සිංහල, Badulla, Corruption, Governance, Stories from the silent

වසර හතලියක් තිස්සේ ඉදිවෙන පාරක්

හල්දුම්මුල්ල හම්බෙගමුව මාර්ගය දැනට වසර හතලියකට පෙර ඇරඹුවද තවමත් එය ඉදිකර තිබෙන්නේ වෑඑළිය තෙක් පමණක් බව ගම්වාසීහු ප්‍රකාශ කරති. වෑඑළිය තෙක් දීර්ඝ කරන ලද්දේද ඉතා මෑතකදී බව පවසන වෑඑළිය ගම්වාසින් රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අවම තරමේ වෑඑළියේ සිට පතහ හරහා වේලීඔය අමුණතෙක් කපා ඇති මාර්ගයටවත් මාර්ගය යාකර දෙන ලෙසයි. වෑඑළියේ සිට වේලීඔය දක්වා ඇත්තේ කිලෝමිටර් 6 පමණක් බවත් එම ප්‍රමාණය ඉදිකර දෙන්නේ නම් එයින් ප්‍රදේශයේ ගොවීන්ට විශාල සෙතක් සැලසෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ ගොවි මහතෙකු වූ වී.මූ. පුංචිබණ්ඩා මහතා ප්‍රකාශ කලේ ‛‛ මෙම මාර්ගය වෑඑළියේ සිට වේලිඔය දක්වා දික් කිරිමට තව කැපීමට ඇත්තේ කි.මී. 6 ක් පමණයි. එය ඉක්මනින් කලොත් මේ ප්‍රදේශයේ ගොවින්ට විශාල සෙතක් සැලසෙනව. තමන්ගේ වගාවන් වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථාන වලට පහසුවෙන් ගෙන ගොස් අලෙවිකර ගැනිමට ඔවුන්ට පුලුවන් වෙනව. ඒ වගේම ඉතා දුෂ්කර ග්‍රාමිය ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය මාර්ගය හේතුවෙන් දියුණුවට පත්වෙනව. ඒ පිළිබඳව කල්පනා කර බලා හෝ මේ පිළිබඳව ඉක්මන් අවධානය යොමුකර දෙන මෙන් ඉල්ලා සිටිනවා.’’කියාය.
සෑමදාම ඡන්ද කාලයට පාර මෙන්ම විදුලිය වැනි බෙහෝ කාරණ පිළිබඳව දේශපාලකයන් පොරොන්දු දුන්නද ඒවා කිසිදාක ඉටුනොවන පොරොන්දු බව හල්දුම්මුල්ල ප්‍රදේශවාසින් හොදින් දනිති. ඒ බව දැකබලා ගන්න කැමති ඕනෑම කෙනෙකුට හල්දුම්මුල්ල නගරයට ගිය විට එය දැකබලා ගත හැකිවේ. එම නගරය අදටත් එදාමෙන්ම කිසිදු වෙනසක් නැතිව පවතී