Image Credit: NethFM

නව නගර ශාලාවේ පසුගිය 24 වනදා පැවති සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ලංකාවේ ජාතික දේශපාලනයේ ඉතාම වැදගත් සේම ලංකාවේ සියලු පුරවැසියන්ගේ නිදහස, සාධාරණත්වය සහ යුක්තිය පිළිබදව වන කාරණයේදී ඉතාම වැදගත් වන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි කිසියම් අංශයන් කිහිපයක් සාකච්ඡා කරන විද්වත් කථිකාවක් ලෙසය.

එහිදී සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ, නායක සෝභිත හාමුදුරැවන් සිය අදහස් දැක්වීමේදී, විධායක ජනාධිපති ක්‍රමය, 18වන ව්‍යවස්ථාව, 17වන ව්‍යවස්ථාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ව්‍යවස්ථාවට අදාල කරැණු මෙන්ම ‘‘අධිකරණයත් ජනාධිපතිවරයාගේ අනසක යටතට ගෙන තිබෙන බවත්, ඒ අනුව රටේ පරිපාලනය බිදවැටිලා, මේ රටේ සංවර්ධනය ගැන කතා කරනවා නමුත් වතුර නැතුව රජ රට ජනතාව දුක් විදිනවා. කෝටි ප්‍රකෝටි ගණන් කිසිදු වග විභාගයක් නැතුව වියදම් කරනවා, අල්ලස් හා දූෂණ රට පුරා පැතිරිලා, කුඩු වැනි දේ ප්‍රධාන වෙලා‘‘ වැනි සියලු දේ පිළිබදව සදහන් කලත්, ලංකාවේ ප්‍රධනතම දේශපාලන ප්‍රශ්නය වූ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්ණය පිළිබද කිසිදු අන්දමක සදහන් කිරීමක් සිදු නොකිරීමට පරෙස්සම් වී තිබිණි.(අවම ලෙස 13වන ව්‍යවස්ථාව ගැන වත්..(එය වර්තමානයේ පිළි ගැනීම දුෂ්කර වුවත්)

රටේ ව්‍යවස්ථාව පිළිබදව වන සාකච්ඡාවේදී (විශේෂයෙන් සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේත්, එහි නායක සෝභිත හිමියන්ගේත් අදහස් මත) කිසිදු විවේචනයකින් තොරව එසේ දෙමළාගේ ප්‍රශ්නය ප්‍රමුඛ ගණයේ ලා නොසැලකීම පිළිබදවත්, එයට අදාල කිසිදු වචනයක්වත් කතා නොකිරීම පිළිබදව, සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයටත්, එහි නායක මාදුථවාවේ සෝභිත හිමියන්ටත් ස්තූතිවන්ත වන්නෙමු.

මක්නිසාද යත්, ලංකාව මෙතෙක් බිහිකල ව්‍යවස්ථා 3න්ම[සෝල්බරි ව්‍යවස්ථාවේ ඇතැම් ප්‍රගතිශිලි වගන්ති ඇතුලත් වුවත්, (සමස්ථයක් ලෙස එයත් සිදු වූයේ සේනානායකලාට රිසි පරිදිය.)] ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන වශයෙන් විසදුමක් සදහා සාධාරණ සහ යුක්ති සහගත මාර්ගයක් පෙන්වා දී නැත.(අඩුම තරමින් ඉන්දියාව වත් ආදර්ශයට ගෙන..) නිදහසින් පසුව ඇතිකර ගත යුතුව තිබු එම ක්‍රියාවලිය සිදු කිරීමට කිසිදු නායකයෙක් ‘අවංක‘ උත්සහයක් නොගත් නිසා ලක්ෂ ගණනක් ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූයේත්, ඉන් බරපතලම හානිය සිදු වූයේත් දෙමළ ජනතාවටය. 2009 මැයි මස යුද්ධය හමාර කළා යැයි වීර කතාවක් කරමින් රාජපක්ෂ ජනාධිපතිවරයා ‘පොරක්‘ වූයේත් ඒ අර්බුදයට පිංසිදු වන්නටය. අදද ඔහු ඇතුලු ජාතිවාදීන් සිය මුග්ද දේශාපාලනය සදහා ඉහළින්ම තබන්නේ ‘මොනව උනත් යුද්දය ඉවර කරපු එක හොදයි නේ‘ යනුවෙනි. එහි යටි අදහස ජාතික ප්‍රශ්ණයක් විසදීමට ‘දේශපාලන විසදුම් ක්‍රමයකට‘ වඩා : යුද්දය, විනාශය, ඝාතනය ඉහළින් තබා ඇති බව නොවේ ද?

එබැවින් වසර 30කට වඩා පීඩාවට පත්ව, ජීවිත ලක්ෂ ගණනකින් වන්දි ගෙවූ දෙමළ සමාජයට, ‘දකුණෙන් දේශපාලන යෝජනා‘ කිරීම ‘දැන්‘ අවශ්‍ය වන්නේ නැත. ඔවුන් ජීවත්විය යුතු ආකාරය, ඔවුන් සිතිය යුතු ආකාරය, ඔවුන් කන, බොන, ඇවිදින, කෝවිල් යන ආකාරය වැනි දේ ත් ඔවුන්ගේ දේශපාලන අභිලාශයන් ගැනත් කතා කරන්නට, දෙමළ ජන සමාජය මූළික කර නොගත් කිසිදු විද්වත් සභාවකට කිසිදු අන්දමක අයිතියක් නැත.

එය දෙමළ සමාජය විසින්, ඔවුන්ගේ දේශපාලන අභිලාශය මත, ජාතියක් ලෙස, ස්වයංනීර්ණ අයිතිය මත පදනම්ව, ඔවුන්ගේ තේරැම් ගැනීම සහ දේශපාලනය වුවමනාව මත එය ඔවුන් තීරණය කරනු ඇති. එය ඔවුන්ට ඇති පරම අයිතියයි. ඒ අයිතියට අත පොවා, එය විකෘති කිරීමට, දෙමළා විනාශ කිරීමට රාජපක්ෂ පාලනය සමග එක්ව අත්දෙකම ඔසවා, ඊනියා තර්ක නිශ්පාදනය කරමින් පුවත්පත් පිටු ගනන් ලියූ, දකුණේ ව්‍යවස්ථා ඔස්තාර්ලාටත්, ඇතැම් ලේඛකයන්ටත්, එදින සභාවේ වාඩි ලා සිටි ඇතැම් දේශපාලකයන්ටත් අයිතියක් නැත. දැවැන්ත විනාශයකින් පසු කොහෙත්ම කිසිදු අයිතියක් නැති බව නැවතත් කිව යුතුය. නවැතත් සටහන් කරනුයේ දෙමළ දේශපාලන අභිලාශය තීරණය කරණු ඇත්තේ දෙමළ සමාජය යි. එය ඔවුන්ගේ අයිතිය යි. හැකිනම් සාධාරණ සහ යුක්ති සහගත බව පෙන්වීම සදහා ඔවුන්ගේ එම අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න.

එම නිසා සාධාරණ සමාජයක් සදහා වූ එම විද්වත් සභාවේ, එය සාකච්ඡා නොකිරීම පිළිබදව, සාධාරණ සමාජයට ස්තූතියි.

*සැලකිය යුතුයි, මෙම සටහනට පදනම් වන්නේ, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ, සෝභිත හිමියන්ගේ අදහස් දැක්වීම තුල කරන ලද කරැණු දැක්වීම පමණි, මක් නිසාද වැදගත් වන්නේ එම ව්‍යාපාරයේ සලකුණ එය වීමය.