‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ පසුගිය(05) දා එප්පාවල පැවති වැඩසටහනේ ක්‍රියාකාරී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට සහ හිරු මාධ්‍ය ජාලයේ තිසර සමන් මහතාට පහර දී ඔහුගේ කැමරාවට බරපතල හානි සිදු කිරීමට විරෝධයපාමින් එම මැරයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විරෝධතාවයක් ඊයේ(07) උදේ 11ට එප්පාවල නගරයේ මැරයින් පහරදුන් ස්ථානයේ දී පැවැත්වීය. එම විරෝධතාවයට ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ප්‍රාදේශීය දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුලු ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගීවී සියේ ය.

මැර පිරිසක් සමග පැමිණි තලාව ප්‍රදේශීය සභා, සභාපති වසන්ත බණ්ඩාර සහ උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකවරයෙක් යැයි කියා ගන්නා උදිත ප්‍රනාන්දු ඇතුලු මැර පිරිසක් විසින් මෙම පහරදීමට සිදු කර ඇති බැවින් එම මැරයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එම විරෝධතාවය පැවැත්විය. විරෝධතාවයෙන් පසු එප්පාවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හමුවූ විරෝධතාකරුවන් පහරදුන් එම මැරයක් අත්අඩංගුවට ගන්නා ලෙස බල කර සිටි අතර එසේ නොවුනහොත් මෙයට වඩා ප්‍රභල අන්දමින් විරෝධාවයන් රට පුරා පවත්වන බවද දන්වා සිටියේය.