කොළයක් බිමට වැටෙන විට ඉතා ඉක්මනින් එය අතුගා දමා පිරිසිදු කරයි. කානුවක ලෑල්ලක් ඉරිතලා ගිය විට එය පිළිසකර කරන්නට යන්නේ සුලු මොහොතකි. සෑම තැනම ඉදල්, උදලු, කොසු අතරැදි රණවිරැවන්ය. මේ ලංකාවේ කෙළඹ නගරයේ ය. කොළඹ නගරයේත් තෝරා ගත් ප්‍රදේශවලය. ගෝඨාබය, එකවිට ලේකම්කම දරණ නාගරික සංවර්ධන අධිකාරියේ සහ ආරක්ෂක අමාත්‍යංශයට අයත් පිරිස් විසින් නිරන්තරව පිරිසිදු කරන කොළඹය. මේ සියලු දේ රාජපක්ෂලා සිදු කරන්නේ නාගරික දුප්පත් ජනයා මහමගට ඇද දමමිනි. කිසිදු වග විභාගයකින් තොරව ගෙවල්, කඩසාප්පු කඩා බිද දමන්නේ සිය අධිකාරී බලය භාවිතා කරමිනි.

එය ඊයේ(17) කොළඹ, කොටුවේදී ඇස් පනා පිට පෙනෙන්නට තිබුණේය. මානව හිමිකම් කොමිසම පවා ලබා දුන් තීන්දුව නොසලකා කඩ සාප්පු බිමට සමතලා කලේය. කඩ සාප්පු හිමියන්ට යන එන මං නැතිව සිය කඩවල තිබූ බඩුත් සමග පදික වේදීකාවේ වාඩිලා සිටිනු දැකිය හැකි විය. නාගරික සංවර්ධන අධිකාරිය පොලීසිය සමග පැමිණ ‘රාජ්‍ය තග‘ පෙන්වා ඔවුන් ව පාර ඇද දැම්මේය. මේ කොළඹ ලස්සන කරන හැටිය.

දැන් තවත් අලුත් ව්‍යසනයක් ආරම්භ කිරිමට කොළඹ ලස්සන කරනවා යැයි කියන ගෝඨාබය ඇතුලු රාජපක්ෂවරැන් සූදානම් වෙයි. එනම්, කොළඹ නගරයේ එකතු කරන කුණු සහ අපද්‍රව්‍ය පුත්තලම, අරුවක්කාරුව ප‍්‍රදේශයට බැහැර කරමින් මුළු ප‍්‍රදේශයම පරිසර හානියකට බඳුන් කිරීමේ වැඩ පිළිවෙලකට කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය ලබා දීම තුළින්ය.

ඒ පිළිබදව නිවේදනයක් නිකුත් කරන ‘පුත්තලම හඬ ‘ සංවිධානය පවසන්නේ,

”නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට නිකුත් කර ඇති අතර මෙය සම්මත කර ගැනීමේදී පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයා සිටියේ කොහේදැයි අපි ප‍්‍රශ්න කර සිටිමු. කොළඹ සහ අවට ප‍්‍රදේශවලින් දිනකට එකතුවන ගණ අපද්‍රව්‍ය මෙ.ටො. 2000 කට වැඩි ප‍්‍රමාණයක් දුම්රිය මාර්ගයෙන් පුත්තලමට ප‍්‍රවාහනය කර අරුවක්කාරුව ප‍්‍රදේශයේදී ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙලකට මෙමගින් ගෙන ඒමට නියමිතය. මෙම ව්‍යාපෘතිය හරහා මුළු පුත්තලම දිස්ත‍්‍රික්කම ගඳ ගස්වන තත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි අතර මෙම ව්‍යාපෘතියට අදාලව පරිසර වාර්තාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමත කරගෙන ඇතිදැයි අපි ප‍්‍රශ්න කර සිටිමු.

තවද මෙම ව්‍යාපෘතිය පිළිබඳව පුත්තලම දිස්ත‍්‍රික් ජනතාවගෙන් කිසිදු විමසීමක් නොකර අති විශාල පරිසර හානියක් සිදුවන පරිදි කටයුතු කිරීමට සැලැස්වීම පුත්තලම් දිස්ත‍්‍රික් ජනතාවට කිසිසේත් අනුමතකල නොහැක. එබැවින් මෙම තීරණය වහා හකුලා ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් පුත්තලම ජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිදුවන බවත් අවධාරණය කර සිටිමු.”

දැන්, සිය හමුදා බලය යොදවා දුප්පත් නාගරික මිනිසුන්ගේ ජීවිත තලා දමා, කොළඹ ලස්සන කරනවා යැයි කියන ඊනියා ව්‍යාපෘතිය සිදුකරන ගෝඨාබයගෙන් සහ රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇසිය යුත්තේ, හුස්ම ගත යුත්තේත්, ජීවත් විය යුත්තේත්, රාජපක්ෂලා විසින් ‘තෝරාගත් මිනිසුන්‘ පමණක් ද යන්නය.

වසන්ත බංඩාර