Image Credit: dawn

”බොරුවට සහ මුලාවට වඩා ඕනෑම දෙයක් හොඳය :
ලියෝ ටෝල්ස්ටෝයි” – ඇනා කැරෙනිනා

ඌව පළාතේ මැතිවරණ කෝලාහලය අවසන් විය. මැතිවරණය රාජපක්ෂගේ ගුණ්ඩුවකි. ඔහු එම ගුණ්ඩුව ඔස්සේ තොන්ඩුව දැමුවේ රටේ සමස්ථය දෙස බලා තම අසාවට ඇති ඉල්ලුම කිරා මැනීමටය. මන්ද ඔහුට ඔහුගේ සැබෑ අභියෝගය සඳහා කාලය මොහොතින් මොහොත කිට්ටු වෙමින් තිබේ. එම ආසාව මඟින් දී ඇති අභියෝගය වූ කලී, ඔහු තම තොණ්ඩුව දමා අපේ මාතෘ භූමියේ ගෙල සිරකොට මරා දැමීමෙන් සංසිදුවා ගත හැකිද, නොඑසේනම් රටේ මාතෘභූමියේ වෙසෙන සැබෑ දේශප්‍රේමීන් එක්වී රාජපක්ෂ වරිගය සතු බලය ක්‍ෂය කොට රටේ පැවැත්ම තහවුරු කළ හැක්කේද, යන්න පිළිබඳව වූ අභියෝගයයි.

ඌව පළාතේ මැතිවරණය ගැන, දේශපාලන පක්ෂ නියෝජනය කළ අයවලුන්ගේ මතයට අනුව දිනපු අයෙකුත් නැත. පැරදුණු අයෙකුත් නැත. සියල්ලෝම හැකි ප්‍රමාණයෙන් දිනා ඇත්තෝය. එය හෙට දිනයේ සිට ඔවුන්ගෙන් විවිධාකාර විග්‍රහයන් ඔස්සේ ඇසීමට ලැබෙන කතාන්දරය වේ. නමුත් සත්‍යට අනුව රාජපක්ෂගේ වරිගය පරාජය වී ඇත. එය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇතුළු ඔහුගේ බලයට එරෙහිව එල්ල වූ අකුණු සැරයකි.

රාජපක්ෂ මෙම මැතිවරණය තමන්ගේ මැතිවරණයක් එනම් තමන් අපේක්ෂකයෙකු ලෙස තරග වදින ආකාරයෙන් මෙහි ප්‍රචාරණ කටයුතු කරනු ලැබීය. රටේ මහජන මුදල් තව දුරටත් තමන්ට හැකි උපරිමයෙන් ඔහු මෙහිදීද විනාශ කළේය. නමුත් ඔහු සිතූ-පැතූ දේ ඔහුගෙන් ඈත් වී ඇත. ප්‍රමෝදය වෙනුවට විඩාව ලබා දී ඇත. වින්දනය දියාරූ වී ඇත. තරමක ආස්වාදයක් ලැබී ඇතැයි ඔහුට සිතුණද, එය මුලාවක් බව ඔහු දන්නේය.

හීනෙන්වත් පාරාජය කිරීමට නොහැකි යැයි පුරසාරම් දෙඩු රාජපක්ෂට, ජනතාව තම නිහඬ උත්තරය හැකි උපරිමයෙන් ලබා දී ඇත. රටේ සම්පත් අයාලයේ භාවිතා කිරීමට නොදී අදාළ මැතිවරණය මුලික ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මයන් වලට අනුකූලව පැවැත් වූයේ නම් රාජපක්ෂට ඇපත් නැතිවනු ඇත. ප්‍රදේශයේ සෑම ගලක්, ගහක්, ගොඩනැගිල්ලක් පමණක් නොව මහජනතාවට ගමන් කිරීමට ඇති මඟී බස් රථය පවා තම වරිගයේ අයවලුන්ගේ නම් වලින් සහ දැන්වීම් වලින් නහවනු ලැබීය. ප්‍රදේශයේ ජනතාවට පන්සලට ගොස් තම අගමිකවතාවන් කිරීමට හෝ ඉඩක් නොදී එම අවස්ථාව පවා තම නීච ආත්මාර්ථකාමී බල තණ්හාව වෙනුවෙන් භාවිතා කළහ.

මේ සියලු දෑ වලින් අවබෝධ වන්නේ, ලංකාවේ මැතිවරණ වූ කලී අනෙකාගේ කාලයත්, ශ්‍රමයත්, රටේ පොදු ජනතාවට බුක්ති විඳීමට ඇති රාජ්‍ය සතු ධනයත්, සමඟ කිහිප දෙනෙකු එකතු වී කරණ නරක සෙල්ලමක් පමණක් බවයි. මෙය සදාකාලික රෝගයක් බවට පත් වී ඇත. මේ මඟින් ඇති කොට ඇත්තේ ගැඹුරු වේදනාවකි. මැතිවරණයේ පශ්චාත් වටපිටාව වනාහී ප්‍රචාරණ ව්‍යාපෘතිය මඟින් වසා දමනු ලැබූ එම ගැඹුරු වේදනාව යළි අවදිවීමක් පමණි. නමුත් ළිං කටෙන් ගොඩ එනු මිස වෙන මගක් නැති ජාතියක් බවට අප පත්කොට ඇත්තාහ.

ඌව පළාතේ මැතිවරණය විපක්ෂයට වැදගත් “ජයග්‍රහණයක්” ලෙස පෙනුණද යථාර්තයට අනුව එය එසේ නොවේ. නමුත් මෙම ප්‍රතිඵලය වූ කලී සැබෑ අභියෝගය සඳහා වන මාර්ගය විවර වීමක් ලෙස පමණක් ලෙස දැකිය හැකිය. සැබවින්ම එය මානසික ශක්තිය වැඩිකිරීමෙහිලා වැදගත්ය. එසේම මීළඟ පියවර සඳහා එය අතිශය වැදගත් අවස්ථාවක් වේ.

මැතිවරණයෙන් පෙනෙන වැදගත්ම කාරණය නම්, රාජපක්ෂගේ පුරසාරම ස්වභාවික නීතයට යටත් වී ඇති ආකාරයයි.

නමුත් බලය තවමත් ඔහු සතුය. එසේම රටේ ධනය රිසි සේ භාවිතා කරනු ලබන්නේ ඔහු සහ ඔහු වටා සිටින අයවලුන්ය. මේ නිසා මෙය දේශපාලන වෙනසක් වෙනුවෙන් කල්පනා කරණ අයවලුන්ට අතිශය සංවේදී ජනක අවස්ථාවකි. මෙවැනි අවස්ථාවන් වඩාත් සංකීරණ මෙන්ම සංවේදී වන්නේ ඉතා කෙටි තීරණයක මඟින් සියල්ලම වෙනස් විය හැකි බැවිනි.

ආඥාදායකයෙකු නිකමයාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වීම ස්වභාවික නිතීයේ කටයුත්තක් වුවද එය මෙහෙවීම අදාළ ආඥාදායකයාට එරෙහි බලඇණිය සතු ඥානය පිළිබඳව වන භාරදූර කටයුත්තකි.

හිටපු ජනාධිපතිනිය මෙය නිවැරදිව අවබෝධ කරගෙන සිටින සැටියෙකි. ඇය, රටේ හමුදා පාලනයක් ඇතිවේ යැයි තම භීතිය පල කොට ඇත්තාය. සැබවින්ම එවැනි තත්වයකට රට තල්ලු වීමේ අවදානමක් ඇත. එය වෙනත් රටවල මෙන් නොව රටේ ආඥාදායකයා සහ ඔහුගේ වරිගය බේරාගැනීම සඳහා ඇතිවන එකක් විය හැකිය.

යුද්ධයෙන් පසු ගත වූ වසර කිහිපය තුළ, මුලාවෙන් ජයගත හැකි තාක් දුරට කිසිවක් බලෙන් ලබා ගැනීමට රාජපක්ෂ නොගියේය. ඔහු දේශපාලනය ලෙස කරනු ලැබුවේ, තම පෞද්ගලික වපසරිය වැඩි කරගනිමින්, මුලාව තව දුරටත් පෝෂණය කිරීමය. මේ වනවිට මුලාවට ඇති වටිනාකම ක්‍රමයෙන් හීන වී ඇත. මේ නිසා ඔහුට බලහත්කාරයෙන් ලබා ගැනීම නමැති උපාය වෙත තල්ලු වීමට සිදු වී තිබේ.

සැබෑ වටපිටාව හමුවේ දුර්වල වී සිටින රාජපක්ෂ තම ආසාව සංසිදුවා ගන්නා තෙක්, අයෝමය බව ඒත්තු ගන්වනු ඇත. ඒ සඳහා රටේ සෑම ගොඩනැගිල්ලක් පමණක් නොව ඉදිරියේදී මහජන පොදු වැසිකිළි පමණක් නොව පෞද්ගලික වැසිකිළි වල පවා තම නම කොටා උත්වශ්‍රීයෙන් ඒවායෙහි වැහුම් අරිනු ඇත. එය ඔහු තම බලය අවභාවිතා කරණ ආකාරයයි. මන්ද තම බලය රැක ගැනීම සඳහා මවාපෑම සහ බලෙන් ඇතිකරන වීරත්වය හැරෙන්නට වෙනත් කිසිවක් අභ්‍යන්තරය තුළ නැත.

එම මුලාකිරීමට සමත් බලය හමුවේ විපක්ෂ තම නියාලු සහ කුලල් කාගන්නා ප්‍රතිපත්තිය රැගෙන ගියහොත් භුමියේ වාසිය යළිත් “කෲර පාලකයා” සතුවනු ඇත.

මේ නිසා ඌව පළාතේ දේශපාලන ප්‍රවණතාවය ඉතා පරෙස්සමින් කියවීම සහ රාජපක්ෂගෙන් විය හැකි වඩාත්ම බිහිසුණුම සහ නරකම අතවරයට මුහුණ දීම සඳහා සූදානම් වීම වැදගත් වේ. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙහිදී අතිශය වැදගත් වේ.


නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamuwa