මා ආදරණීය ක‍්‍රිස්,

මා මෙය ඔබට ලියන්ට හිතුවේ, රටේ කිහිප දෙනෙක් විතරක් දැනං හිටිය ඔබේ නම, පහුගිය දහ දොළොස් දොහේ හැම දාම වගේ අපේ පත්තර සිරස්තලවල දකින්ට ලැබුණු නිසා. ඇත්තෙන්ම එය මුළු රටටම ගහපු කම්මුල් පාරක් වුණත්, මොන තරං නං කීර්තියක් ද කම්මුල් පාරක තියෙන්නේ.

අපේ රටේ තානාපති විදිහට ලන්ඩන් නුවර ඔබට අහවල් දෙයක්ද කරන්න තිබුණේ කියලා අහන අයත් ඉන්නවා. ඒකට හේතුව, ඔබ වෛද්‍යවරයෙකු වීම සහ වෘත්තීයමය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු නොවීම. ඒත් අනිත් අතට ඒකේ පුදුමෙකුත් නැහැ. මොකද, පවුලේ සේවයක් බවට පත්වෙලා තියෙන අපේ විදේශ සේවයට වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ කියන අය අද වහකදුරු වගේ නිසා.

ලන්ඩන් නුවර අපේ නියෝජිතයා විදිහට ඔබව තෝරගත්තේ, මහාචාර්ය ‘ජිනීවා ලොසිං’ (ජී.ඇල්-ජිනීවා පරදින මහාචාර්ය) ගේ ඕනෑ කමට කියලා මං අහලා තියෙනවා. ඒ ගැන මං ඔබට දොස් කියන්නේ නැහැ. ඒත් ඒ යෝධයා ඒ වගේම තෝරා ගැනීම් කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මොකද, මිනිහා තෝරාගත්ත හැම එකෙක්ම මොකක් හරි වින්නැහියක් කරගත්ත නිසා.

දැන් බලන්න. එයා විශ්ව විද්‍යාල මහාචාර්ය පදවියේ ඉන්න කාලේ ඒ දෙපාර්තමේන්තුවේ වැඩ කරපු අර ගැටිස්සිව පස්සේ අර ශ්‍රේෂ්ඨාධිකරණ පුටුවක වාඩි කොරෝපු හැටි? ටික කාලයක් ඒ පත්වීම හොඳට ගියා තමයි. ඒත්, ඒ නෝනා ස්වාධීන වෙන්න පටන් ගත්තා විතරයි, හරවලා ගෙදර ඇරියා ඔබට මතක ඇති. ඒක මොන තරං නං ආන්දෝලනයක් වුණා ද, ඇත්තටම.

ක‍්‍රිස්, දැන් මේ ‘කම්මුල් පාර’ ගැන ‘පරීක්ෂණයක්’ පවත්වන්ට යනවා කියලා අපිට ආරංචියි. ඒත් ඒ පරීක්ෂණෙන් හොයාගන්න යන්නේ මොනවද කියන එක නං පැහැදිළි නැහැ. මොකද, කම්මුල් පාරක් දුන්නු බව කවුරුවත් නැහැ කියන්නේ නැති නිසා. ඒ හින්දා, ඔය පරීක්ෂණේ අරමුණ වෙනවා ඇත්තේ, කම්මුලට ගහන්න තරං සාධාරණ හේතු තිබුණා ද කියලා හොයන එක වෙන්න ඇති. අන්න ඒක, මට පොඩි පරහක්.

මං දන්නවා, වාස් ගැටයා මොකක් හරි නිදහසට කාරණයක් කියාගෙන එයි. ක‍්‍රිස් දන්නවද, ‘සත්තයි, අත්දුටුවයි’ නිදහසට කාරණා සෑහෙන්න දැන් තියෙන විත්තිය? ඒක නිසා ඒවා ගැන ඔයාට ලෑස්ති වෙලා ඉන්න කියන්නයි මට ඕනේ කරන්නේ. හැබැයි, අවාසනාවකට වගේ, ඒ සමාවට කාරණා හුඟාක් තියෙන්නේ ඔයාගේ අවාසියට.

ඒවයින් කවුරුත් දන්න, ප‍්‍රසිද්ධම එක තමයි, ‘මර්වින්’ සමාභජනේ. ඒ අනුව ඒගොල්ලෝ කියන්න පුලූවන්, රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය හරි විදේශ සේවාව හරි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක ගැන ජනතාව දැනුවත් කිරීමේ රංගනයක් විදිහට ඔයා ඔයාටම ගහගත්තා කියලා. මර්වින් තාමත් ඇමති කෙනෙක්. ඒක නිසා හිතන්න එපා, වාස් ගැටයට රස්සාව නැති වෙයි කියලා.

ඒ වගේම, ‘මාලක’ සමාවත් ගේන්න පුලූවන්. එහෙම වුණොත් වැදගත් වෙන්නේ, ඔයාට කම්මුලට ගැහැව්වද නැද්ද කියන එක නෙවෙයි, ඒ කම්මුලට ගහන වෙලාවේ එතන ඉන්න ඔයාට අයිතියක් තිබුණද නැද්ද කියන එකයි. දැනටමත් කෙහෙලිය අපිට කියලා තියෙනවා, ඔයා ඒ පාටියට ගියේ අනාරාධිතව කියලා. මතක තියාගන්න, අන්න ඒ වරදට ඔයාගෙන් නිදහසට කරුණු අහන්නත් ඉඩ තියෙනවා.

එතකොට, එච්චර පැටලිලලක් නැති, ‘දුමින්ද’ දහංගැටෙත් තියෙනවා. ඒක පාවිච්චි කරලා තියෙන්නේ මොනිටර් හාදයෙක් නිසා, ඒක ජනප‍්‍රිය වෙන්නත් පුලූවන්, ඒ අනුව, වාස් ගැටයා කියන්න පුලූවන්, ‘මට මතක නැහැ’ කියලා. එතකොට අපි ඔක්කොම ඒක බාර අරං, කිසි දෙයක් සිද්ධ නොවිච්ච ගාණට ඉන්නවා. අනිත් ඒවට වැඩිය ඒක වැඩ කරන්නත් බැරි නැහැ. මොකද, ඒ වෙලාවේ වාස් ගැටයා ඉඳලා තියෙන්නේ ‘දෙකක්’ දාගෙන.

ඊළඟට තියෙනවා, ‘හම්බන්තොට නගරාධිපතිගේ’ නිදහසට කාරණේ. ඔයා ගුටිකාපු එක ගැන මොන තරං හාහෝවක් ගියත්, අන්තිමට කියන්න පුලූවන්, ඔයාගේ කම්මුලට ගැහැව්වේ සෙල්ලම් අතකින්, ඔයාට රිද්දන්න නෙවෙයි කියලා. මං දන්නවා, එච්චරම ගොං කතාවක් කියන එක තරමක් අමාරුයි තමයි. ඒත් ඉතිං, අපේ මේ ‘පාරාදීස රටේ’ එහෙම දෙයක් වුණත් වෙන්න බැරි කමක් නැහැනේ, ක‍්‍රිස්.

මීට වඩා තරමක් පැටලිලිකාරී නිදහසට කාරණේකුත් තියෙනවා. ඒ තමයි, ‘රිෂාඞ්’ නිදහසට කාරණය. ඒ අනුව කියන්න පුලූවන්, අර වාස් ගැටයා ඔයාට ගැහැව්වා කියලා කිව්වට, ඒක එයාගේ වරදක් නෙවෙයි. මොකද, එයාගේ අත එයා දන්නෙම නැතුව වෙන කෙනෙක් පාවිච්චි කරලයි ඔයාට ගහලා තියෙන්නේ කියලා. ඒකත් රිෂාඞ්ට හොඳට වැඩ කළා. ඒක නිසා, වාස් ගැටයටත් ඒක හරි යන්න පුලූවන්.

අන්තිමට ගත්තොත් තියෙනවා, ‘රමිත්’ නිදහසට කාරණේ. කාටද කියන්න පුලූවන්, සමහර විට වෛද්‍ය විශේෂඥයෝ ගෙන්නලා පෙන්නන්න ඉඩ තියෙනවා, මේ සිද්ධිය වෙන වෙලාවේ වාස් හිටියේ නින්දෙන් ඇවිදිමින් කියලා. ඒක නිසයි, තමන් කරන්නේ මොනවද කියලා එයා දැනං හිටියේ නැත්තේ. නින්දෙන් ඇවිදින ක‍්‍රිකට් කී‍්‍රඩකයෝ ඉන්න රටේ, නින්දෙන් ඇවිදින මොනිටර් මන්ත‍්‍රීවරු ඉන්න බැරි මොකෝ?

ක‍්‍රිස්, මං දන්නවා දැනටමත් ඔයා ඉල්ලා අස්වෙලා කියලා. ඒත් බය වෙන්න එපා. ඔයාගේ නම ඉතිහාසෙට ලියවිලයි තියෙන්නේ, කම්මුල් පාරක් කාපු ලංකාවේ මුල්ම තානාපති කියලා. අපේ මහාචාර්ය ‘ජිනීවා ලොසිං’ (ජී. ඇල්.) කියන්න බැරි නැහැ, ‘ප‍්‍රකාශනයේ නිදහස’ අපේ විදේශ සේවාවේ තියෙන බවට ඒකත් සාක්ෂියක් කියලා.

ඔබේ විශ්වාසවන්ත,
පුංචි පුතා

ප.ලි:
දුමින්ද ‘නිදහසට කාරණේ’ ගැන හිතන කොට, ක‍්‍රිස්, ඔයා ඉල්ලා අස්වුණේ අපරාදේ. ඔයාට තිබුණේ හිරුනිකාගේ ක‍්‍රමේ පාවිච්චි කරන්න: ඔයාට තියෙන්නේ, යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලලා මාධ්‍ය කැමරා ඉස්සරහ මාස ගාණක් බෙරිහන් දෙන්න. මේ ‘පට්ට ක‍්‍රමය’ තුළ නීතියක් සහ ක‍්‍රමවේදයක් නැහැ කියලා රටටම කියලා දෙන්න. මෙන්න බොලේ, ඊට පස්සේ ගහෙන් ගෙඩි එන්නා වගේ, ඔයා දන්නෙම නැහැ, ඔයා පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් වෙලා. ඊට පස්සේ, මහින්ද මාමාව මුරුංගා අත්තේ තියනවා. කොටින්ම, ඒ මාමා ඔයාට තාත්තා කෙනෙක් වගේ කියලා ඔයාම අපිට ආපහු කියනවා

*2014 ඔක්තෝබර් 12 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ ‘ෆිෆ්ත් කොලම්’ නැමැති තීරුවේ A Slap In The Face Of Mother Lanka නමින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි