Ampara, සිංහල, Education, Human Rights

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් අතර ගැටුමක්

ඔලුවිල් හී පිහිටි ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති මණ්ඩප නිලවරණයෙන් පසු රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඉන්දික සඳරුවන් නැමැති ශිෂ්‍යයා තුවාල ලබා අක්කරෛයිපත්තුව රෝහලට ඇතුලත් කර ඇති බව වාර්ථාවේ. පසුව අද උදෑසන එයට විරෝධය පාමින් පැවැත්වු උද්ඝෝෂණයකට යතුරු පැදිකරුවන් ඇතුලු වීම නිසා එක් ශීෂ්‍යාවක් ද තුවාල ලබා ඇත.
විකල්ප වෙත වාර්ථාවන අන්දමට සිද්ධිය මෙසේයි. ‛‛ ඊයේ සවස පැවති නිළවරණයෙදී මුස්ලිම් සිසුන් කණ්ඩායම් දෙකක් තරගවැදි ඇත. එයින් එක් කණ්ඩායමකට එම විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් උදවු කර ඇත. එයින් කෝපයට පත්වූ නිළවරණය පරාජය වූ ශීෂ්‍ය කණ්ඩායම සිංහල සිසුන් බහුතරයක් වෙසෙන නේවාසිකාගාරයට ඊයේ රාත්‍රියේදී ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී එක් සිංහල සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පසුව අද උදෑසන එම සිද්ධියට විරෝධය පා සිංහල සිසුන් විසින් උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ පරාජිත ශිෂ්‍ය කණ්ඩායම යතුරු පැදිවලින් පැමිණ උද්ඝෝෂණය තුළට ගමන් කිරීම නිසා එක් සිසුවියක් තුවාල ලබා ඇත. පසුව විශ්ව විද්‍යාල බළධාරීන් හා පොලීසිය මැදිහත්ව සිද්ධිය සමතයකට පත්කර ඇත.
එහෙත් අප සමග අදහස් දැක්වූ සිංහල ශිෂ්‍යයෙක් පැවසූවේ තමන්ට පිටතට ගමන් කිරීමට නොහැකි ලෙස අදාල මුස්ලිම් සිසුන් ගල්මුල් හා පොලු රැගෙන විශ්ව විද්‍යාලයෙන් පිටත සැරිසරන බවයි. ඔහු වැඩිදුරටත් පැවසූවේ මෙම තත්ත්වය පාලනය නොකල හොත් සිංහල හා මුස්ලිම් සිසුන් අතර කළහාකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.
මේ පිළිබඳව විමසිමට අප විශ්වද්‍යාලයේ උපකුලපතිවරයා ඇමතිමට උත්සහ ගත්තද ඔහු රැස්විමක බැවින් කතාකළ නොහැකි බව එහි නිළධාරියෙක් ප්‍රකාශ කලේය. අක්කරෛයිපත්තුව පොලිසියෙන් කළ විමසිමකදී ඔවුන් පැවසූවේ මේ වන විට තමන් සියලු ආරක්ෂාව යොදා ඇති නිසා කිසිදු සිද්ධියක් ඇතිවිමට ඉඩ නොමැති බවයි.