Image Credit:sajindevass.com

“ජනමාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබෙන ආකාරයට, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් නිවුයෝක් නුවරදී මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි,”(BBC)

මෙසේ ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතායි.

දැන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පහර කෑමට ලක්ව ඇත. පහර දී තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධික්ෂණ මංත්‍රීවරයෙක් වන සජින් වාස් ගුණවර්ධනයි. මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඒ පහර දීම සිදුව ඇත්තේ නිවුයෝක් නුවර සිටින ශ්‍රී ලංකා එයාර්ලයින්ස් ආයතනයේ නියෝජිත දිලාන් ආරියවංශ ගේ නිවසේ පැවති සාදයකදීය.

කෙසේ නමුත් ඉන් අනතුරුව වහාම සාදයෙන් පිටව ගිය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් පසුදින උදෑසන රෝහලට ගොස් සිය කන පරීක්ෂා කරවා ගෙන ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබෙන බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබිණි.

මේ වන විට ලොවම දන්නා ඒ සිදුවීම කෙටියෙන් හැදින්වුවහොත් එසේය.

ප්‍රශ්ණය තුළින් මතුවන දැවැන්ත ප්‍රශ්ණය

මහකොමසාරිස්වරයාට මංත්‍රි කනට ගැසුවේ ය. පසුව සිය ඉල්ලා අස්වීම බාරදුන් මහකොමසාරිස් වරයා එම සිදුවීමට සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. සාධාරණයක් ඉෂ්ඨ කරන්නැයි ජනාධිපතිවරයාගෙන් මේ ඉල්ලා සිටීම සිදු කලේ ජනාධිපතිවරයා විසින්ම පත්කරන ලද මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ය. (නෝනිස් මහතා, පසුගිය කාලයේ ලංකාවේ රාජපක්ෂ පාලනයේ මානව හිමිකම් කඩවීම්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි අපරාධයන් වසා දැමීමට දර දිය ඇද්ද විදේශ සේවාවල සිටි ප්‍රධාන පෙළේ පුද්ගලයින්ගෙන් කෙනෙකි.) නමුත් ජනාධිපතිවරයා සිදු කළේ මහකොමසාරිස්ට කනට ගහපු මංත්‍රීවරයා සිය රාජ්‍ය තාන්ත්‍රික ගමනට එක්කාසු කර ගැනීමය.

දැන් මේ ‘කනට ගැසීමත්, කනට ගැසූ පුද්ගලයා පිළිබදව පරීක්ෂණය පසෙකලා පහර දුන් සජින් වාස් සමග රටේ ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික ගමනක් වන පාප් වහන්නේ මුණ ගැසීමට යාම‘ යන සිදුවීම තුළ නිතැතින්ම මතුවන තත්ත්වය ඕනෑම බබෙකුට තේරැම් ගත හැකි දෙයකි. ලංකාව නියෝජනය කරන මහකොමසාරිස් වරයෙකුට පහර දුන් පුද්ගලයෙක් සමග රාජ්‍යතාන්ත්‍රික ගමන් යන ජනාධිපතිවරයෙක් වේ නම් ඒ මේ ලංකාවේ පමණක් විය යුතුය. නැති නම් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වැනි මුළික දේශපාලන හර පද්ධතීන්ට පයින් ගසා සිය පාලනය ගෙන යන ඒකාධිපති රාජ්‍යයන් වල පාලකයන් පමණක් මෙවැනි දේ කරනවා විය හැකිය. එක් පැත්තකින් මෙය අචාරධාර්මිකව ගැටලුකාරීය. අනෙක් පසින් නීතිය, නීතියේ ආධිපත්‍ය පිළිබද දැවැන්ත ප්‍රශ්ණයකි.

සජින් වාස් සහ ඔහුගේ කල්කිරියාව මදකට පසෙක තැබුවත්, රටේ ජනාධිපතිවරයා මෙම සිදුවීම තුළ හැසිරැණු ආකාරයෙන් අමුඅමුවේම අපට පෙන්වා දෙන්නේ කුමක්ද?

රාජපක්ෂලාට හිතැති, ඔවුන්ගේ දංකුඩ ලෙවකමින්(සමාවෙන් දංකුඩ නොවේ, හොදම හරිය හරි හරියට, සමානවම), වැඩකරන ඕනෑම අයෙක් ඕනෑම දෙයක් සිදු කළාට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂලා උනන්දු නොවන බවය.

මේ උනන්දු නොවීම කියන සාධකය තුළින් මතුවන අනෙක් කරැණ නම් මහකොමසාරිස්වරයෙකුට පහර දුන් පුද්ගලයා කඩිනමින් නීතිය ඉදිරියට ඉදිරිපත් නොකර කරට අත දමාගෙන රට සවාරි ගැසීමෙන් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ පාලනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරමය. මානව හිමිකම්වල, යහපාලනයේ සහ නීතියේ ආධිපත්‍යෙය් තරමය.

එබැවින් නිව්යෝක්වල හෝ ජිනීවා වල මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගිරිය පුප්පන් කොතරම් කෑ ගැසුවත් දැන් නටන්නේ නිරැවතින් බව ලෝකය හමුවේ ඔප්පු වී හමාරය. ඒවාට වාර්තා චිත්‍රපටි ද අවශ්‍ය වන්නේ නැති තරම්ය. ඒ තරමට එය දැන් අමු අමුවේම වේදිකා ගත වේ. ඇතැම්විට පිටපත ද, නිශ්පාදනය ද, නලුවන් ද ඔවුන් මය.

කරැමය නම්, මේ නිරැවත් බව වසාලන්නට ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයත්, පාර්ලිමේන්තුවේ බොහෝ මංත්‍රිවරැනුත්(ස්වල්පයක් හැරෙන්නට) අපමණ උත්සහ ගනියි. නමුත් ඒ උත්සහයන් තුළින් නැවත නැවතත් මතු වන්නේ ඒ නිරැවතමය. ඒ නිරැවත වසාගැනීමේ අදහසින් සහ ඉදිරි ජනාධිපවරණයෙන් ගොඩ යාමට යැයි සිතා පාප් වහන්සේ නොව දෙවියන් වහන්සේ කැන්දන් ආවත් දැන් නම් රාජපක්ෂලාට ඒ දේ කළ නොහැකිය. ඒ තරමටම ඒ දුර්ගන්දය ලොව පුරාම වේගයෙන් ගමන් කරමින් තිබේ.

අවසාන වශයෙන් සජින් වාස් ගුණවර්ධනගේ වෙබ් අඩවියේ ඔහු සදහන් කර ඇති ‘මාගේ දැක්ම‘ යන කොටස පහත උපුටා දක්වමි.

dekma-copy
එහි සදහන් කර ඇති, ‘…එහෙයින් සෑම මනුෂයෙකුමත් සෑම ප්‍රදේශයක්මත් සමාන සැලකිල්ලට හා ගෞරවයට ලක් විය යුතු බව විශ්වාස කරමි‘‘

දැන් අප කිව යුතු වන්නේ, සජින් බබෝ.. මහකොමසාරිස් වරයෙකුට කනට ගසා ඔබ සෑම මනුෂයෙක්ටම ඇති ගෞරවය ලෝකය හමුවේ ඔප්පු කර නිරැවත් වී හමාරයි. දැන් එය වසා ගන්නට ‘සාටකයක්‘ පොරවා ගත්තත් වැඩක් වන්නේ නැත.