Image Credit: hirunews

ඌව මැතිවරණය ‘මැරවරණයක්‘ බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එසේම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සම්පත් යොදා ගැනීම, බිය වැද්දීම්, තර්ජනය කිරීම් ඇතුලු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මෙන්ම එලිපිටම මැතිවරණ නීතිය උල්ලංගණයන් සිදු වෙමින් පවතින බවය. මේවා බොහෝමයකට ඇගිල්ල දිගු වන්නේ පාලක පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සංධානයේ පිරිස් වෙතය.

දැන් ඌව මැතිවරණයට ඇත්තේ දින 3කි. එම තත්ත්වය තුළ දී හදිස්සියේම හීනයක් දැක අවදි වූ වා සේ රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල හිටි හැටියේම අඩු කර තිබේ.

විදුලි බිල 25% න් අඩු කර ඇති අතර, ඉන්ධන මිල ගණන් ද ඊයේ(16) මධ්‍යම රාත්‍රියේ සිට සිට පහත දමන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවසු බව අදදෙරණ වාර්තා කර සිටියේ ය.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00 ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 ද අඩු කර ඇති බව එහි වැඩි දුරටත් දැක්වේ.

වැඩේ නරක නැත. ජනතාවට සහන දීම ආණ්ඩුවක ප්‍රම්‍රඛ කාර්යයකි. නමුත් ප්‍රශ්ණය වන්නේ, මෙතෙක් මෙම සහන නොදී, බදු පිට බදු පනවමින් ජනයා පීඩාවට පත් කරමින් සිටි රාජපක්ෂ ආණ්ඩුවට හිටි හැටියේම පහල වූ මේ කරැණාව ගැනය.

මෙය ඕනෑම අයෙක්ට තේරෙන දෙයකි. එනම් විශේෂයෙන් ඌව මැතිවරණයේ විශාල ඡන්ද සංඛ්‍යාවක් ‘බිලි බා’ ගැනීමට දුන් ‘ඇමකි’. පසුගිය දකුණු පළාත් සභාව අතුලු මැතිවරණ වලින් එතෙක් රාජපක්ෂලා ඇතුලු පාලක ආණ්ඩුවට තිබූ බලය ක්‍රමයෙන් හීන වී යන බව තහවරැ විය. යුද්දය දින්නා යැයි කොකටත් කියන බණ පදය ද දැන් ජනතාවට අපුලක් වී ඇති ගානය. ඒ තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා නොසිතූ අභියෝගයකට මුහුණ දෙන්නට සිදුව ඇති බව ඔවුන් ට දැනෙමින් ඇත. එබැවින් කෙසේ හෝ ඌව මැතිවරණය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අභිලාශයි. එම නිසා මෙවැනි සහන නොව තව තවත් දෑ ඉදිරියේදී රාජපක්ෂලා විසින් අල්ලස් ලෙස දෙන්නට පුලුවන. ඒ කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමටය. සිය දේශපාලන බලයද, මැර බලයද පමණක් නොව තමන්ට, විධායක ජනාධීපති ලෙස හිමි සියලු බලයන් ද භාවිතා කරමින් එළිපිටම මෙසේ හැසිරීමෙන් කිසිදු ලෙසක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු විය නොහැකිය.

මෙය තව දුරටත් විමසන්නේ නම්, මෙම භාණ්ඩවල මිල අඩුකිරීමේ විශේෂ ලකුණක් දැකිය හැකිය. එනම් භූමිතෙල් පමණක් රැ.20න් අඩු කිරීමය. ෙමය හිතාමතාම සිදු කල කටයුත්තකි. එනම් ඌව පළාතේ වතුකරය ආශ්‍රිතව දිවිගෙවන දෙමළ ජනයාගෙන් බොහෝ පිරිසක් භාවිතා කරන්නේ භූමිතෙල්ය. එබැවින් වතුකරයේ දෙමළ ජනයා ‘දිනා ගැනීමට යැයි සිතා’ සදහා මෙය රාජපක්ෂලා විසින් හිතාමතාම සිදු කළේය. එය එසේ වන්නේ ලංකාවේ මෙන්ම ලොව පුරා වෙසෙන දෙමළ ජනයා තමන් සමග නොවන බව දැන් රාජපක්ෂලා හොදින්ම දන්නා බැවිනි. එය උතුරැ පළාත් සභාවේදී හොදින්ම පෙන්නුම් කලේය.

කෙසේ නමුත්, මේ සියලු තත්ත්වයන්ගෙන් පෙන්නුම් කරන්නේ රාජපක්ෂලා ට ඉදිරි මැතිවරණයන් විශාල අභියෝගයක් බවය. මේ වරදාන, මැර බලය, ආණඩුබලය මෙවැනි පළාත් සභා මැතිවරණ වලට පවා නීති විරෝධී මෙන්ම කිසිදු සදාචාරයක් නොමැතිව යොදා ගැනීමෙන් එය වඩාත් තහවරැ වෙයි.

‘‘ඌවේ පොඩි උන්, සිල් රෙදි, පොත් පත්, උදලු තල ආදීය බෙදා දෙනකොට මම විතරක් මුකුත් නොදී ඉන්න එක හරි නෑනේ.. ඔන්න මමත් දුන්නේ පැලෙන්න. ඒත් ඒවා මැතිවරණ ගුණ්ඩු එහෙම නොවේ.‘‘ යයි කියනු ඇති බව අප මිතුරෙක් කීවේය.

ඒත් යකෝ පැනලා නේ බළලා මල්ලෙන්