන්වහන්සේ කියන හැටියට මහින්ද මෙම ව්‍යවස්ථා වෙනසට සුදුස්සාය. ජාතික ප‍්‍රශ්ණයට විසදුමක් දීමට හොදම සුදුස්සා ද මහින්දය.

සිතාමතා හෝ වෙනත් හේතුවක් මත උන්වහන්සේ ජාතික ප‍්‍රශ්ණය සහ දෙමළ ජනයා පැත්තකට දමා ඇත. තමන්ගේ බලය රැක ගැනීමට මහින්ද ද එසේ කරන්නේය.

රාජ්‍යයට අවශ්‍ය රාජ්‍යය නායකයින්ය.

එබැවින්, මට අනුව සෝභිත හිමි සහ රාජපක්ෂගේ වෙනස ඇත්තේ පිට පෙනුමෙන් පමණය. ඇතුලතින් දෙදෙනාම එක සමානය.

රොෂාන් චතුරංග