සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන්ට එරෙහි මෙහෙයුම් ගැන ජාත්‍යන්තර සංවිධාන වල සැලකිල්ල යොමුවේ

මාධ්‍යවේදින්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන හිරිහැර කිරීම් නවතා ඔවුන්ට තර්ජනය කරන්නවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය පියවර ගතයුතු බව හියුමන් රයිට් වොච් හා ඇමිනෙස්ටි ඉන්ටර් නැෂනල් ආයතන එක්බද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
2010 ජනවාරි මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයෙන් පසුව මාධ්‍යවේදීන් හා රාජ්‍ය නොවන සංවිධාන නිහඬ කිරීමට සහ අවමානයට ලක්කිරීමට ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත්, මෑතකදී හෙළිදරවු වූ ආණ්ඩුවේ ඔත්තුසේවා ලැයිස්තුවක මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් 30 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් ඇතුළත් වීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව තම සංවිධාන දැඩි ලෙස අවධානය යොමුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බ්‍රුඩ් ඇඩම් ප්‍රකාශ කරන්නේ ‛‛රජය විවේචනය කරන මාධ්‍යවේදින් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව හොඳින් සංවිධානය කරන ලද මෙහෙයුමක් ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.’’ එසේම යම් රටක් තුළ මාධ්‍යවේදින් නිරන්තරයෙන් ඝාතනයට හා තර්ජනයට ලක්වීම ඉතා භයානක හා වගකීමෙන් තොර තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙරට ප්‍රධාන පෙළේ සංවිධාන දෙකක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් විසින් මාර්තු 4 වන දින ඒකාබද්ධ ලිපියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් මාධ්‍ය වාර්තාවක පළවු විමර්ෂණ ලැයිස්තුවක් පිළිබඳව සිය දැඩි අවධානය යොමුකරන බව පෙන්වා දෙනු ලැබිණි. අදාල ලැයිස්තුවේ ඉහළින්ම එම ආයතන දෙකෙහි අධ්‍යක්ෂකවරුන් නම් කර ඇති අතර එහි අදහස ඔවුන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකිරීම විය හැකි බවද ඔවුහූ පෙන්වා දෙනු ලැබුහ.
රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකලාපයන් හෙළා දකිමින් ආණ්ඩුව විසින් මාධ්‍ය ප්‍රචාරයක් දියත් කර ඇති අතරතුර මෙම ලැයිස්තුව කලඑළියට පැමිණ ඇති අතර පෙබරවාර 20 වෙනිදා වන විට රජයේ නිලධාරීන් විසින් ‛‛ප්‍රජාතන්ත්‍රවාදය අස්ථාවර කිරීමේ’’ ප්‍රයත්නයක් ඇති බව පවසමින් සනාථ නොකළ තොරතුරු සහ ගැරහිලි ඇතුළත් පුවත් පත් නිවේදන කිහිපයක් නිකුත් කරනු ලැබිණි.
එම ආයතන පවසන ආකාරයට මෙම විමර්ශන ලැයිස්තුව සුළු කොට තැකිය නොහැක්කේ මීට පෙර අවස්ථා වලදී සිදුකරන ලද ඝාතන හා ප්‍රහාර නිසාවෙනි. 2008 සැප්තැම්බර් මාසයේදී ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තර ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයාගේ නිවසට ග්‍රෙනේඩ් ප්‍රහාර දෙකක් එල්ල වු අතර 2009 අගෝසතු මාසයේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයාට තැපැල් මඟින් මරණ තර්ජන එල්ල විය. නමුත් මේ දක්වා ම ඒ පිළිබඳව කිසිදු පිළිගත හැකි පරීක්ෂණයක් සිදුවී නොමැත.