සිංහල, Democracy, Features, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation, Puravasi Katha

යනකොට කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මම, ආවෙ රෝද පුටුවකින්.අබ්බගාතයෙක් විදිහට.


‛‛මට මතකයි ඒ දවස හතරවටෙන්ම ෂෙල් ගහනව අපි හැංගෙන්න බංකරයක් කපමින් හිටියේ එකපාරටම ආපු ෂෙල් එකක් මං ඉන්න තැනට වැටුන. මගේ එක කකුලක් කැඩිල ගියා අනිත් කකුල තුවාල උනා. මාව මාතලන් ඉස්පිරිතාලෙට ගෙනිච්ච. ඒත් එහේ බෙහෙත් තිබුනේ නැහැ. දවස් හතකට පස්සෙ මගේ ජීවිතේ බේරගන්න ඕනි නිසා වෛද්‍යවරු තීරණය කළා මගේ තුවාල වෙච්ච කකුලත් කපන්න.’’ කකුල් දෙක කැපුවට පස්සේ අයි.සී.ආර්.සී එකේ නැවෙන් මාව ත්‍රිකුණාමලයට ගෙනාව. එතනින් පුල්මුඩේට, ඊට පස්සෙ වව්නියාවට. එතනින් රාමනාදන්පුරම් කෑම්ප් එකට. ඊට පස්සෙ තමයි යාපනේට එන්න ලැබුනෙ. ඒ එන කොට කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මම ආවෙ රෝද පුටුවකින්. අබ්බගාතයෙක් විදිහට. දැන් මට අනුන්ගෙන් යැපෙන්න සිද්ධවෙලා. මට මගේ රැකියාව කරගන්න විදිහක් නැහැ. කකුල් නැතිවුන දුක මට ඉවසගන්න පුලුවන්. ඒත් මගේ පුතා නැතිවෙච්ච එක තමයි වාවගන්න බැරි. මාතලන් වල දේවපුරම් කියන ප්‍රදේශයේදී පොකුරු බෝම්බ වලට අහුවෙලා එයා මැරුණ. ෂෙල් එක උඩින් ඇවිත් උඩදි පුපුරනව එතකොට ඒකෙන් තව පොඩි පොඩි ඒවා විසිවෙල එක වෙලාවට පුපුරනව. අපි එදා රෑම පුතාගේ මිනිය කටයුතු කළා. මැරුණ තැනම එයාව වල දැම්ම. අපිට වෙන කරන්න දෙයක් ඉතිරිවෙල තිබුනේ නැහැ. පස්සේ පාන්දර 5ට විතර ඉඩ ලැබුන වෙලාවක අපි එතනින් පැනල මාතලන් පැත්තට ආව. එහෙදී තමයි මට ෂෙල් වැදුනෙ’’
සුබ්‍රමනියම් මහේෂ්වරන් නැමැති 45 වියැති මේ අවිහිංසක මිනිසා හිතේ හිරකරගෙන හිටිය ඒ කතාව අප ඉදිරියේ දොරේ ගලන්නට ඉඩ හැරිය. මෙතෙක් වෙලා උපේක්ෂා සහගතව තිබුනු ඔහුගේ ඇස් අගින් වැටුන කදුළු බිංදු දෙකම්මුල් දිගේ ගලා හැලෙන්න නොදී පිසදාන්න ගත් උත්සහය ව්‍යර්ථ කරමිනුයි. කඳුළු හැමවිටම අපිට වඩා ඉක්මන්. මේ කිසිවක් ගැන තේරුමක් නැති ඔහුගේ මිණිපිරිය ඔහු හිඳගෙන සිටින තැනට ඉහළින් ඇති ජනේලයේ රෙද්ද මෑත්කර අපට සිනා සෙනව. ඇයට සිය පියා අහිමිවීම පිළිබඳව තේරුමක් නැති ගානය. තවමත් සිවවැනි වියේ පසුවන ඇය ලැජ්ජාවෙන් නැවතත් නිවස තුළට දිව යන්නේ පැමිණි අමුත්තන්ගේ අවධානය ඇය වෙත ලබාගැනීමට විය යුතුය. මේ කිසිවක් පිළිබඳව ඇයට නොතේරේ. එහෙත් යම් දිනෙක ඇය සීයාගෙන් ඔහුගේ දෙපා වලට සිදුවූ දෙය අසනු ඇත. ඇගේ පියා කෙහෝදැයි අසනු ඇත.
කුඩා දියනියගේ බාධාවෙන් පසු සුබ්‍රමනියම් නැවතත් සිය හඬ අවදිකලා.
‛‛ඒ 2007 අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ බිරිඳයි, පුතයි දුවයි පුතාගේ බිරිඳයි එක්ක කිළිනොච්චියට ගියේ එහේ ජීවත් වෙන මගේ් ඥාතියෙකුගේ මඟුල් ගෙදරකට සහභාගීවෙන්නයි. ඒ අතරතුර යුද්දේ පටන්ගත්ත නිසා පාරවල් වැහුව. අපිට ආපහු යාපනයට එන්න බැරි උනා. යුද්දේ උත්සන්න වෙන කොට එල්ටීටීඊ ය අපිව අරගෙන තැනින් තැනට ගියා. අවසානයේ පුදුමාතලන් වලට එන්න ඉස්සර අපි කිළිනොච්චියේ විවිධ තැන්වල හත්පාරක් අවතැන් වෙලා හිටියේ. අපි ගිය හැම තැනකදීම බංකර් කපාගන්න සිද්ධ වුනේ අපිටමයි. අපි මාස තුනක් ජීවත් වුනේ බංකර් ඇතුලෙ. අවසානයේ අපට ඉතිරි වුනේ මෙනවද? කෑම් එකේදී අපිට කන්න බොන්න දුන්න. ඒත් මගේ කකුල් දෙක ලැබුනේ නැහැ. මට දැන් තියෙන ලොකු දේ මගේ පවුල රැකගන්න එක. ඒත් ඒක කොහොම කරන්නද කියල මට තේරුමක් නැහැ. මට මගේ මේසන් රස්සාව කරන්නත් බැහැ. සිය නිවසේ එළිපත්තේ එලු පැදුරක වාඩිවී ඈත නොපෙනෙන අනන්තය දිහා බලාන සුබ්‍රමණියම් කල්පනා කරනව. මේ මිනිසාගේ අනාගතය දෙවියන්ටම බාරකරනවා මිස වෙන කුමක් කරන්නද?